Print this Article


වස්සානයයි කඨින චීවර පූජාවයි: පවාරණයට පෙර සිවුරට රෙදි සැකසීම

පවාරණයට පෙර සිවුරට රෙදි සැකසීම


මාතික මාතාවෝ එක එක භික්ෂූන් වහන්සේ ගැන දිව නුවණින් බලා උන්වහන්සේලාට උචිත යෝග්‍ය ශරීර පහසුව ලබා දෙන ධාන්‍ය, එළවළු, අල, බතල, පලාපල සහ පලතුරු ආදිය යොදා ප්‍රමාණවත් පරිදි එක එක භික්ෂූන් වහන්සේට දානය පිළියෙළ කරන අයුරු දිනපතා අලුයම ගම්වාසී උපාසිකාවන්ට උපදෙස් දෙන්නී ය.

මේ උපදේශ අනුව වස්සාන සමයෙහි අන්තිම මාසය තුළ කටයුතු කිරීම නිසා වස් පවාරණයට පෙර සැමදෙනා වහන්සේ ම සෘද්ධි බල සහිතව කෙලෙසුන් නසා උතුම් වූ රහත් ඵලයට පත් වූ සේක.

මෙය දැන ගැනීමෙන් දායක කාරකාදී සියල්ලෝ ද ඉමහත් ලෙස සතුටට පත් වූ හ. “අපි අපරිමිත මහා කුසලස්කන්ධයන් රැස් කර ගතිමු. අපි නිසා උන්වහන්සේලා ද සසර ගමන කෙළවර කරගත්හ. මාතික මාතාවෝ නැවත කාම ලෝකයට නො පැමිණෙන පරිදි අනාගාමී ව අභාවයෙන් පසු බඹලොව පහළ වී නිවන් ලබා ගැනීමට මග සලසා ගත්තෝ ය. මෙසේ සතුටු සිතින් උන්වහන්සේලාට ශ්‍රද්ධාවෙන් , භක්තියෙන් වැඩි වැඩියෙන් සලකන්නට වූ හ.

කඨින වස්ත්‍ර පූජාව

වස් කාලය නිමා වී මහා පවාරණයෙන් ඒ සැටදෙනා වහන්සේ ම වස් පවාරණය කළහ. වස් පවාරණය කිරීමෙන් පසු අපේ වස්සාවසාන පුණ්‍ය ක්‍රියාව කඨින පින්කම ඉතා ඉහළින් සිදුකිරීමට ගම්වාසීහු නම නියම කරගත්හ. අසල්වාසී ගම්වලින් වියළි පුළුං ගෙඩි කඩවා පොලා වස් පවාරණයට සතියක් පමණ කලින් පුළුල් පිළියෙල කොටගෙන අත් යන්ත්‍රවලින් සහ තමන්ගේ දෑතින් කඨින සිවුරට අවශ්‍ය දොළොස් රියනක පමණ රෙද්දක් පිළියෙළ කොට තිබුණි. කඨින පින්කම් දින අලුයම ගම්වාසීහු සාධුකාර පවත්වමින් මහා පෙරහරකින්, උඩුවියන් සහිතව, හිස් මතුපිටින් කඨින වස්ත්‍රය වෙහෙරට පමුණුවා, සැට දෙනා වහන්සේ ම ශාලාවට වැඩම කරවා, වඩා හිඳුවා පංච ශීලයෙහි පිහිටා කඨින වස්ත්‍රය මහතෙරුන් ප්‍රධාන මහ සඟනට පූජා කළෝ ය.