Print this Article


අකුරැස්සේ චන්ද්‍රසිරි හිමි

අකුරැස්සේ චන්ද්‍රසිරි හිමි පැවිදි ජීවිතයේ 52 වසර සපුරයි

රාගම ගල්උඩුපිට ශ්‍රී චන්දාරාමයේ දක්ෂිණ ලංකා ධර්ම ප්‍රචාරක මණ්ඩලයේ ප්‍රධාන අනුශාසක අකුරැස්සේ චන්ද්‍රසිරි හිමියන්ගේ පැවිදි ජීවිතයේ 52 වසර පසුගිය දා සම්පූර්ණ විණි.

1953 ජුනි 25 වෙනිදා මාතර අකුරැස්සේ ගලබඩ හේන්යාය වික්‍රමපුර දී ජන්ම ලාභය ලැබූ මේ කුමරුන්ගේ මව්පියන් වූයේ වික්‍රමනායක දොන් අන්ද්‍රයස් සහ ඊශ්වරගේ දෝන කර්ලිනා මාතාව යි.

මූලික අධ්‍යාපනයෙන් පසුව වතුරවිල වනවාසී ආරණ්‍යයේ වැඩ විසූ සේනාසනාධිපති වතුරුවිල ශ්‍රී ඤාණානන්දාභිධාන වනවාසි මහ නාහිමියන් හා ගම්පහ මාලිගාතැන්නේ විවේක සේනාසනාධිපති මැණික්දිවෙල දේවානන්ද නා හිමිවරුන්ගේ උපාධ්‍යායත්වයෙන් අකුරැස්සේ චන්ද්‍රසිරි යන නාමයෙන් 1967 පෙබරවාරි 17 දා වතුරුවිල වනවාසී පිරිවෙනේ දී පැවිදි ජීවිතයට පත් වූහ.

අනතුරුව වනවාසී පිරිවෙනට ඇතුළත්වී සිංහල, පාලි, සංස්කෘත යන භාෂා හදාරා ඇත.

පසුව රත්නපුර පාතකඩ පැල්මඩුල්ල සර්වෝදය භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ හා කොළඹ ධර්ම විජය පදනමෙන් ද අධ්‍යාපනය හදාරා සමාජ සේවයට ද පිවිසි අකුරැස්සේ චන්ද්‍රසිරි හිමියන් 1994 ජුනි 22 දා මහනුවර මල්වතු මහා විහාරයෙන් උපසම්පදාව ලැබූහ. පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ උපදේශකත්වයෙන් හා ආශිර්වාදයෙන් එදා උපසම්පදාව ලැබූහ .

එක්දහස් නමසිය අනුව දසකය මුල්භාගයේ දී ගල්උඩුපිට විහාරස්ථානයට ආරණ්‍යයට වැඩම කළ අකුරැස්සේ චන්ද්‍රසිරි හිමියන් එවකට එම ප්‍රදේශයේ ජීවත් වූ බෞද්ධ පවුල් 50 ක් පමණ දැන හඳුනාගෙන ඔවුන්ගේ ආගමික අවශ්‍යතා මැනවින් ඉටු කළේ තමන් පිය උරුමයෙන් ලැබු සමාජසේවා කටයුතු ද ඉටුකරමින් ය. ආගම් භේදයෙන් තොරව ජනතාව ඇසුරු කළ අතර සුබ සාධන මෙහෙවරෙහි ද නිරත වූහ.