Print this Article


ත්‍රිිපිටක දහම-10: මනසේ මායාව

ත්‍රිපිටක දහම-10:

මනසේ මායාව


මෙම තත්පරයේ ඇසට යම් වර්ණ සටහනක් ගැටුණානම්, ඒ වර්ණ සටහන නැවත කවදාවත් ඇති වන්නේ නැහැ. මේ මොහොතේ ඒ වර්ණ සටහන ගෝචර කරගත් ඇසක් තිබුණා නම්, ඒ ඇස නැවත කවදාවත් හටගන්නේ නැහැ. ඇස හා රූපය නැවත කවදාවත් හටගන්නේ නැතිනම්, ඒ ඇස , රූපය නිසා හටගෙන නිරුද්ධ වුණ සිත නැවත හටගන්නත් බැහැ. හැබැයි, අප තුළ ඇති මෝඩකම නිසා අප හිතනවා, පෙර දුටු දේ ම නැවත පෙනෙනවා යනුවෙන්. නැවත ගස නමැති උදාහරණය ගනිමු.

එක පාරක් ගස දෙස බලා අහක බලා සිට නැවත බලද්දී , පෙර තිබූ ගසම පෙනෙනවා යැ’යි සිතනවා. හැබැයි, ඇසට අලුතෙන් ම පාට ටිකක්, අලුතෙන්ම කොටසක් පෙනෙන විට, ඔබ මනසින් තමයි, දැන ගන්නේ කලින් තිබුණු ගස කියා. ඇසට කවදාවත් බැහැ, පෙර තිබුණු ගස දකින්න. ඒ නිසා ඇස පැත්තෙන් කියනවා, ඇස අනිත්‍ය යි, රූපය අනිත්‍ය යි. එහෙමනම්, මෙලෙස අනිත්‍ය යි යනුවෙන් සඳහන් කළේ, ගස අනිත්‍ය යි කියන දේ නො වෙයි, ඇසට හමුවුණ වර්ණ සටහන අනිත්‍ය යි, වර්ණ සටහන ගෝචර කරගන්නා ප්‍රසාදය අනිත්‍ය යි, යනුවෙන් අනිත්‍ය ගැන කතා කළේ මෙතැන යි.

එහෙමනම්, ඇසට පුළුවන්කමක් ලැබුණේ නැහැ, එක දිගටම වර්ණ සටහන ඇසට පතිත කර තියා ගන්න. වර්ණ සටහනට පුළුවන්කමක් තිබුණේ නැහැ, එක දිගට ඇසට පතිතව තියා ගන්න. එවිට මේ හේතු ධර්මතාවන්ට පුළුවන්කමක් තිබුණේ නැහැ, තමන්ට ඕන ලෙසින් පවතින්නට. හේතුවේ ස්වභාවය තමයි, ඇස, රූප දෙකේ හටගෙන නැතිවෙලා යනකම. එය කාටවත් වළක්වන්නට පුළුවන් දෙයක් නො වෙයි. හටගෙන නැතිවෙලා යනකම. එය ස්වභාවය යි. ඒ නිසා මෙහි ඇති හටගෙන නැතිවෙනකම, නිසා මෙහි තියෙනවා, පෙළීම් අර්ථයේ දුක්ඛ සත්‍යයේ ඇති ලක්ෂණය. ඒ නිසා තමයි, ‘යදනිච්චං තං දුක්ඛං’ යනුවෙන් යමක් අනිත්‍ය නම්, එය දුකයි යනුවෙන් සඳහන් කළේ. අපට සැප වේදනාවක් උපදින තැනක දී , හිසේ කැක්කුම හොඳ වෙන තැනකදී ඇතිවෙන වේදනාව හේතු නිසා හැදුණා නම්, ඒ හේතු ටික ඒ මොහොතේ නැතිවී යනවා නම්, එහි ද ඇත්තේ දුකක්. ඒ දුක වේදනාවෙන් නො වෙයි, කතා කරන්නේ. ඒ දුක නුවණින් තේරුම් ගත යුතු පීලනාර්ථයේ දුක්ඛ ලක්ෂණය එතැන පවතිනවා.

එසේනම්, අප දුකයි කියන තැනත් මේ දුක තියෙනවා. අප හඬනවා නම්, විලාප නඟනවා නම්, කායික මානසික දුක හටගන්නවා නම්, ඒ සෑම තැනක දී ම මේ දුක පවතිනවා. එසේ ම එය ඉක්මවා ගිහින්, අපට ස්කන්ධයන්ගේ හටගෙන නැතිවෙන තැන සැපයි යනුවෙන් පැවසුවත්, දුක යි යනුවෙන් පැවසුවත් , උපේක්ෂා සහගත වුවත් ඒ සෑම තැනකටම පොදු දෙයක් වන්නේ පීලනාර්ථයේ එන දුක්ඛ ලක්ෂණය යි. එවිට දැන් ඔබට පැහැදිලි යි, ‘යදනිච්චං තං දුක්ඛං’ යනුවෙන් පැවසුවේ ඇයි? යනුවෙන්. යමක් අනිත්‍යනම් මෙය දුකයි යනුවෙන් හේතු වුණේ ඇයි? යමක් අනිත්‍ය නම් එය දුක යි යනුවෙන් සඳහන් කළේ, අනිත්‍ය වන ස්කන්ධ ධර්මතා ටිකම හේතූන්ගේ පවතින්නට බැරි ස්වභාවය නිසා එහිම තියෙනවා දුක්ඛ ලක්ෂණයක්. එසේනම්, දුක්ඛ සත්‍ය පිළිබඳව එක ආකාරයකට එක ලක්ෂණයකින් හඳුනා ගත්තා.

එහෙමනම්, මේ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා යනුවෙන් පවසද්දී, එයා දුක අවබෝධ කරගත්තෙක් වී නැහැ, දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නෙක් බවට පත්වන්නට, අවශ්‍ය වෙනවා. එවිට දුක්ඛ සත්‍ය පිළිබඳව විග්‍රහ වන පළමු දේ අප කථා කළේ, පීලනාර්ථයෙහි එන දුක්ඛ ලක්ෂණය පිළිබඳවයි. ඊට පසුව මෙහි තවත් දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. එනම්, දෙවන දුක්ඛ ලක්ෂණය වන්නේ, ‘සංඛකතප්පො’ එනම් සංඛතාර්ථයේ එන දුක්ඛ ලක්ෂණය යනුවෙන් සඳහන් කරන්නේ, සංඛතයි යනු සකස් කළා යන අදහස යි. එසේනම්, කුමකින් ද, සකස් කරන්නේ? හේතූන්ගෙන් සකස් කළ නිසා අප එයට කියනවා, සංඛතයි යනුවෙන්. එහෙමනම්, යම් ධර්මතාවයක් අපට පෙනෙනවා නම්, ‘සංඛතයි’ කියන එනම්, හේතූන්ගෙන් සකස් කළ සියලුම ධර්මතාවයන්ගේ සංඛත ලක්ෂණය හේතූන්ගෙන් සකස් කරන බව දුක්ඛ ලක්ෂණයක්. ඇයි? හේතූන්ගෙන් සකස් කරන බව දුක්ඛ ලක්ෂණයක් යනුවෙන් පැවසුවේ. හේතූන්ගෙන් සකස් කරන දේ ඕනෑම වේලාවක නැතිවී යන්නට පුළුවන්. කුමන වේලාවට ද? හේතු නැතිවී යන වේලාවට. ඒ නිසා යම්කිසි ඵලයක් නිෂ්පත්තියට පත් කරලා තියෙන්නේ යම් හේතු ටිකක් නිසා නම්, ඒ හේතුව නැතිවී යන ඕනෑම අවස්ථාවක එහි ඵලය නැතිවී යන්නට පුළුවන්. ඒ නිසා හේතු නිසා සකසන බව ම, දුක්ඛ ලක්ෂණයක්. එය වේදනාවකින් නො වෙයි කතා කරන්නේ. මේ කතා කරන්නේ ලෝකයේ සැපයි , යනුවෙන් පැවසුවත්, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය සැපයි යනුවෙන් පැවසුවොත්, භවාග්‍රය දක්වා ම සැප කතා කළත්, ඒ හැම තැනක් ම හේතු නිසා සකස් වෙනවා නම්, හේතු නැතිවෙලා යනවිට නැතිවෙලා යන දුක්ඛ ලක්ෂණයක් තියෙනවා.

ඒ නිසයි, ආනන්ද ස්වාමීන් වහන්සේ දවසක් මේ ලෝකය පිහිටියේ කොහිදැ’යි අසන විට, ‘දුක්ඛෙ ලොකො පතිට්ඨිතො’ දුක මත තමයි, මේ ලෝකය පිහිටා සිටින්නේ යනුවෙන් පිළිතුරු දුන්නේ. එහෙම නම් එලෙස දුකයි යනුවෙන් වදාළේ දුක්ඛ වේදනාවකින් නො වෙයි. ඇතැම් අය එය අර්ථ දක්වන්නට උත්සාහ කරනවා, සෑම විටම දුකයි යනුවෙන් පැවසීම අසුභවාදී දර්ශනයක් ලෙස. නැහැ, මේක අසුභවාදී දර්ශනයක් නො වෙයි. මෙලෙස කතා කරන්නේ වේදනාත්මක දුක ගැනත් නො වෙයි. නුවණින් අවබෝධ කරන දුක පිළිබඳව යි. මේ ශාසනයේ කතා කරන්නේ මෝඩකම නැති කරගන්නා බව පිළිබඳව යි. මෝඩකමට සිනහ පහළ කිරීමත්, එයට දුක් වීමත් දුරු කරගන්නා දෙයක් පිළිබඳව යි මේ ශාසනයේ කතා කරන්නේ.