Print this Article


සමාජයේ වටිනාම සම්පත

සමාජයේ වටිනාම සම්පත

‘යො මාතරං වා පිතරං වා
ජිණ්ණකං ගත යොබ්භනං
පහූ සන්තෝ නභරති
තං ජඤ්ඤා වසලො ඉති’

(තමන්ට වස්තුව, ධනය තිබෙන කාලය තුළ දෙමාපියන්ට නොසලකයි නම්, ඒ අය වසලයෝ වෙති.)

දෙමාපියන් යනු සමාජයේ උතුම්, වටිනා සම්පතකි. අපගේ ජීවිතයේ ආලෝකය දැක සතුටු වෙන කෙනෙක් සිටී ද? ඒ මව්පියන් ය. බෞද්ධ දරුවන් හැටියට අප දෙමාපියන්ගේ වටිනාකම පිළිබඳව මනාව වටහා ගත යුතු ය. මෙලොව තුනුරුවන් හැර වටිනා වස්තුවක් වේ ද ඒ අපේ දෙමාපියන් ය. අපගේ තථාගත බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක

බ්‍රහ්මාති මාතා පිතරෝ
පුබ්බාචරියාති වුච්චරේ
ආහුනෙය්‍යාච පුත්තානං
පජාය අනුකම්පකා’

යනුවෙන් දෙමාපියන් යනු කවරේදැයි වදාළහ.

දෙමාපියන් යනු මහා බ්‍රහ්මයා හා සමාන ය. අම්මා, තාත්තා ළඟ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයන් පිහිටා ඇත. ඒ නිසා දෙමාපියන් මහා බ්‍රහ්මයා සේ සලකා ඇත. එමෙන්ම මුල් ගුරුවරුන් වන්නේ ද අපේ දෙමාපියන් ය. ඉපදුන දා පටන්ම අපේ ජීවිතවලට සෑම දෙයක්ම කියා දෙමින්, අප සුමඟට යොමු කරන බැවින් මුල් ගුරුවරු ලෙස හඳුන්වා ඇත.

තව ද අම්මාගේ කිරිවල ශක්තියෙන් දරුවන් සමාජය තුළ කිසිවෙකුට නොබියව ජීවත් වෙයි. සමාජය තුළ මහා ප්‍රාඥයන් පවා බිහි වූයේ අම්මගේ කිරිවල ශක්තිය නිසා ය. මේ නිසාම අම්මාගේ කිරි බී හැදී වැඩුණු අප අම්මට සිය දහස්වරක් ණය ය. මෙම ණයෙන් නිදහස් වීමට දෙවුරෙහි තියාගෙන අවුරුදු සියයක් උපස්ථාන කළ ද ණයෙන් නිදහස් විය නොහැකි ය. තාත්තා ද එසේම ය. තාත්තාගේ අත් දෙකේ හයිය නිසාවෙන් තමයි අප පෝෂණය වන්නේ. එයින් අප තාත්තාට ද ණය වන්නේ ය. මේ ණයෙන් නිදහස් වීමට පෙර ලෙස ම අවුරුදු සියයක් උපස්ථාන කළ ද නොහැකි ය.

බුදුන් වහන්සේ ද තම දෙමව්පියන්ට යුතුකම් ඉටු කළහ. සිද්ධාර්ථ කුමාරයා ඉපිද දින හතකින් මහාමායා දේවිය කළුරිය කරන්නට විය. සිද්ධාර්ථ කුමාරයා බුදු බව ලබා තම මෑණියන් කොහේ සිටී දැයි සොයා බැලීය. තුසිත දිව්‍ය ලෝකයෙහි මාතෘ දිව්‍ය රාජයා වී තම මව උපත ලබා ඇති බව දැක දිව්‍ය ලෝකයට වැඩම කොට දහම් දෙසා තම මෑණියන්ට ආශිර්වාද කළහ. එපමණක් ද නොව සුද්ධෝදන මහ රජතුමන් මරණාසන්නව සිටිය දී තම පියාණන් ළඟට වැඩම කොට දහම් දෙසා රහත් බව ලැබීමට ඉඩ සලසා දෙන්නට විය.

තව ද තම සුළු මව වූ මහා ප්‍රජාපතී මහ රහත් තෙරණියගේ දේහය පිටුපසින් ගමන් කොට තම සුළු මවට විය යුතු යුතුකම් මනාව ඉටු කරන්නට විය. මෙසේ තම දෙමාපියන්ට යුතුකම් ඉටු කළ බුදුහිමියන් ලෝවැසියන්ට දෙමාපියන්ගේ වටිනාකම මනාව පෙන්වා දුන්හ.

වත්මන් සමාජය දෙස බලන විට අපට පෙනී යන්නේ දෙමාපියන්ගේ වටිනාකම නොදත් දරුවන් බොහෝ සෙයින් සිටින බව ය. දරුවන් සමාජයේ ඉහළට යන විට, උගත්කම් වැඩි වන විට, තව ද මිල, මුදල් අතට ලැබෙන විට දුප්පත් පැල්පතේ සිටින අහිංසක දෙමාපියන් අමතක කරන අසත්පුරුෂ දරුවන් සමාජයේ බොහෝ සිටී. බුදුන් තුන් වරක් වැඩි ශ්‍රී ලංකාව මෙය යි. තව ද මිහිඳු හිමියන් වැඩම වීමෙන් පරම පවිත්‍ර වූ මේ රටේ සතර දිග්භාගයෙහි වැඩිහිටි නිවාස කොතෙකුත් තිබේද? මේ අනාථ මඩම්වල දරුවන් වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතය ම කැප කළ දෙමාපියන් අනන්තවත් සිටියි. ඔවුන්ගේ ජීවිත කතාව අසන විට දෑසට කඳුළු නැගෙන්නේ ය. මේ බෞද්ධ රටෙහි එවැනි ඉරණමක් දෙමාපියන්ට අත් නොවිය යුතු යි.

සමාජයේ දෙමාපියන් පිළිබඳව ඇසෙන කතා අතිශයින්ම ශෝචනීය වේ. බලු කූඩුවල, ලෑලි කාමරවල, කුකුල් කූඩුවල දෙමාපියන් ජීවත් කරවන අසත්පුරුෂ දරුවන් පිළිබඳව අපි අසා ඇත්තෙමු. මෙසේ තම දෙමාපියන්ට සලකන්නට තරම් ඔවුන්ගේ සිත් දරුණු වූයේ කුමක් නිසා ද? ඔවුන් නිවැරැදි බෞද්ධයන් නොවන නිසා ය.

මේ නිසා දරුවන් දෙමාපියන් පිළිබඳව මීට වඩා දයානුකම්පාවෙන් බැලිය යුතු ය. පුංචි කාලයෙහි දෙමාපියන් අප රැක බලා ගන්නවා සේ දෙමාපියන් වයසට ගිය විට ඔවුනට කළ යුතු සියලු උපස්ථාන සිදු කළ යුතු ය.

තම මෑණියන් දරුවන් වෙනුවෙන් පුදුම කැප කිරීමක් කරයි. තම දරුවා කුසේ සිටින විට මෑණියන් කොපමණ දුකක් විඳිනවා ද? එමෙන්ම දස මාසයක් කුසේ දරාගෙන තම දරුවා ව ආරක්ෂා කිරීමට ගන්නා වූ වෙහෙස අපමණ ය. දරුවා මෙලොවට බිහි වූ පසු මෙලොව කිසිදු විද්‍යාඥයෙකුට කළ නොහැකි ආශ්චර්යවත් ක්‍රියාවලිය සිදු කරනුයේ මෑණියන් ය. එනම් තම සිරුරෙහි ඇති රුධිරය කිරි බවට පත් කොට තම දරුවන්ට පෙවීමයි. එමෙන්ම මෑණියන් තමන්ගේ මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන් කැප කරයි.

පියාණන් ද එසේම ය. උදේ නැගිට ගෙදරින් පිටවෙන තම පියා තම හිතේ දහසකුත් දේ තියාගෙන තම රැකියාව නිම කර ගෙදර පැමිණෙන්නේ පුදුම විදියේ වෙහෙසකට පත්වයි. ඒ නමුත් කොපමණ වෙහෙසවුවත් තම දරුවන් වෙනුවෙන් නිසා ඔහුට එම වෙහෙස නොදැනුණි. තාත්තාගේ සැබෑ ස්වභාවය මෙය යි.

මෙසේ තම ජීවිත කාලය පුරාවට පුදුම විදියේ කැප කිරීමක් කරන තම දෙමාපියන්ට දරුවන් විසින් කළ යුතු යුතුකම් මනාව ඉටු කළ යුතු ය. තම දෙමාපියන් දරුවන් මෙලොවට බිහි කරන්නේ, පෝෂණය කර ලොකු මහත් කරන්නේ දෙමාපියන් මඩමට යැවීමට නොවෙ යි. තමන් සමාජය තුළ ඉහළට යන විට මොන බාධක පැමිණිය ද තමා දෙමාපියන් ආරක්ෂා කළ යුතු ය. මෙම බෞද්ධ රට තුළ දරුවන් දෙමාපියන්ට නිසියාකාරව සලකන්නේ නම් අනාථ මඩම් මෙරටින් නැති කළ හැකි ය. වත්මන් සමාජයේ ඇතැම් දරුවන් තම දෙමාපියන්ගේ දේපළ ලියා ගන්නට සලකනවා විනා සැබෑ ගෞරවයක් නොමැත. එවැනි දරුවන් පිරිහේ. මේ නිසා තම වයසක දෙමාපියන් හැර නොයා මියයන තුරු ඒ අය රැක බලා ගත යුතු ය. එවැනි දරුවන් සත් පුරුෂ දරුවන් ය.