Print this Article


පූජාච පූජනියනං

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ රාස්සගල පාර්ශ්වයේ මහානායක දර්ශනපති

කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නාහිමි

1946 ඔක්තෝබර් පළමු වැනිදා දකුණු ලක නිල්වලා ගංතෙරේ ගැමි සුවඳ විහිදුවන මාතර කඹුරුපිටිය කරගොඩ උයන්ගොඩ දොන් සාදිරිස් අබේවික්‍රම වීරමන් හා මුණසිංහ වික්‍රමරත්න අබේවික්‍රම දම්පතීන් යුවළට සිය තුන්වැනි දරුවා ලෙසින් මෙලොවට දායාද කළ සුපින්වත් කුමරු වයස අවුරුදු 13 දී අග්ග මහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමිපාණන් වහන්සේගේ සෙවනේ රැඳෙමින් සිට දහම් පොතේ මූලික අධ්‍යාපනය හදාරා 1962 වසරේ උන්වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදිබිමට පිවිසීය.

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන්ගේ දැනට සුජීවත්ව සිටින ප්‍රධාන ශිෂ්‍ය රත්නය ලෙස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ රාස්සගල පාර්ශ්වයේ මහා නායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමියන්ට ශාසනික ක්ෂේත්‍රය තුළ හිමිවන්නේ සුවිශේෂී වූ ස්ථානයකි.

බළන්ගොඩ මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති ස්වාමීන් වහන්සේ ලෙස රට , ජාතිය වෙනුවෙන් ඉටුකරනු ලබන ශාසනික සමාජමය මෙහෙවර අති විශාල ය. එනිසා ම උන්වහන්සේ වෙත බොහෝ තනතුරු ගලා ආවේය. රාස්සගල පාර්ශ්වයේ මහා නායක තනතුරින් පිදුම් ලද උන්වහන්සේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ උපදේශක තනතුරක කටයුතු කරනු ලබයි. ජනාධිපතිතුමා විසින් පත් කරනු ලබන අන්තර් ආගමික උපදේශක කමිටුවේ සාමාජිකයෙක් මෙන්ම ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස අනභිභවනීය සේවයක නිරතවෙමින් සිටිති. ආගමික ක්ෂේත්‍රයේ මෙන්ම සමාජයීය සංස්කෘතික කටයුතුවලදී ප්‍රමුඛව මැදිහත් වෙමින් ඍජු හා සුපටිපන්න ගුණෝපේත ගුණයෙන් යුත් ස්වාමීන් වහන්සේ නමකි. ප්‍රදේශයේ ඇති උසස් අධ්‍යාපන ආයතනයක් වන ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට මුල්ගල තැබීමට පවා සෙත්පිරිත් කියමින් ආශිර්වාද කළ උන්වහන්සේ එතෙක් පටන් අද දක්වා විශ්වවිද්‍යාලයේ ඇති සෑම සුවිශේෂි අවස්ථාවකටම සහභාගි වන්නේ අධ්‍යාපනික මෙහෙවර තවදුරටත් අත්නොහරිමිනි. එමෙන්ම ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයේ සාමාජිකත්වය දරමින් එහි කටයුතුවලට දායක වන්නේ ද වසර හයක් අඛණ්ඩ සේවය ලබා දෙමිනි.

ගුවන් විදුලියේ මාස් පතා ධර්ම දේශනා , රූපවාහිනී ධර්ම දේශනාවලට සහභාගී වෙමින් හා ජනතාව තුළ ධර්ම ඥානය ඇතිකිරීමටත් මාසික සුවය හා අධ්‍යාත්මික සුවය ඇතිකිරීමට ද දායක වන්නේ අනලස්වය.උන් වහන්සේ අතින් ලියැවුන පොත්පත් රාශියක් ඇති අතර ඉන් මනස පිළිබඳ බෞද්ධ විග්‍රහය සුවිශේෂ ග්‍රන්ථයකි. බෞද්ධ පුවත්පත් සඳහා ද නිරන්තර ලිපි සපයමින් සක්‍රීය දායකත්වයක් ලබා දෙන්නේ යහපත් ජීවන සමාජ වටපිටාවක් සකසා ගැනීමට ජනතා සිත්සතන් පෝෂණය කරමිනි. නැව්ගල පිහිටි ජාත්‍යන්තර ශාසනාලෝක භික්ෂුණි සංගමයේ ප්‍රධාන අනුශාසක ධුරය හොබවමින් සිදුකරන ආගමික හා ශාසනික මෙහෙවර අතිමහත්ය. ප්‍රාචීන ප්‍රාරම්භ,මධ්‍යම විභාග ත්‍යාග සහිතව සමත්ව ඇති අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වරම් ලබන්නේ ඉහළ සමාර්ථයන් සහිතවය. උපාධිය සමත්ව වසර කීපයක් එම විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරමින් සිට අනතුරුව ගුරුසේවයට පැමිණ දස දහසක් දරු පරපුරක අනාගතය පෝෂණය කරන්නට එක්වූ උන්වහන්සේ, සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බුද්ධාගම හා පිරිවෙන් අධ්‍යාපන විෂය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරෙහි වසර 15 කට අධික කාලයක් අධ්‍යාපන ක්ෂේත්‍රයට මෙහෙවර ඉටු කරමින් විශ්‍රාම දිවියට පිවිසීය. බළන්ගොඩ පුරවරයේ ඔවුන්ගේ සමාජයීය, සංස්කෘතික ආගමික කටයුතුවලට මැදිහත් වෙමින්, උපදෙස් ලබා දෙමින් සුහදතාව ගොඩනගමින් බහු වාර්ගික ජනතාව අතර සහජීවනය ඇතිකරමින් සඟ රුවනක ලෙස බහුජන ගෞරවාදරයට පත්ව ඇති බවද ප්‍රකට නොරහසකි. සිය ධර්මානන්ද පිරිවෙන මගින් ගිහි පැවිදි දහස් ගණනක් සිසුන් උසස් අධ්‍යාපනයට යොමුකරමින් එහි නියමුවාණන් ලෙස සිදු කරන්නාවූ සේවාව අතිමහත්ය. ප්‍රදේශයේ විශාලම සිසු පිරිසක් අධ්‍යයන කටයුතු කරන දහම්පාසල පවත්වා ගැනීමත්, එමගින් දරුවන් දහම් මගට යොමු කරමින් ධර්මඤාණය පෝෂණය කිරීම උන්වහන්සේ සිදුරකන්නාවු සේවාවකි. බළන්ගොඩ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ දහම් තරගලාවලින්ගෙන් පිට පිට වසර 37 ක් නොකඩවා ප්‍රථම ස්ථානය දිනීම ද කැපී පෙනේ. පන්සලක ඇති සජීවි ක්‍රියාකාරිත්වය සජීවීව පවත්වා ගනිමින් මිනිසුන්ගේ අධ්‍යාත්මය සැකසීමට සිය ජීවිතය කැප කරනු ලබන උන්වහන්සේට පරාර්ථ සේවය පිණිස චිරාත්කල් නිරෝගීසුවය ප්‍රාර්ථනා කරමු.

උන්වහන්සේගේ ජන්ම දිනය නිමිතිකර ඔක්තෝබර් මස 1 වැනිදා ගැබිණි මාතාවන් අසූවක් පමණ පිරිසට වියළි ආහාර ද්‍රව්‍ය සලාකයක් හා අවශ්‍ය උපකරණ ලබා දීමට පියවර ගෙන ඇත.


හල්වතුරේ අස්සජී නා හිමි

1957 ජූනි 20 වන දින කළුතර හල්වතුර නමින් පතල ග්‍රාම වරයෙහි ඇම්.පීරිස්, ඇම්. කර්ලින්නෝනා දම්පතීන් වෙත අභිජාතව ඇම්. ජයවර්ධන නමින් ජන්ම ලාභය ලබා ක/හල්වතුර කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික සිප් සතර හදාරන ලදී.

1969 මැයි 02 වන දින බෝම්ඹුවල ශ්‍රී දස්සනසාර සුබෝධිරාජාරාම මහා විහාරාධිපති ගිරිකොළ ධම්මාලංකාර හිමියන්ගේ හා හල්වතුර ශ්‍රී සුධර්මවර්ධනාරාමාධිපති හල්වතුරේ සෝමාලෝක හිමියන්ගේ ආචාර්යත්වයෙන් හල්වතුරේ අස්සජී නමින් ඉංගිරිය ඌරුගල තපෝධනාරාම මහා විහාරස්ථානයේ දී සසුන් ගත වූහ. 1978 ජූලි 07 වන දින කළුතර ඓතිහාසික බෝධීන් වහන්සේ සමීපයෙහි කළුගං නදී උදකුක්ඛේප මංගල සීමා මාලකයේ දී ගිරිකොළ ධම්මාලංකාර හිමි හල්වතුරේ සෝමාලෝක මා හිමි, බෝම්ඹුවල විමල වංස මා හිමි යන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් සහ ශ්‍රී දස්සනසාර වංසාලංකාර ජිනානන්ද මහා ස්වාමීන්ද්‍රයන්වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලබා ගත්හ.

හොරණ විද්‍යාරත්න මහ පිරිවෙන, බුලුතොට හේමගිරි පිරිවෙන, කොළඹ ජේතවන විද්‍යායතන පිරිවෙන, නුගේගොඩ සුනේත්‍රාරාම පිරිවෙන යන ආයතන තුළින් මූලික අධ්‍යාපනය ලබන ලදී. 1980 පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. 1992 බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද, 1995 ජාතික අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපන ඩිප්ලෝමා සහතිකය ද ලැබ දැන උගත් මහා යතිවරයෙකු බවට පත් විය. පසුව දස්සනසාර ධර්මායතන පිරිවෙනෙහි පරිවෙනාධිපතිවරයෙකු ලෙස ද , ආචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරන ලදී. අමරපුර අරියවංස සද්ධම්ම යුක්තික මහා නිකායේ කළුතර රත්නපුර දෙ දිසාවේ ප්‍රධාන සංඝ නායක පදවිය උසුලමින් උදාර ශාසනික මෙහෙවරක යෙදී ක්‍රියා කරති.

2011 දී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරයේ දී තෙමසක් පුරා ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය සජ්ඣායනා කිරීම සදානුස්මරණීයවූත්, සුවිශේෂවූත් කාර්යයක් ලෙස සඳහන් කළ යුතු ය. පින්කම් සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා කුල දරුවන් සියයකට ආසන්න ප්‍රමාණයක් සසුන් ගත කළ අතර රාජ්‍ය හා පිරිවෙන් ගුරු සේවයේ නියුතු ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා රැසක් ශාසනික මෙහෙවරෙහි යෙදී සිටිති. බෝම්ඔුවල සුබෝධීරාජාරාම මූල මහා විහාරය ඇතුළු සප්ත මහා විහාරාධීශ්වර නාහිමිපාණන් පැවිද්දෙන් අඩ සිය වසක් සපිරීම සමරනු වස් සතර පේරුවේ දායක සභාව හා ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා විසින් විශේෂ ආගමික වැඩසටහන් හා ඇගයීම් උත්සවයක් සැප්තැම්බර් 01 දින සංවිධානය කර තිබිණි.


අපවත් වී වදාළ ගල්ටැම්වත්තේ ශ්‍රී චන්දජෝති නා හිමි

අපවත් වී වදාළ ගල්ටැම්වත්තේ ශ්‍රී චන්දජෝති නාහිමි ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඉකුත් සැප්තැම්බර් 01 වැනිදා ඓතිහාසික දෙමටමල් රාජමහා විහාර ආදාහන මළුවේදී පැවැත්වුණි.

ඔක්කම්පිටිය ඓතිහාසික යුදඟනා රාජමහා විහාරය. අලුත්වෙල තිබ්බටුවාව පුරාණ රජමහා විහාරය, වගුරුවෙල පෝයමලු පුරාණ විහාරය, පැල්වත්ත ශී‍්‍ර චන්ද්‍ර මධුරාරාමය, හැපැස්ස රජමහා විහාරය, වෙහෙරයාය පුරාණ විහාරය, දඹයාය බෞද්ධ මධ්‍යස්ථානය බටුකොටුව පුරාණ අරණ්‍ය සේනාසනය සහ බුත්තල බුද්ධරක්ඛිත ආරණ්‍ය සේනාසනය යන විහාරස්ථානයන් හි ආධිපත්‍යය දරමින් වැඩ සිටි උන් වහන්සේ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක සහ මහෝපාධ්‍යාය පදවි ද ඉසිලූ හ. මොණරාගල දිස්ත්‍රික්කයේ ගල්ටැම්වත්ත ගම්පියසේ විසූ, කේනාරා මුදියන්සේලාගේ අප්පුහාමි ගම්පතිතුමාට හා රත්නායක මුදියන්සේලාගේ සුදුමැණිකේ මහෝපාසිකා මාතාවගේ පුත්‍රයෙකු ලෙස 1927 නොවැම්බර් මස 27 වැනි දින ගල්ටැම්වත්තේ චන්දජෝති නාහිමියෝ ජන්මලාභය ලැබූ හ. 1939 සැප්තැම්බර් 11 වැනි දින අලුත්වෙල පුරාණ විහාරයේ දී ප්‍රව්‍රජ්‍යාභාවයට පත් වූ හ. පාරිවේණික අධ්‍යාපනය ලැබුවේ සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනෙහිය.

1948 මැයි මස 13 වැනි දින මහනුවර, අස්ගිරි මහා විහාරීය රාජකීය මංගල උපෝසථාගායේදී චන්දජෝති නාහිමියෝ උපසම්පදා ලැබූහ. 1953 දී ඔක්කම්පිටිය දෙමටමල් විහාරයේ වැඩ සිටිමින් අප්‍රමාණ සමාජ, සංස්කෘතික , ආගමික හා ජාතික සේවාවන් රැසකට නිසි නායකත්වය ලබා දුන්හ. ශ්‍රී චන්දජෝති නාහිමිපාණන් වහන්සේට නිවන් සුව ලැබේවා