Print this Article


තෙවළා බුදු වදන් අතරින් 45: වරද පිළිගැනීම බොදු ප්‍රතිපදාව ය

තෙවළා බුදු වදන් අතරින් 45:

වරද පිළිගැනීම බොදු ප්‍රතිපදාව ය

බුද්ධ වචනය ඇතුළත් පිටක ග්‍රන්ථ අතුරින් ඛුද්දක නිකායට අයත් ධම්මපද පාලිය ධර්මෝපදේශයන්ගෙන් පෝෂිත අත්පොත කි. විවිධ බුද්ධ දේශනාවන්හි ඇතුළත් අර්ථ සම්පන්න ගාථා පමණක් ගෙන සංගෘහිත ධම්මපදය බෞද්ධයන් අතර පමණක් නොව, අබෞද්ධයන්ගේ ද, සිත් ආරාධනා කෙරෙන උපදේශාත්මක කෘතියකි.

විවිධ භාෂාවන් ට පරිවර්තනය වී ඇති ධම්මපදයේ එන එක් ගාථාවක වුව විශාල දර්ශනයක් සම්පිණ්ඩිත ව තිබේ. එහි ඇතුළත් උපදේශාත්මක ඉගැන්වීම් කෙනෙකුගේ ආගම, ජාතිය, වර්ණය හෝ විශ්වාස පද්ධතිය සමග නොගැටෙන හෙයින් එම උපදෙස් විශ්ව සමාජයේ කවරෙකුට වුව, තම ජීවිතයට පහසුවෙන් ඇතුළත්කරගත හැකි ය. ධම්මපද පාලි මල වග්ගයේ ඇතුළත් දහ අට හා දහ නව වන ගාථා පිළිබඳ අවධානය යොමු කිරීමෙන් කෙනෙකු අතින් නිතර නිතර සිදුවන එක් වරදක් නිවැරැදි කර ගත හැකි වේ. එහි දැක්වෙන පරිදි:

අනුන්ගේ සුළු වරද වුව දක්නට පහසු ය. එහෙත් තමාගේ විශාල වරද වුව දැකිය නොහැකි ය. නිතර අනුන්ගේ වරද සොයන තැනැත්තා සුළු වරද වුව, බොල් රොඩු පොළන්නෙකු මෙන් උස්තැනක තබා කථා කරයි. එහෙත් කොළ, පැලලි ආදියෙන් තම සිරුර මුවහා කරන වංචනික ලිහිණි වැද්දෙකු මෙන් තමාගේ විශාල වරද වුව යටපත් කරයි.

අනුන්ගේ වරද දකින, එසේම නිතර නිතර අනුන්ට දොස් පවරන තැනැත්තාගේ සිතෙහි ආශ්‍රව ධර්ම වැඩේ. එසේම නිතර ආශ්‍රව වැඩෙන හෙයින්, එම තැනැත්තා ආශ්‍රවයන් ක්‍ෂය කිරීමේ පිළිවෙතින් ඇත් වූවෙකි.

මෙම උපදේශය අනුව කෙනෙකුට අන් අයගේ වරද පහසුවෙන් දැකිය හැකි ය. නිතර නිතර අනුන්ගේ දොස්ම සොයන තැනැත්තා, එම දොස් හුවා දක්වන්නේ බොල්පොතු පොළන්නෙකු අත් උස්කොට සුළං හමන දිශාව ට අනුව කුල්ලෙන් පොළන්නාක් මෙනි. බොල්පොතු පෙළීමේ උපමාව අනුව එයින් ගම්‍ය වන්නේ නිතර නිතර අනුන්ගේ වරද සොයන්නා සුළු වරදක් වුව හුවා දක්වන්නට ගන්නා උත්සාහය යි. එහෙත් අනුන්ගේ සුළු වරද වුව හුවා දැක්වීම ට උනන්දුවන පුද්ගලයා තමන්ගේ විශාල වරද පවා සැඟවීමට උත්සුක වේ. ලිහිණි පක්‍ෂීන් දඩයමෙහි යෙදෙන ලිහිණි වැද්දා හැම විට ම පක්‍ෂීන් දඩයම් කරන්නේ කොළවලින් සැදූ පැළැල්ලකට මුවා වෙමිනි. ලිහිණි වැද්දා දුටුවහොත් ලිහිණි පක්‍ෂීන් වහා ඉවතට පියඹා යනු ඇත. තමාගේ විශාල වැරැදි සඟවා තබාගෙන අන්‍යයන්ගේ කුඩා වරද වුව ඉස්මතු කොට දැක්වීමට උත්සුක වන තැනැත්තා ලිහිණි වැද්දෙකු මෙන් වංචනිකයෙකි. ලිහිණි වැද්දන් මෙන් හැසිරෙන පුද්ගලයෝ කොතෙකුත් දක්නට ලැබේ. තිදොරින් තමා කළ වැරැදි මහමෙරටත් වඩා උසට තිබිය දී ඒවා යටපත්කොට අන්‍යයන්ගේ සුළු වරද මතුකර දැක්වීම ට උත්සුක වන පුද්ගලයා සැබැවින්ම වංචනිකයෙකි. පොදුවේ සැම මිනිසෙකුගේ ම දක්නට ලැබෙන ස්වභාවය නම් තමා සාකල්‍යයෙන් ම නිවැරැදිය, අන් අය වැරැදිය යන ආකල්පයයි. මෙනිසා කවර තරමේ කෙනෙකුට වුව ඉතා පහසුවෙන් අන් අයගේ වැරැදි දැකිය හැකි ය. නිතර අනුන්ගේ වරද දැකීම පමණක් නොව එය හුවා දැක්වීම ද වංචනික ලක්‍ෂණයකි.

කෙනෙකුගේ වරදක් දැකීම සැබැවින් ම වරදක් යැයි කෙනෙකුට කිව හැකිද? නැත. දෙමාපියන්, ගුරුවරුන්, කල්‍යාණ මිත්‍රයන්, වැඩිහිටියන් වරද දැකීමට අමතර ව නිවැරැදි කිරීම ට අවශ්‍ය උපදෙස් ද ලබා දෙයි. එම අර්ථයෙන් ඔවුන් සිදුකරන්නේ යහපත් දෙය කි. එහෙත් සමාජයේ බහුතරයක් එබඳු සත්ගුණයන්ගෙන් යුක්ත වූවෝ නොවෙති. බොහෝ දෙනෙකු තවත් කෙනෙකුගේ වරද දකින්නේ නිවැරැදි කිරීමේ අදහසින් නොවේ. වරද හුවාදක්වමින් එම පුද්ගලයා අපහසුවට, අපකීර්තියට හා නින්දාව ට භාජනය කිරීම සඳහා ය. එවැනි අසත්පුරුෂ ආකල්පවලින් යුක්තව වැරැදි දැකීම අනුමත කළ නොහැකි ය. එසේම තමන් දුටු වරද අදාළ පුද්ගලයාට පෙන්වා දී එම වරදින් ඔහු වැළැක්වීම සත්පුරුෂ ආකල්ප ය වුවත්, බොහෝ දෙනෙකු එසේ නොකර කුඩා වරද වුව එය අන්‍යයන් ඉදිරියේ හුවා දක්වමින් කටයුතු කරති. ධම්මපදයේ දැක්වෙන පරිදි අන්‍යයන්ගේ සුළු වරද වුව හුවා දක්වන තැනැත්තා අතිශය වැරැදි බහුල තැනැත්තෙකි. එවැන්නෙකු අන්‍යයන්ගේ වැරැදි සෙවීම යුක්තිසහගත සාධාරණ දෙයක් ලෙස දැකිය නොහැකි ය. ධම්මපදයේ වෙනත් ගාථාවක දැක්වෙන පරිදි අන්‍යයන්ගේ අනුශාසකයා බවට පත්වීමට පෙර පළමුව තමන් නිවැරැදි අයෙකු බවට පත්විය යුතු වේ. තමා නිවැරැදි වීමෙන් අනුතුරුව අන්‍යයන්ට අනුශාසනා කළ යුතු වේ. එවැනි පරමාදර්ශී පුද්ගලයා සමාජයට අනුශාසනා කිරීමට සාකල්‍යයෙන්ම සුදුසු වේ. එහෙත් අප කැමැති වුව ද, නැත ද, ඇතැම් පුද්ගලයන්ගේ හා සංවිධානවල වැරැදි සාකළ්‍යයෙන්ම නිවැරැදි කළ නොහැකි බව ද තේරුම් ගැනීම අවශ්‍ය වේ.

ඉහත ගාථාවේ දැක්වෙන පරිදි කෙනෙකු තමාගේ වරද සැඟවීම වංචනික කමකි. සාකල්‍යයෙන්ම නිදොස් වූවෙක් දක්නට නොමැත. හැම කෙනෙකුගේ ම කිසියම් වරදක් තිබේ. එහෙත් කෙනෙකු තමාගේ වැරැදි විශාල ප්‍රමාණයක් තබාගෙන, ඒ සියල්ල සැඟවීමට දරන ප්‍රයත්නය වංචනිකයෙකු ලෙස ක්‍රියා කිරීම කි. එවැනි පුද්ගලයන් කොතෙකුත් දක්නට ලැබේ. සත්පුරුෂ ලක්‍ෂණය නම් තමා කළ වරද දැකීම හා පිළිගැනීම යි. බොහෝ දෙනෙකු එසේ කිරීමට මැලිකමක් දක්වති. හැකිතාක් උත්සුක වන්නේ කළ වරද සැඟවීමට හෝ එසේ නොමැති නම් තම වැරැද්ද සාධාරණීයකරණය පිණිස ය. මෙය බහුලව අසන්න ට දකින්න ට ලැබෙන පොදු ස්වභාවය යි. එහෙත් බෞද්ධ පිළිවෙත එය නොවේ. තම වරද දැකීමත්, සත්පුරුෂයන් විසින් පෙන්වාදෙනු ලැබූ කල්හී වරද පිළිගෙන එයට පිළියම් යෙදීමත් බෞද්ධ පිළිවෙත වේ.

ධම්මපද මල වග්ගයේ දහ නව වන ගාථාවේ දැක්වෙන පරිදි නිතර නිතර අනුන්ගේ දොස්ම දකින, එසේම නිතර නිතර අනුන්ට දොස් පවරණ තැනැත්තාගේ සිත කෙලෙස් ධර්මවලින් අපිරිසුදු එකක් බවට පත් වේ. නිතර අනුන් දොස් සෙවීමෙන් සිදුවන්නේ අකුසල සහගත චිත්තවේග වර්ධනය වීම යි. ලෝභ, දෝස, මෝහ මූලික කරගත් අකුසල චේතනා වර්ධනය වීමත් සමඟම ක්‍රමයෙන් ඊට සාපේක්‍ෂක අකුසල සිතිවිලි චේතනා සමූහයක් සිතෙහි නිතර බලපැවැත්වීමෙන් මානසික වශයෙන් මෙන්ම කායික සෞඛ්‍ය යන දෙ අංශයෙන් ම පරිහානියට පත් වේ. මනස ආශ්‍රව ධර්මයන්ගෙන් නිතර නිතර කිලිටි වීම නිසා ඒවා බැහැර කිරීම ද අතිශය දුෂ්කර වේ. ඒ අනුව නිතර නිතර අනුන් දොස් සෙවීමත්, අනුන්ට නිතර නිතර දොස් පැවරීමත් යන දෙකම නොකළ යුතු දෑ බව පැහැදිලි ය. එහෙත් එය පුරුද්දක් ලෙස පවත්වාගෙන යන අය කොතෙකුත් දක්නට ලැබේ. ඔවුන්ගේ එම හැසිරීම හේතුවෙන් මානසික ව අසහනයට පත් විශාල පිරිසක් ද වෙසෙති. තම ස්වාමියා, බිරිඳ, දෙමාපියන්, ගුරුවරුන් පමණක් නොව ආයතන ප්‍රධානීන්ගෙන්ද නිතර නිතර දොස් ඇසීමට සිදුවීම සිත කළකිරවන්න කි. එබැවින් කෙනෙකුගේ වැරැදි පෙන්වා දීමේ දී කිසියම් සීමාවක් තිබිය යුතු බව වටහා ගැනීම අවශ්‍ය වේ. නිතර නිතර දොස් සොයන, ඒවා පෙන්වා දෙමින් පුද්ගලයා අපහසුතාව ට පත් කිරීමෙන් සිදුවන්නේ, දොස් අසන්නා, මෙන්ම කියන්නා ද, අසහනයට පත්වීම යි. එවැනි පරිසරයක වාසය කිරීමට කිසිවෙකුත් කැමති නොවේ. එබැවින් ඉහත දැක් වූ ධම්මපද උපදේශය ගැන ගැඹුරින් විමසා බලා ආදර්ශයට ගැනීමෙන් අන්‍යයන්ගේ සුළු වරද හුවා දැක්වීම ත් තමන්ගේ විශාල වරද යටපත් කිරීම ත් යන දෙ අංශයෙන් ම වැළැකී, පිරිසුදු සිතින් කටයුතු කරන්නාගේ සිත කෙලෙස් ධර්මයන්ගෙන් බැහැර වූවක් බවට පත් වේ.