Print this Article


ගිහි ගෙදරට දහම් වැටක්:  බෝධි පූජාව මනස සැහැල්ලු කරයි

බෝධි පූජාව මනස සැහැල්ලු කරයි

සිත කලබලකාරී ස්වභාවයක පවතින අවස්ථාවක දී තමන් කියන්නේ කුමක් ද? කරන්නේ කුමක්දැයි තේරුම් බේරුම් කර ගැනීම පවා අපහසු ය.

ඒ මනසෙහි පවතින අවුල් වියවුල් ස්වභාවය නිසා ය. ඒ පීඩාකාරී සිත සන්සුන් කර තැන්පත් කර නිවා සනසන්නට බෝ පත්‍රවල සිලි සිලියට හැකියාව ලැබෙයි. බෝධි පූජාව මනස සැහැල්ලු කරයි.

එනිසාම බෝධි වන්දනාවට ගිය පුද්ගලයාට වඩා ආපසු පැමිණෙන පුද්ගලයාගේ වෙනසක් දක්නට ලැබේ.

බෝධි පූජාව එක්තරා ආකාරයක බුද්ධ පූජාවකි. බුදුරජාණන් වහන්සේගේ ද පූජනීයත්වයට පත් වූ බෝධීන් වහන්සේට පුද පූජා පැවැත්වීම බෞද්ධයන්ගේ ඉහළම පින්කමකි. බෝධි වෘක්ෂය අන්‍ය ගස්වලට වඩා වෙනස් ය. බෝ පත්‍රය ද එසේ ය. බෝධි පත්‍රයේ ඇති විශේෂත්වය වන්නේ නටුවට ද, නොදැනී පත්‍රය සෙළවීම ය. බෝධීන් වහන්සේගේ ස්වභාවය ම සෙලවීම නිසා සියුම් හැඩයක් මතුවේ. ඒ හඬ බොහෝ විට මිනිස් මනස තැන්පත් කිරීමට හේතුවෙයි.

බැලූ බැල්මට බෝධීන් වහන්සේට කරනු ලබන පූජාවෙහි මෙලොව දී ම ලැබෙන ප්‍රතිඵලයක් පවතින බව දක්නට ලැබෙයි. යම්කිසි පුද්ගලයකු බෝධි පූජාව තබන විට එය දිගටම එකම ස්ථානයක එකම වේලාවක එකම ආකාරයෙන් පැවැත්වීම මගින් වඩාත් යහපත් ප්‍රතිඵල ලබාගත හැකි ය. බෝධි පූජාවේ මූලික අවශ්‍යතාවය වන්නේ විහාරස්ථානයේ වතාවත් සුපුරුදු පරිදි

ඉෂ්ට සිද්ධ කිරීමයි. පර වූ මල් ඉවත් කිරීම, මලු පෙත් මං ඇමදීම, ආසන සේදීම ආදී කටයුතු කරන සියල්ල ඇතුළත් වන්නේ වතාවත් වලට ය. වතාවත් සිදුකරනු ලබන්නේ ආගමික චාරිත්‍රයට පළමුව ය. වතාවත් ඉටු නොකොට ආගමික කටයුතු කරන්නට යාම සුදුසු වුවක් නොවේ.

ස්වර්ණතිලකා නම් වූ තරුණිය මල් ආසනය පිරිසුදු නොකොට මල් පූජා කිරීම නිසා අඩු කුලයෙහි උපත ලැබූ ආකාරය සද්ධර්මාලංකාරය නම් බණ පොතෙහි සඳහන් වේ. බෝධීන් වහන්සේ සඳහා කරනු ලබන පූජාවක දී ආගමික වතාවත් ඉෂ්ට සිද්ධ කිරිම අත්‍යවශ්‍ය බව පෙනෙයි. ආගමික කටයුතු ආරම්භ කරනු ලබන්නේ ඉන් අනතුරුවයි. බෝධි පූජාව පැවැත්වීම, විවිධ පළාත්වල විවිධ ක්‍රමවලට බෞද්ධයෝ ඉෂ්ට සිද්ධ කරති. බුලත් මත මල් පහන් ආසනයෙහි පූජා කිරීම, පැන් කළය ඒ මැද තැබීම, පාට වර්ග පහක හෝ හතක මල් පූජා කිරීම පන්සලේ පහන් දල්වන ස්ථානය පහන් වැටිය සූදානම් කරගෙන තෝරාගත් පහන් සංඛ්‍යාවක් දැල්වීම කළ යුතු වේ. වන්දනා කිරීම ආරම්භ කරන්නේ ඉන් අනතුරුවයි. විහාරස්ථානයේ නිදහස් ස්ථානයක ඒ කටයුත්ත කළ හැකිය. තමා පූජා කළ මල් අසලම සිට වන්දනා කිරීම අවශ්‍ය නොවේ. වන්දනා මාන අවසාන වූ පසු පැන්කළය හත් සැරයක් හෝ විසි එක් වතාවක් බෝධීන් වහන්සේ පැදකුණු කොට බෝධීන් වහන්සේ නෑවීම එසේ නොහැකි නම් බෝ කොල පැන්වලින් තෙමීම ආදිය කොට ඉතිරි පැන්වලින් මුහුණ දොවා ගැනීම වඩා සුදුසු ය. අපල උපද්‍රව සහිතව අවුල් වියවුල් ගිය මනස නිරවුල් කර යහපත් දෙයෙහි යොදවන්නට බෝධි පූජාවට ඇත්තේ බලවත් හැකියාවකි.