Print this Article


බෞද්ධ සාහිත්‍ය උත්සවයේ දී කෘති 15 ක් ඇගැයුමට විශේෂ පුද්ගල ඇගැයීම් 7 ක්

බෞද්ධ සාහිත්‍ය උත්සවයේ දී කෘති 15 ක් ඇගැයුමට විශේෂ පුද්ගල ඇගැයීම් 7 ක්

බෞද්ධ මහා සම්මේලනය විසින් වසරක් පාසා පවත්වනු ලබන බෞද්ධ සාහිත්‍ය උත්සවයේ දී මෙවර ද බෞද්ධ ශාස්තී‍්‍රය, නවකතා, පර්යේෂණ, පරිවර්තන, ළමා සාහිත්‍යය, ප්‍රබන්ධ, පද්‍ය, ගේය කාව්‍ය කෘති රැසක් ඇගැයීමට ලක් කර තිබේ.

2007 වසරේ සිට අඛණ්ඩව මේ දක්වා මේ ඇගැයීම් උත්සවය පවත්වාගෙන එනු ලබන බවත් , එහි අරමණු සිංහල භාෂාව මෙන්ම සාරධර්ම හා බැඳී පවතින බුදු දහමින් පෝෂිත වූ සාහිත්‍ය ඇගැයීමට ලක් කිරීම බවත් බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා පවසයි.

මේ සියලු කෘති ඇගැයීම් නොමිලයේ ම ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරයන් ප්‍රමුඛ විද්වත් කමිටුවක් විසින් සිදුකර ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඇගැයීමට ලක් වූ බෞද්ධ කෘති අතර, ශාස්ත්‍රීය අංශයෙන් චාමිකර බණ්ඩාරගේ මහනුවර යුගයේ අප්‍රකට විත්ති (1 සහ 2 වෙළුම) මහාචාර්ය ටී.ජී. කුලතුංගයන්ගේ අනුරාධපුර මහා විහාරය, ගයාන් චානුක විදානපතිරණගේ ස්වර්ණමාලි මහා චෛත්‍යය වන්දනාව කෘති ඇගැයීමට ලක්ව ඇත. නවකතා අංශයෙන් චන්ද්‍රසිරි පල්ලියගුරුගේ මහබිසෝ ලීලාවතී කෘතියත් , පර්යේෂණ අංශයෙන් ලේල්වල අරියධම්ම හිමිගේ මහාසමය සූත්‍රය හා සමයාන්තර දේව සංකල්පය හා මහාචාර්ය සඳගෝමී කෝපරහේවා ගේ සිංහල අකුරු පුරාණය කෘතියත් ඇගැයීමට ලක් ව ඇත. එසේම පරිවර්තන අංශයෙන් පණ්ඩිත අශෝක කරුණාරත්නගේ සිදුහත් මෙහෙසි යශෝධරා කාව්‍යත් , ළමා සාහිත්‍ය අංශයෙන් රත්න ශ්‍රී විජේසිංහයන්ගේ රන් තැටියට ගී සිංදු, ඒ.එල්.එස්. අබේවික්‍රමගේ ගිනි කබල සහ රන්පලස හා වෑතර මහින්ද හිමියන්ගේ දතක මහිමත් ඇගැයීමට ලක්ව ඇත.

ප්‍රබන්ධ ලෙසින් ප්‍රේමරත්න සමරනායකයන්ගේ මහාමානව කෘතියත් , පද්‍ය ලෙසින් දම්පේ විජිතරතන හිමිගේ ශ්‍රී ශාක්‍යමුනීන්ද්‍රාවදාන මහා කාව්‍යයත් , ගේය කාව්‍ය ලෙසින් අතුල ජයදේවයන්ගේ ස්වර වැස්සට තෙමී කෘතියත් ඇගැයීමට ලක්ව ඇත.

මෙම බෞද්ධ සාහිත්‍ය ඇගැයීමේ දී දශක 6 කට අධික කාලයක් බුදු දහමට හා පාලි සාහිත්‍යයට සිදු කළ සේවාව වෙනුවෙන් මාතෘදාස ලියනගේ මහතා විශේෂ ඇගැයීමකට ලක්ව ඇති අතර විශිෂ්ටතම සේවා අභිනන්දනය සඳහා පිරිනැමෙන මහාචාර්ය ගුණපාල මලලසේකර අනුස්මරණ සම්මානය මහාචාර්ය චන්දිම විජේබණ්ඩාරයන්ටත්, බෞද්ධ චිත්‍ර කලාව වෙනුවෙන් පිරිනැමෙන සොයිලියස් මෙන්ඩිස් අනුස්මරණ සම්මානය අනුර විජේවර්ධන මහතාටත් හිමි ව ඇත.

මහාචාර්ය විනී විතාරණයන් මෙවරද විශේෂ ඇගැයීමකට ලක්ව ඇති අතර බෞද්ධ ගීත සඳහා විශේෂ ඇගැයීමක් රඹුකන සිද්ධාර්ථ හිමියන්ට හිමිව ඇත. බෞද්ධ ගීත ගායනය වෙනුවෙන් මහාචාර්ය සනත් නන්දසිරි හා ආචාර්ය වික්ටර් රත්නායකයන් ද මෙහි දී විශේෂ ඇගයීමකට ලක්ව ඇත.

13 වන වරටත් මේ බෞද්ධ සාහිත්‍ය ඇගැයීම් උත්සවය දිවියාගහ යසස්සි නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය හා මැති ඇමැතිවරුන් රැසකගේ ප්‍රධානත්වයෙන් පසුගිය 19 වැනි දා සවස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත විය.

බෞද්ධ මහා සම්මේලනයට වසර 100 ක් සපිරෙන මේ වසරේ බෞද්ධ සාහිත්‍ය උත්සවය ද එහි විශේෂිත අංශයක් බව ජගත් සුමතිපාල මහතා පෙන්වා දෙයි. එසේම ඉදිරි වසරවල විද්‍යුත් නාළිකා වැඩසටහන් මෙන්ම සිනමාව කෙරෙහි ද මේ ඇගැයීම් සිදු කිරීමට අදහස් කරනු ලබන බව ද සුමතිපාල මහතා පෙන්වා දෙයි.