Print this Article


පූජාච පූජනියනං

පත්බේරියේ විමලඤාණ නා හිමි

රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝ නායක, කිරුලපන ශ්‍රී පූර්වාරාමාධිපති මංගල ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤාලෝක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පත්බේරියේ විමලඤාණ නාහිමියන්ගේ 70 වන ජන්ම දිනය නිමිත්තෙනි.

රත්නපුර පත්බේරිය ගමේ ඕවිටේ වලව්වේ ජයසිංහ මුදියන්සේලාගේ උක්කු බණ්ඩාර නිළමේතුමාට හා මනම්පේරි මුදියන්සේලාගේ පොඩිහාමු මනම්පේරි වලදුරේ මැණිකේ දම්පතීන්ට 1949 අගෝස්තු 20 දින පුත් රුවනක් ලැබුණි. ඒ කුමරා ජයසිංහ මුදියන්සේලාගේ පත්මසිරි ජයසිංහ බණ්ඩාර නම් විය. මූලික අධ්‍යාපනය පත්බේරිය පිරිමි විදුහලෙන් හා පරකඩුව නාරද විදුහල තුළින් ලැබීය.

මව්පියන්ගේ ආශිර්වාදයෙන් කිරුලපන ශ්‍රී පූර්වාරාමයේ දී රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක නාහිමියන්ගේ හා තලාවිටියේ පේමාලෝක නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පත්බේරියේ විමලඤාණ නමින් පැවිදි භූමියට ඇතුළත් විය. සිංහල භාෂා පිළිබඳ මූලික දැනුම බේන්දළුව නන්දාරාමාධිපති මණ්ඩාවල සීලානන්ද හිමියන් වෙතින් ද, මූලික බණ දහම් පිළිබඳ දැනුම රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක අනු නාහිමියන් වෙතින් ද ලැබීය. මූලික පිරිවෙන් අධ්‍යාපනය සඳහා 1962 දී විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වූ අතර 1964 කෝට්ටේ දී උපසම්පදා භූමියට ඇතුළත් විය. 1969 දී ප්‍රාචීන , මධ්‍යම, රාජකීය පණ්ඩිත ඇතුළු විභාග ගණනාවකින් මනා ලෙස සමත් වී ස්‍යාම රාජ ත්‍යාගය ලබා ගැනීමට සමත් විය. 1975 දී කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ශාස්ත්‍රවේදී උපාධිය සමත් වු අතර 1977 දී අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ සංස්කෘත භාෂාව පිළිබඳ කථිකාචාර්ය පදවියට පත්විය. 1979 සිට ගුරු සේවයට එක්වී ප්‍රධාන පිරිවෙන් කිහිපයක සේවය කළේය. 1989 දී බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය වෙතින් ශාස්ත්‍රපති උපාධිය සමත් විය. 1999 දී පිරිවෙන් පරීක්ෂකයෙකු ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට එක්වන නා හිමියෝ ගාල්ල, රත්නපුර, දිස්ත්‍රික්කවලට අමතර තවත් දිස්ත්‍රික් කිහිපයකම රාජකාරි වැඩ කටයුතුවල නිරත විය. කිරුලපන ශ්‍රී පූර්වාරාමයේ දායක පිරිස් විසින් වාර්ෂිකව සිදු කරන විවිධ පින්කම්වලට අමතරව විහාරස්ථානයට අනුබද්ධ විවිධ සමිති මගින් ද නාහිමියන්ගේ අනුශාසනා මත විශාල ආගමික, සමාජයීය හා පොදු සේවාවන් රාශියක් ඉටු කරයි. විහාරස්ථානයේ පිහිටුවා ඇති ධර්ම නිකේතන පිරිවෙන තුළින්ද විශාල සේවාවක් ඉටු කරයි. අමෙරිකාව, ජර්මනිය, ප්‍රංශය, ඇතුලු රටවල් කිහිපයකට ධර්ම ප්‍රචාරය සඳහා නාහිමියන් වැඩම කර ඇත. සියලු මහා සංඝරත්නය සමඟ සුහදව කටයුතු කරන නාහිමියෝ සිංහල, මුස්ලිම්, හින්දු, ක්‍රිස්තියානි පූජක පිරිස් මෙන්ම මහජනතාව සමඟ ද සුහදව කටයුතු කරයි.

****

මැටරඹ හේමරතන නා හිමි

යටගල – සිතුල්පව්ව උභය රාජමහා විහාර ප්‍රමුඛ අෂ්ට මහා විහාරාධිපති, දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝ නායක, හෙට්ඨාචල පරිවේණාධ්‍යක්ෂ , සද්ධර්ම භාරතීශ්වරාචාර්ය, ශාස්ත්‍රපති මැටරඹ සද්ධර්ම කීර්ති ශ්‍රී හේමරතන නා හිමියන් පසුගිය සැප්තැම්බර් තුන් වන දා දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලැබීම සහ සැප්තැම්බර් 17 වන දිනට යෙදී තිබුණු ජන්ම දිනය නිමිත්තෙනි.

දක්ෂිණ ලංකාවේ, ගාලු දිස්ත්‍රික්කයේ උණවටුනට නුදුරු මැටරඹ ග්‍රාම වරයේ අහංගම නානායක්කාර ගමගේ ජේමිස් නානායක්කාර මහෝපාසකතුමන්ගේ සහ අක්මීමන පල්ලියගුරුගේ ඇලිස්සෝනා මහෝපාසිකාතුමියගේ දරුවන් සය දෙනා අතුරින් පස්වැන්නා ලෙස ජන්ම ලාභය ලද අහංගම නානායක්කාර ගමගේ නෙල්සන් නානායක්කාර දරුවා යටගල සිතුල්පව්ව උභය රාජමහා විහාර ප්‍රමුඛ තදනුබද්ධ අෂ්ට මහා විහාරාධිපතිව වැඩ විසු කවිකුලතිලක පණ්ඩිත කලහේ ශ්‍රී ගුණරතනාභිධාන නාහිමි වෙතින් ප්‍රභවය වූ යටගල මැල්කම් මහා විදුහලෙන් ශාස්ත්‍රෝද්ග්‍රහණය කළේය. කුඩා කලම තම පියා වියෝවෙන් පසුව 1956 අපේ‍්‍රල් මස 5 වන දින ඓතිහාසික යටගල සිතුල්පව්ව උභය රාජමහා විහාර ප්‍රමුඛ තදනුබද්ධ අෂ්ට මහා විහාරාධිපති ධූරිනව වැඩවිසූ ඉලුක්පිටියේ ශ්‍රී ජිනරතනාභිධාන නාහිමි, වත්තේහේනේ ශි‍්‍ර රතනසාරාභිධාන ගාලු තල්පේ පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා තත් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ශිෂ්‍ය වූ මැටරඹ හේමරතන නමින් පැවිදි විය.

හෙට්ඨාචල පිරිවෙනින් බණ දහම් හදාරා ඉක්බිතිව පැපිලියාන සුනේත්‍රාදේවි මහා පිරිවෙනින් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කොට 1965 දී මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයෙ ්දී උපසම්පදාව ලද හේමරතන හිමියෝ විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යයන ඩිප්ලෝමාවත්, විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, රත්මලාන පරිවේණාචාර්ය අභ්‍යාස ආයතනයෙන් ප්‍රවීණාචාර්ය සහතිකයත් ලබා ශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු නිමවා හෙට්ඨාචල පිරිවෙනෙහි ආචාර්ය පදවියකට පත් වූහ. 1976 දී පණ්ඩිත වත්තේහේනේ පියරතන නා හිමියන්ගේ හදිසි අපවත් වීමෙන් පසු හෙට්ඨාචල පරිවේණාධිපති ධුරයට සහ ධර්ම විද්‍යාලයීය ප්‍රධානාචාර්ය ධුරයන්ගෙන් පිදුම් ලැබූ හ. අක්මීමන ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ මහා ලේඛකාධිකාරි පදවිය දස වසරකට ආසන්න කාලයක් හෙබ වූ නාහිමිපාණෝ ගාලු දිස්ත්‍රික් පරිවේණාධිපති සහ කෘත්‍යාධිකාරි සංගමයෙහි ලේඛකාධිකාරි පදවියෙන් ද සම්මානිත වූහ. 1990 දී එවකට අක්මීමන පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අධ්‍යාපන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රිචර්ඩ් පතිරණ මැතිතුමන්ගේ ද සහයෙන් ඓතිහාසික යටගල රාජමහා විහාරය පූජා භූමියක් බවට රජය මගින් ප්‍රකාශයට පත් කිරීම නා හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු වූ සුවිශේෂී සද්ක්‍රියාවකි. ග්‍රන්ථ කර්තෘවරයෙකු වශයෙන් ද සම්භාවනාවට පත් නා හිමිපාණෝ උසස් පෙළ බෞද්ධ ධර්ම සංග්‍රහය, ලේඛන රේඛා, ඉන්දු ආර්ය සංස්කෘතිය, අපතේ යන අධ්‍යාපන සම්පත්, වන්දනා ගාථා, ඓතිහාසික මගුල් මහා විහාරය ආදී ග්‍රන්ථ රැසක් මුද්‍රණද්වාරයෙන් එළි දැක්වූහ.

2004 දී ස්වකීය ආචාර්යෝත්තම වත්තේහේනේ ශ්‍රී රතනසාරාභිධාන නා හිමියන් අපවත් වීමෙන් පුරප්පාඩු වූ ඓතිහාසික යටගල රාජමහා විහාරය, ඓතිහාසික සිතුල්පව් රාජමහා විහාරය, ඓතිහාසික මගුල් මහා විහාරය, තල්පේ සේලුත්තරාරාමය, යද්දෙහිකන්ද් අමරසිංහාරාමය, උණවටුණේ වැල්ලේ දේවාල විහාරය, උණවටුණේ බෝධිරුක්ඛාරාමය, අම්පිටියාගොඩ ගුණරතනාරාමය යන අෂ්ට මහා විහාරාධිපති ධුරයට පත් වූහ. අවස්ථා ගණනාවකදී විදේශ ධර්ම ප්‍රචාරයට ද යොමු වූ හ. මැටරඹ හේමරතන නාහිමියන්ගේ ලෝක ශාසනික මෙහෙවර කෙරෙහි පැහැදුණු මල්වතු මහා විහාරයීය විංශද් වර්ගික කාරක සංඝ සභාව මගින් 2009 දී සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර ගෞරව නාමය සහිත දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝ නායක පදවිය ද, 2019 දී පල්ලත්තර සුමනජෝති නාහිමියන් අපවත්වීමෙන් පුරප්පාඩු වූ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පදවිය ද පිරිනමන ලදී.

****

මිරිහානේ නන්ද නාහිමි

සම්බුද්ධ ශාසනය නම් පද්මාකරයෙහි විකසිත වන මනස්කාන්ත පුෂ්පය නම් සුපේශල ශික්ෂාකාමී බුද්ධපුත්‍ර මහා සංඝ රත්නය යි. ඒ අතර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වෙතින් “සිරි ජිනවංස දේවානන්ද වංසාලංකාර සද්ධම්මකිත්ති සිරි සංඝ සෝභන ලෝකත්ථචාරී” යන ගෞරව නාම සම්මුති උපහාරයෙන් පිදුම් ලැබූ කොළඹ 07, ශ්‍රී කල්‍යාණිධර්ම ආශ්‍රාමාධිපති මිරිහානේ නන්ද මහා ස්වාමීන් වහන්සේගේ ගුණ සුවඳින් පොබයන නිකැලැල් සසුන් දිවියේ තතු බිඳක් මෙසේ සනිටුහන් කරන්නෙමු.

1949 ජූලි 17 වන දින නුගේගොඩ මිරිහාන ගම්පියසේ දී හපුතන්ත්‍රීගේ ආරියරත්න නමින් ජන්ම ලාභය ලැබීය.

1960 ජනවාරි 01 වන දින අතුරුගිරියේ බෝධිරුක්ඛාරාම පුණ්‍ය භූමියේ දී සසුන් ගත විය. පුංචි ආරියරත්න මිරිහානේ නන්ද නම් විය. තරුණ සිල්වා නම් ලක්දිව සුපතල කීර්තිධර නන්ද මාහිමිගේ නිරන්තර ධර්මාරක්ෂකයාණෝ වූ මහා තපෝගුණධාරි කෝට්ටේ දේවානන්ද නා සමිඳුන්ය. ආචාර්යත්වය ඉසිලුවෝ කඩවැද්දුවේ ජිනවංස මා හිමියෝ ය .

නන්ද හිමියන්ගේ මූලික අධ්‍යාපනය සඳහා මාතර ශ්‍රී සුනන්දාරාමවාසී මැදඋයන්ගොඩ සුගතපාල මාහිමියන් වෙත යොමුවිණ. වසර කිහිපයකින් පසු නැවතත් මාතර පුහුල්වැල්ල යෝගාශ්‍රමය ට වැඩම කළහ. එහිදී මාතර ඤාණාරාම මා හිමි, කඩවැද්දුවේ ජිනවංශ මා හිමි, ගැටමාන්නේ විමලවංශ මා හිමි, දේවගොඩ මංගලසිරි මා හිමි, නාඋයනේ අරියධම්ම මා හිමි හා කෝට්ටේ දේවානන්ද මා හිමි වැනි සීල, සමාධි, ප්‍රඥා ගුණයන්ගේ මූර්තීන් බඳු වූ මහා යතිවරුන් මැද සත්පුරුෂ ආශ්‍රයට මඟ හසර විවර විය. 1964 දී කොළඹ – 07, ජර්මන් ධර්මදූතාශ්‍රමයේ කෘත්‍යාධිකාරිත්වය කෝට්ටේ දේවානන්ද හිමියන්ට පැවරිණ. මාස කිහිපයකින් නන්ද හිමිද එහි වැඩම කළේ ය.අනතුරුව හෙතෙම දේවානන්ද මාහිමිගේ පි‍්‍රය ශිෂ්‍යයා විය. සෙවනැල්ලක් මෙන් සිටි උපස්ථායකයා විය. උපසම්පදා භූමියෙහි පිහිටවීමට සුදුසු ධර්ම විනය පරිචයක් හා ශාසනික අත්දැකීම් සමුදායක් ලත් නන්ද මාහිමි 1969 ජූලි 24 දින රඹුක්කන මා ඔයේ බතඹුරේතොට උදකුක්ඛේප සීමා මාලකයේ දී උපාසම්පදා විය. ටැඹියේ විමලවංස මාහිමියන්ගේ උපධ්‍යායත්වයෙන් මෙය සිදු විය.

ගුරුසිත මැනවින් හඳුනමින්, තවදුරටත් ධර්ම විනය හා භාෂාන්තර ඥානය ලබා ගැනීමට උත්සුක වූ නන්ද හිමියෝ දේවානන්ද මාහිමියන්ගේ සියලු ශාසනික පින්කම් කටයුතුවල දී අතිශයෝපකාරී වූහ.

සසුන් ගුණ වඩමින් ශතවර්ෂාධික කලක් ආයු සැප වළඳා නිවන් මඟ පසක් කර ගැනුමට ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවාසී මහා සංඝරත්නය ආශිර්වාද කරමු