Print this Article


හුරු පුරුදු හොඳ නරක සසරටත් එනවා

හුරු පුරුදු හොඳ නරක සසරටත් එනවා

පින්වත් දරුවනේ, ‘බ්‍රාහ්මණ’ නමින් හැඳින්වූයේ බුද්ධ කාලීන භාරතයේ ජීවත් වූ, උසස් කුල ගෝත්‍රයක්. එකල සමාජය එලෙස සිතුවත්, අපේ බුදුහාමුදුරුවෝ බ්‍රාහ්මණ ලෙස හැඳින්වූයේ ඒ සමාජය තුළ ජීවත් වූ බ්‍රාහ්මණ වංශිකයන් නම් නොවෙයි.

උන්වහන්සේ ‘බ්‍රාහ්මණ’ කියන වචනයේ අර්ථය එදා සමාජයට මැනවින් පැහැදිලි කළා. ඒ අනුව උපතින් කිසිවෙක් බ්‍රාහ්මණ වන්නේ නෑ. සිල්වත්, ගුණවත්, නැණවත් සත්පුරුෂයන් තමයි “බ්‍රාහ්මණ” වන්නේ. තරුණ, වැඩිහිටි පිරිස් පමණක් නොවෙයි. යහපත් දේ කරනවා නම්, ගුණ නැණ බෙලෙන් යුතු නම් මේ පින්වත් දරුවන් පවා බ්‍රාහ්මණ දරුවන් බවට පත්වෙනවා.

බුදුරජාණන් වහන්සේ ‘වසල සූත්‍රයේ’ දී එය පැහැදිලි කොට තිබෙන්නේ මෙලෙසයි. “යම් කෙනෙක් උපතින් බ්‍රාහ්මණයෙකු නො වන්නේ ය. උපතින් වසලයෙකු ද නො වන්නේ ය. කරන ක්‍රියාව අනුව ම බ්‍රාහ්මණයෙකු වන්නේ ය. එසේ නැතිනම් වසලයකු වන්නේ ය.” දරුවනේ, යම් කෙනෙක් තවත් කෙනෙකුªගේ සිත ප්‍රකෝප නොවන ලෙස සත්‍ය වචන, පි‍්‍රයශීලී වචන කතා කරනවා නම්, එය සත්පුරුෂ ගුණයක්. අපේ බුදුරජාණන් වහන්සේ අගය කළේ එවැනි පුද්ගලයන්වයි. අන් අයගේ සිත රිදවන, කල කිරීමට පත්කරන, තැති ගැන්මක් ඇති කරන, කෝපය, කම්පනය ඇති කරවන වචන කතා කරන අයට සමාජයේ කිසිම පිළිගැනීමක් නෑ. ආදරයක්, ගෞරවයක් ලැබෙන්නේ නෑ. සමාජය උසස් යැයි කියන කුලයක, නිල බල ඇති පවුලක මහා සැප සම්පත් මැද උපත ලැබූවත්, එවැනි අය සමාජයට ප්‍රියමනාප නෑ. අපහාසය පමණයි ලැබෙන්නේ.

‘දරුවනේ, කතා බහේ දී, ක්‍රියාකාරකම්වල දී අප තුළ ජන්මයෙන් එන පුරුදු තිබෙනවා. ඒවාට කියන්නේ පින්ඵල කියලයි. තවත් කෙනෙක් තමන්ට අවනත කරගැනීමට තිබෙන හොඳම ශක්තිය පි‍්‍රයශීලී බවයි. මෘදු වචනය එහිදී ඉතාම වැදගත්. ඒ කියන්නේ හොඳින් කතාබහ කිරීම. අද පුංචි ඔබට කියා දෙන්නට යන්නේ කිසිදු පි‍්‍රයමනාප බවක් නැතිව, තවත් කෙනෙක් කෝපයට පත්කරවන, තෝ, තා, වසලය වැනි වචන කතා කළ රහතන් වහන්සේ නමක් පිළිබඳව යි.

පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේගේ කාලයේ “පිළින්දවච්ච නමින් මහරහතන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේ හික්මීමෙන් බොහොම ප්‍රසිද්ධයි. ඒත් වචනයෙන් නම් නොවෙයි. උන්වහන්සේ තවත් කෙනෙකුට ආමන්ත්‍රණය කරන්නේ තා, තෝ, වසලය, වගේ වචනවලින්. දිනක් පිළින්දවච්ච මහ රහතන් වහන්සේ රජගහ නුවර වීදියක පිණ්ඩපාතයේ වඩිමින් සිටියා. ඒ අතරේ ‘තිප්පිලි‘ නමැති ඖෂධය ගැලක පටවාගෙන ඒ මග ඉදිරියෙන් වෙළෙන්ඳෙක් එනවා. මේ වෙළෙන්ඳා බඳුනකට තිප්පිලි පුරවාගෙන සිටින සැටි තෙරුන් වහන්සේ හොඳින් ම දුටුවා. ඒත් උන්වහන්සේ ගැල් කරුගෙන් මෙලෙස විමසුවා.

“ඒයි බොල වසලය, අත රැඳි භාජනයෙහි මොනවා ද?”

එය ඇසෙනවාත් සමඟම වෙළෙන්දා බොහොම කෝපයට පත් වුණා. ඉන්න තැනත් අමතක වුණා. මොන තරම් කේන්ති ගත්තා ද කියනවා නම්, කිසිම ගරුසරුවක් නැතිව, අහංකාර ලෙස මෙසේ කීවා. “මේ තියෙන්නේ මී බෙටි” එහෙම කියලා වෙළෙන්දා යන්නට ගියා. ටික වේලාවකින් වෙළෙඳපොළට ළඟා වුණා. අත තිබුණු භාජනයේ තිප්පිලි වෙනුවට තිබුණේ මොනවා ද? මී බෙටි. වෙළෙන්දා විශ්මයට පත් වුණා. කම්පා වුණා. දුක් වුණා. වහ වහා තිප්පිලි කරත්තය ළඟට ගියා. කරත්තයේ තිබුණේ මොනවා ද? මී බෙටි.

අනේ මගේ තිප්පිලි කරත්තයට වූ දෙයක්. වෙළෙන්දාගේ සිතට හරිම දුකයි. තරහයි. මනස කලබල වෙලා. ‘අනේ මා විනාශ වුණා.’ කියමින්, බැණ වදිමින් පාර දිගේ යනවා. අතරමගදී හමුවන අය ඒ ගැන ඇසුවා. වෙළෙන්දා සිදු වූ දෙය කීවා. ‘අනේ යහළුවනේ මට සිදු වූ විනාශයක්. එක හාමුදුරුනමක් මන්ත්‍ර බලයෙන් මාගේ තිප්පිලි කරත්තය මී බෙටි බවට පත් කළා. මම මේ යන්නේ ඒ හාමුදුරුවන් අල්ලා ගන්නටයි.’

වෙළෙන්දාගෙන් තොරතුරු දැනගත් මිනිසුන් ඒ තෙරුන් වහන්සේ අන් කිසිවෙක් නොව පිළින්දවච්ච මහරහතන් වහන්සේ බව ස්ථිරව ම දැන ගත්තා. ‘මිත්‍රය, ඔබගේ තිප්පිලි කරත්තය මී බෙටි බවට පත් කරන්නට ඇත්තේ මීට මොහොතකට පෙර මෙතැනින් වැඩම කළ පිළින්දවච්ච මහරහතන් වහන්සේ විය යුතු යි. ඒ ගැන අපට අනුමානයක් නෑ. උන්වහන්සේ මහා හාස්කම් ඇති රහතන් වහන්සේ නමක්. අන් අයට ආමන්ත්‍රණය කරන්නේ තා, තෝ, වසලය වගේ වචනවලින්. ඒත් උන්වහන්සේ බොහෝ අනුකම්පා සහගතයි.’ යැයි විස්තර කළා.වෙළෙන්දා ගැන අනුකම්පා කළ මිනිසුන් ඔහුට උපදේශයක් ද දුන්නා. ‘මිත්‍රය, දැන් කළ යුතු මෙය යි. ඔබගේ මී බෙටි භාජනයත් රැගෙන වහාම රහතන් වහන්සේ වෙත යන්න. උන්වහන්සේ මුණ ගැසී නමස්කාර කරන්න. සුහදශීලීව, ගෞරවයෙන් යුතුව එකත්පසව හිඳගන්න. ඉන්පසු ඔබ දකින තෙරුන් වහන්සේ ‘එම්බල වසලය, තාගේ අතෙහි වූ භාජනයෙහි කුමක් තිබෙනවා ද? යැයි විමසනු ඇති. එවිට ‘ස්වාමීනි, මේ භාජනයේ තිබෙන්නේ තිප්පිලි. ඒවා ඉතා වටිනා ඖෂධ යැයි කියන්න. එවිට භාජනයේ තිබෙන මී බෙටි තිප්පිලි බවට පත්වේවි.”

දැන් වෙළෙන්දාට හරිම සතුටුයි. වහාම තිප්පිලි බඳුනක් රැගෙන පිළින්දවච්ච මහරහතන් වහන්සේ සොයාගෙන ගියා. මිනිසුන් කී ලෙසම කළා. රහතන් වහන්සේ පෙර ලෙසම විමසුවා. ‘ස්වාමීනි මෙහි තිබෙන්නේ තිප්පිලි. ඒවා වටිනා ඖෂධයක්’ වෙළෙන්දා කීවා.

ඒ සමඟම වෙළෙන්දා අත තිබූ බඳුනෙහි වූ මී බෙටි තිප්පිලි බවට පත් වුණා. කරත්තයෙහි තිබුණු මී බෙටි සියල්ලත් තිප්පිලි බවට පත්වුණා. පින්වත් දරුවනේ, පිළින්දවච්ච මහරහතන් වහන්සේ මහා බල සම්පන්න, ඒ වගේම හරිම ආශ්චර්යවත් තෙරුන් වහන්සේ නමක්. දවසක් උන්වහන්සේ මහ මඟ වැඩම කරමින් සිටියා. මඟ අසල තැනෙක දුප්පත් පැල්පතක් තිබුණා. එහි ජීවත් වුණේ මහලු කාන්තාවක් සහ කුඩා දියණියක්. තමන්ට මාලයක් අරගෙන දෙන ලෙස ඉල්ලමින් ඒ කුඩා දැරිය හඬන්නට වුණා. තෙරුන් වහන්සේ එය දුටුවා. දැරියට මාලයක් මිලදීගෙන දෙන්නට තරම් ඒ මහලු අම්මාට වත් පොහොසත්කමක් නැහැ. තෙරුන් වහන්සේ ඒ බව දැන ගත්තා. උන්වහන්සේ එතැන තිබූ පිදුරු ටිකක් ගෙන අඹරා මාලයක් ලෙස සකසා දැරියගේ කර පළඳවන ලෙස මහලු අම්මාට දුන්නා. ක්ෂණයකින් පිදුරු මාලය රන් මාලයක් බවට පත් වුණා. මහලු මවටත්, දැරියටත් හරිම සතුටුයි. රහතන් වහන්සේ වෙත ගොස් වැඳ වැටුණා.

මේ අතර, දම් සභා මණ්ඩපයේ රැස්වුණු භික්ෂූන් වහන්සේලා අතර පිළින්දවච්ච මහරහතන් වහන්සේගේ ගතිගුණ ගැන කතා බහ ඇති වුණා. ආශ්චර්යවත්, බල සම්පන්න, දැන උගත් මහරහතන් වහන්සේ නමක් වුණත් උන්වහන්සේ අනෙක් අයගේ සිත් රිදෙන ලෙස කතා කරන බවට ප්‍රචාරය වුණා. බුදුරජාණන් වහන්සේට ඒ බව සැළ කළා.

‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, පිළින්දවච්ච මහ රහතන් වහන්සේ වංශවත්, බ්‍රාහ්මණ පවුලක උපන් කෙනෙක්. අම්මා, තාත්තා හරිම යහපත්. ධනවත්. ඒත් උන්වහන්සේගේ කතාබහ හරිම අපි‍්‍රය ජනක යි. අසන අය ප්‍රකෝප කරනවා. අශෝභන වචනයි කතා කරන්නේ. දැන උගත්කමෙන්, ඇවතුම් පැවතුම්වලින් ඉතා යහපත් වුණත්, කතා කරන වචන නිසා අන් අය පිළිකුල් කරනවා. ප්‍රතික්ෂේප කරනවා. බුදුරජාණන් වහන්ස, පිළින්දවච්ච මහරහතන් වහන්සේගේ ස්වභාවය මෙසේ වූයේ කෙසේ ද? භික්ෂූන් වහන්සේලා බුදු හිමියන්ගෙන් විමසුවා.

“මහණෙනි, පිළින්දවච්ච මහ රහතන් වහන්සේ පෙර සසර පුරුද්දක් නිසයි, ඔය වගේ නරක වචන කතා කරන්නේ. ආත්ම බව දහතුනක් උසස් බමුණු කුලයන්හි ඉපදුණත්, අන් අය සුළු කොට සැලකුවා. පහත් ලෙස සැලකුවා. සසර පුරාම පුරුද්දක් ලෙස තෝ, තා, වසලය වැනි අන් අයට නිග්‍රහ වන වචන කතා කළා. ඒ නිසා මේ අත් බවයේ දීත්, පුරුද්දක් ලෙස එවැනි වචනයෙන් අන් අයට ආමන්ත්‍රණය කරනවා.” යැයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා.

පිළින්දවච්ච මහරහතන් වහන්සේට පූර්ව ආත්මයන් හි කරන ලද කුසලයන් හේතුවෙන් දේවාශිර්වාදය, පුද සත්කාර, ආශ්චර්යවත් ලෙස හිමි වී තිබුණා. උන්වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට මහරහතන් වහන්සේ නමක් වීමේ ප්‍රාර්ථනාවෙන් පින් දහම් කළා. කුසල් රැස් කළා. ඒ පින් බලයෙන් ගෞතම බුදුරදුන්ගේ කාලයේ පිළින්දවච්ච මහරහතන් වහන්සේ ලෙස දෙවියන්ට පි‍්‍රය මනාප වූ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා.

දරුවනේ, සසරේ දී වැරැදි පුරුදු පුහුණු කළොත් පැවිදි වුණත්, රහත් වුණත් ඒ පුරුදු අත්හැරීම අපහසුයි. පිළින්දවච්ච මහරහතන් වහන්සේ උදාහරණයට ගෙන මේ පින්වත් දරුවන් යහපත් වචනම කතා කරන්න පුරුදු වෙන්නට ඕනෑ. නිතරම නරක වචන, නරක වැඩ කරන අය දුටුවා ම ‘ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි’ කියලා වැඩිහිටියන් කියන කතාව අසා තිබෙනවා නේද? යහපත් දරුවෙක් කිසිවෙකුගෙන් එවැනි වචන අසන්නේ නෑ. අපගේ ජීවිතයට, අනාගත සසර ගමනට යහපත් දේ, හොඳ දේ එක්කර ගන්නට අද සිටම හුරු පුරුදු වෙමු.