Print this Article


මේ වස්සාන කාලයයි - 9: වස්සාන කාලයක සැබෑ අරුත

මේ වස්සාන කාලයයි - 9:

වස්සාන කාලයක සැබෑ අරුත

කාය ගතා සතියෙහි දෙතිස් කුනපයන් කෙරෙහි සතිය පිහිටුවාගෙන භාවනා කිරීම එක් කොටසක් වූවත් , එය මූලික කමටහන ය.

කායගතා සතියේ දී කය මුල්කොට පවත්නා වූ ඉරියව් පිළිබඳවත් මෙනෙහි කළ හැකියි. සම්මතය තුළ සම්මුතියෙන් “මම, මගේ” යැයි පවත්වන ධාතු ස්කන්ධ ආයතනයන්ගෙන් සමන්විත මේ පුඤ්ජය පරමාර්ථ වශයෙන් අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ඛණ ධර්මයට යටත් බැවින් “මගේ නොවන” බව “මම නොවන” බව “මගෙ ආත්මය නොවන” බව හෙවත් මගේ වසඟයේ නොපවත්නා බව මෙනෙහි කිරීමෙන් සිත ශරීර පුඤ්ජයෙන් බැහැර කර ගැනීමයි.

සම්මුතියේ පිහිටා, මේ පුඤ්ජය කවා, පොවා, නහවා පවත්වා ගත්තත් පරමාර්ථ වශයෙන් ශරීර පුංජය මුල්කොටගෙන ඇසට රූප, කනට ශබ්ද වශයෙන් ආරම්මණ සකස් කර ගනිමින් “මම ය, මාගේ ය” යන දෘෂ්ටියෙන් ඒ ඉන්ද්‍රියන් පිනවීමක් හෙවත් කෙලෙස් සකස් කර ගැනීමක් නොකොට කර ගැනීම ය. කෙටියෙන් සඳහන් කරන්නේ නම්, ඇස, කන, නාසය, දිව, ශරීරය, මන යන ආයතනයන්ගෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම නම් වූ ආරම්මනයන් මුල්කොටගෙන කෙලෙස් සකස්වන අවස්ථාවෙන් සිත බැහැර කර ගැනීම යි. මෙහි දී පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු හතරත් එනම් තදගතිය, වැගිරෙන බව, උෂ්ණය, වායු යන හතරත් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන ස්කන්ධ පංචකයත්, ඇස, කන, නාසය, දිව, ශරීරය නම් වූ ඉන්ද්‍රිය හෙවත් ආයතනත් එකම පුඤ්ජයකට යටත් කොටගෙන එය අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ඛණ ධර්මයට යටත් ය යන පරමාර්ථ ධර්ම සිතිවිල්ල සිතෙහි නැවත නැවතත් වැඩීමයි. පුරුදු කිරීමයි.

මේ ධාතු ස්කන්ධ ආයතනයන්ගෙන් සමන්නාගත මේ පුඤ්ජය ඉහත සඳහන් කළ හේතූන් ප්‍රත්‍ය කරගෙන සකස් වූවා වගේ ම, ඉහත සඳහන් කළ පඨවි, ආදී හේතූන්ගේ විසිර යෑමෙන් මේ පුඤ්ජය ද හෙවත් මේ කය ද විසිර යන්නේ ය. මේ නිසා මෙය “මගේ නොවේ”, “මම නොවෙමි”, “මගේ ආත්මය නොවේ” යන අදහසින් කෙලෙසුන් සකස් නොවීමට සිත හා සිහිය පුරුදු කිරීමයි. මෙසේ අප විසින් මේ ධර්ම මනසිකාරය කළ “කායගතා සතිය” භික්ෂූන් වහන්සේලා විසින් උපාසිකාවට විස්තර කර දෙනු ලැබූ අතර, එය කමටහනක් හැටියට ද ලබා දුනි. උපාසිකාව මෙසේ සඳහන් කළා ය. එසේ වී නම් ස්වාමීනි , මටත් දෙතිස් කුනපයන් මුල් කොටගෙන සිත, සිහිය, පුරුදු කරන ඒ කමටහන ලබා දුන මැනවි.

උපාසිකාව කායගතා සතිය මුල්කොටගෙන ත්‍රිලක්ඛණ භාවනාව පුරුදු කිරීම ආරම්භ කළා ය. කායගතා සතිය භාවනාව පුරුදු කොට අනාගාමී ඵලයට හා ලෞකික අභිඣාවන් ද ලැබුවා ය. තමන් උපස්ථාන කරන, තමන්ට කමටහන් ලබාදුන් භික්ෂූන් වහන්සේලා කුමන ගුණ විශේෂයන්ට කවර කලක පැමිණ සිටින සේක් දෝයි බලන්නේ උන්වහන්සේලා අධිගමයක් තබා එනම් මාර්ගඵල අවබෝධයක් තබා ධ්‍යාන අවස්ථා පමණකුත් ලබා නැති බව අවබෝධ කර ගත්තා ය. රහත් භාවයට නිසි ඉන්ද්‍රිය දමනයන්ගේ දියුණුවක් ඇති බව එම භික්ෂූන් වහන්සේලාට ඇති බව උපාසිකාව තේරුම් ගත්තා ය.

සෙනසුන් පහසුවේ අඩුවක් නැති නමුත් ආහාර පහසුකම් හි අඩුවක් ඇති බව අවබෝධකොට ගත්තා ය. එතැන් පටන් ඒ භික්ෂූන් වහන්සේලාට පහසුවන ආකාරයෙන් එනම්, භාවනාවට සසුන් පිළිවෙත් මාර්ගයේ ගමන් කිරීමට පහසු වන ආකාරයෙන් ආහාරපාන ආදිය ද ලබා දී මාර්ගඵල අවබෝධයට අවශ්‍ය සප්පාය ද සැලැසුවා ය. උන්වහන්සේලා ද එතැන් සිට පහසුවෙන් ලද පිණ්ඩපාතයක් ලැබ ධර්ම මනසිකාරය දියුණු කරගෙන නිරාමිස ප්‍රීතියෙන් යුතුව විදර්ශනා වැඩීම ආරම්භ කළහ. උන්වහන්සේලා වස් තුන් මාසයක කාලය අවසන් වන විට සිව් පිළිසිඹියාපත් අරහත්භාවයට පැමිණුනාහ. මේ භික්ෂූන් වහන්සේලා විසින් මෙසේ කල්පනා කළා. මේ උපාසිකාවෝ මැරෙන ගසකට පැන් වත්කරන්නා සේ, අපට මහෝපකාරී වුණා. ඉතින් අපි භෝජනයෙන් පහසුවක් නොලද්දේ නම් මාර්ග ඵලයන්ගේ ප්‍රතිවේදයටත් බාධාවන්නට ඉඩ තිබුණා. නමුත් උපාසිකාවන් අපට අපගෙන් ම කර්මස්ථාන ලබාගෙන, ඒ මඟ අනුගමනය කොට අපට පෙරාතුව මාර්ගඵලාවබෝධය ලබා, අපේ සිත් දැන වියැකී යන ගසක් වියැකෙන්නට නො දී නැවත පණ ගන්වන්නා සේ මාර්ගඵලාවබෝධයෙන් ඈත් වෙන්නට ගිය අප සිත් ඒ මාර්ගයට යොමු කළා නොවේදැයි උන්වහන්සේලා නිරාමිස ප්‍රීතියෙන් යුතුව උදම් වාක්‍ය ප්‍රකාශ කළ සේක.

දැන් වස් පවාරණය කොට බුදුරජාණන් වහන්සේ දකින්නට වැඩම කරන්නෙමුයි උපාසිකාවන්ට දන්වා තමන් වහන්සේලාගේ අධි ගමයන් පිළිබඳව ද දැන ගැනීමට සංඥාවක් සැලැස්සුවා. උපාසිකාවෝ ද තමනුත් මාර්ගඵලාවබෝධයෙන් සැනසී , තමන් ද වස් කාලයක් තුළ කළ යුතු හොඳම උපස්ථානය සිව් පසයෙන් සේ ම අධිගමයන් හෙවත් මාර්ගඵාලවබෝධයට පත්වීමට අවශ්‍ය උපස්ථානය නොවේ දැයි කල්පනා කරමින් නිරාමිසව සැනසුනා. මේ දහම් කතාව පිළිබඳව අප විසින් නිරාවරණය කරගත යුතුය. මේ දහම් කතාව කියවන ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා ඔබ අප සියලු දෙනා විසින් ම වස්සාන කාලයක සැබෑ අර්ථය කුමක් දැයි තේරුම් ගත හැකියි.