Print this Article


බොදු සාහිත කෙත පෝෂණයට අතදෙන බෞද්ධ සාහිත්‍ය උත්සවය

බොදු සාහිත කෙත පෝෂණයට අතදෙන බෞද්ධ සාහිත්‍ය උත්සවය

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 13 වන වරට සහ බුද්ධශාසන අමාත්‍යාංශය ඒකාබද්ධව නව වන වරටත් සංවිධානය කරනු ලැබූ බෞද්ධ සාහිත්‍ය උත්සවය සැප්තැම්බර් මස 19 වන දින පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ලෝටස් ශාලාවේ දී පැවැත්විණ. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ ආරාධනයෙන් මුලසුන හොබවන ලද්දේ දිවියාගහ යසස්සි නායක ස්වාමීන් වහන්සේ ය.

මෙහි දී මහනුවර යුගයේ “අප්‍රකට විත්ති (පළමුවන හා දෙවන වෙළුම) කෘතිය” රචනා කළ කේ.ඩබ්ලිව්.ආර්.එම්.ආර්. චාමිකර බණ්ඩාර පිලපිටිය මහතාට, “අනුරාධපුර මහා විහාර කෘතිය” රචනා කළ මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතාට, “ස්වර්ණමාලි මහා චෛත්‍යය වර්ණනාව කෘතිය” රචනා කළ ගයාන් චානුක විදානපතිරණ මහතාට, “මහබිසෝ ලීලාවතී කෘතිය” රචනා කළ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතාට, “මහාසමය සූත්‍රය හා සමයාන්තර දේව සංකල්පය කෘතිය” රචනා කළ පූජ්‍ය ලේල්වල අරියධම්ම ස්වාමීන් වහන්සේට, “සිංහල අකුරු පුරාණය කෘතිය” රචනා කළ මහාචාර්ය සඳගෝමී කෝපරහේවා මහතාට, “සිදුහත් මෙහෙසිය යශෝධරා කෘතිය” රචනා කළ පණ්ඩිත් අශෝක කරුණාරත්න මහතාට, “රන්තැටියට ගී සිංදු කෘතිය” රචනා කළ රත්න ශ්‍රී විජේසිංහ මහතාට, “රන්කබල හා රන්පලස කෘතිය” රචනා කළ රත්න ඒ.එල්.එස්. අබේවික්‍රම මහතාට, “දතක මහිම කෘතිය” රචනා කළ පූජ්‍ය වෑතර මහින්ද ස්වාමීන් වහන්සේට, “මහා මානව කෘතිය” රචනා කළ ප්‍රේමරත්න සමරනායක මහතාට, “ශ්‍රී ශාක්‍යමුනි ද්‍රාවධාන මහාකාව්‍ය කෘතිය” රචනා කළ දම්පේ විජිතරතන ස්වාමීන් වහන්සේට, “ස්වර වැස්සට තෙමී කෘතිය” රචනා කළ අතුල ජයදේව මහතා ඇතුළු පිරිස 2018 වසරේ නිකුත් වූ බෞද්ධ ග්‍රන්ථ සම්මානයට පාත්‍ර විය. විශිෂ්ටතම සේවා අභිනන්දනය සඳහා පිරිනැමෙන මහාචාර්ය ගුණපාල මලලසේකර අනුස්මරණ සම්මානය මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතාටත්, බෞද්ධ චිත්‍ර කලාව වෙනුවෙන් පිරිනැමෙන සෝලියස් මැන්ඩිස් අනුස්මරණ සම්මානය අනුර විජේවර්ධන මහතාටත්, බොදු මහා සමුළුව පිරිනැමුවේ ය.

බුදු දහම, පාලි බස ඉගැන්වීමෙන් ග්‍රන්ථකරණයෙන්, ශ්‍රී ලාංකික ජන සමාජයේ අභිවෘද්ධිය පතා කරන ලද ගරු සේවය අගයමින් මාතුදාස ලියනගේ මහතාත් ඇගයීමට පාත්‍ර විය. බෞද්ධ ගීත රචනය වෙනුවෙන් රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේත්, මහාචාර්ය සනත් නන්දසිරි මහතා, ආචාර්ය වික්ටර් රත්නායක මහතාත් විශේෂ ඇගයීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය කටයුතු කළ අතර, මහාචාර්ය විනී විතාරණ අභිනන්දන සමරු කලාපය ද මෙවර බෞද්ධ සාහිත්‍ය උත්සවයේ දී පිරිනමන ලදී.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා, මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා, බුද්ධශාසන අමාත්‍යාංශයේ උපදේශක චන්ද්‍රප්‍රේම ගමගේ මහතා සම්මාන සහතික පිරිනැමීමට සහභාගී වූ අතර, මහා සංඝරත්නය සහ ගිහි භවතුන් විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වී සිටියහ.