Print this Article


පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 39: පොළොන්නරුවේ ථූපාරාම පිළිම ගෙය

පොළොන්නරුවේ ථූපාරාම පිළිම ගෙය

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්ෂයේණ

 

අනුරාධපුරයේ ථූපාරාමය ඉතා ප්‍රකට ය . ලංකාවේ ප්‍රථම දාගැබ් වහන්සේ ය. පොළොන්නරුවේ ද ථූපාරාම ප්‍රතිමා ගෙයකි. පිළිමගෙයකි. මෙම ගොඩනැගිල්ල ඉදි කිරීමත්, පොළොන්නරු යුගය තුළ මෙරට ගෘහනිර්මාණ ශිල්පීන් ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණය කි.

ගඩොල්වලින් සාදන ලද වක් වූ වහලයක් ඇති, පිළිම ගෙයකට සුදුසු ම නිදර්ශනයක් ලෙසින් මෙම පොළොන්නරුවේ පිළිම ගෙය හඳුන්වා දිය හැකි ය. මෙවැනි වූ කවාකාර වහල සහිත ගොඩනැගිලි තුනක් පොළොන්නරුවේ පිහිටා තිබේ. මෙය එයින් එකකි. මෙවැනි වූ ගෘහයන්හි වාත්තු කරන ලද පදනමකින් සහ ඒවායේ ඇතුළත බිත්ති සිරස් ලීස්තරවලට ආධාරක වූ චතුරශ්‍ර ස්තම්භවලින් සැරසිලි කර ඇත.

‘මෙලෙස කවාකාර වහලයක් සහිතව ඉතා හොඳින් ආරක්ෂා වී ඇති පිළිම ගෙය පොළොන්නරුවේ ථූපාරාම ප්‍රතිමා ගෘහය යි. මෙහි පුරාණ නම කුමක්දැයි හඳුනා ගෙන නැත. මේ නිසා මෙම පිළිම ගෙය කවුරුන් විසින් කරවන ලද්දේ ද? යන්න නිශ්චිතව ම ප්‍රකාශ කිරීම අපහසු ය. එහෙත් මහා පරාක්‍රමබාහු රජතුමාගේ මහින්ද නමැති අමාත්‍යවරයා විසින් දළදා වහන්සේ තැන්පත් කිරීම උදෙසා මෙය ගොඩනංවන ලදැයි ප්‍රකාශ කෙරේ. ඇතැම් විද්වතුන්ගේ අනුමානය වන්නේ මේ ප්‍රතිමා ගෘහය මහ විජයබාහු රජුගේ කාලයේ දී සාදවන ලද බව යි. මේ ආකාරයේ තවත් පූජනීය ගොඩනැගිල්ලක් වන ලංකාතිලකය සහ තිවංක පිළිම ගෙය ද මෙම යුගයේ නිර්මාණය කර ඇත. මේවා අතර ඇති වෙනස වන්නේ ථූපාරාම ප්‍රතිමා ගෘහයෙහි හිඳි බුදු පිළිමයක් දක්නට ලැබීමත්, අනෙකුත් ඉහත සඳහන් පිළිම ගෙවල් දෙකෙහි හිටි බුදුපිළිම දක්නට ලැබීමත් ය. කෙසේ වෙතත් ගඩොලින් නිම කරන ලද හිඳි පිළිමය දැන් රළු ගල් කැබලි කීපයක් බවට පරිවර්තනය වී ඇත. මෙම ථූපාරාම ප්‍රතිමා ගෘහයෙහි ඇති අනෙක් ශිලාමය පිළිමය අනුරාධපුරයේ පසු කාලයට අයත් එකකි. අද අපට දක්නට ලැබෙන ආකාරය ට ප්‍රතිමා ගෘහය වටා ඇති ගඩොලින් සහ හුණුගලින් නිර්මිතව පහළ දක්නට ඇති රූප නිය දිගු කර ගත්, ඉදිරි පාද සහිත සිංහ රූපවලින් යුක්ත ය. පොළොන්නරුවේ මෙන්ම අනෙකුත් සෑම ස්ථානයක ම හමුවන විමාන වර්ගයේ ගොඩනැගිලි සහිත රූකම්වලින් ගොඩනැගිලි බිත්ති අලංකාර කර ඇත. වාස්තු විද්‍යාත්මක ව මෙම පිළිම ගෙයි ද මණ්ඩප ,අන්තරාල සහ ගර්භ, ගෘහ යන ලක්ෂණ දක්නට ඇත. ගර්භය වෙනුවට ගන්ධකුටිය යන නාමය යෙදිය හැකි ය. ප්‍රධාන පිවිසුමට අමතර ව එහි උතුරු දෙසින් පැති දොරටුවක් ද දක්නට ලැබේ. (පොළොන්නරුව – මධ්‍යකාලීන ලක්දිව අගනුවර – මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පි. 145- පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි. 1998)

දැනට පොළොන්නරු පුද බිමෙහි ඇති පිළිම ගෙවල් තුන අතුරෙන් ඉතාමත් පැරැණි පිළිම ගෙය ථූපාරාම පිළිම ගෙය යි. මෙය ඉදිකර ඇත්තේ දළදා මළුවෙහි ය. මේ ගොඩනැගිල්ල අන්තරාලය, මණ්ඩපය, ගර්භ ගෘහය හා ද්වාර මණ්ඩපය යනුවෙන් කොටස් හතරකින් සමන්විත ය. මූලික වශයෙන් මෙහි බිම් සැලැස්ම ද ගන්ධකුටි, පිළිම ගෙවල්වලට සමාන වේ. ද්වාර මණ්ඩපය හා අන්තරාලය සැලසුම් කර තිබෙන්නේ හිඳි පිළිමයක් තැන්පත් කිරීම සඳහා ය. එම බුදු පිළිමය සඳහා ආසනය සකස් කර ඇත්තේ පිටුපස බිත්තියට බද්ධ කරමිනි. මෙහි තැන්පත් කර තිබූ ප්‍රධාන හිඳි පිළිමය අද එහි දක්නට නැත. ඒ පිළිමය ගල්විහාරයේ පිළිමගේ මෙන් මෙහි දී මකර තොරණක් බුදු පිළිමවහන්සේට ඉහළින් තිබෙන්නට ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී. බෙල් මහතා සඳහන් කරයි. (පුරාවිද්‍යා පාලන වාර්තාව එච්.සී.පී. බෙල් පි. 30-1903)

පොළොන්නරුවේ ථූපාරාම පිළිම ගෙය අයත්වන පිළිම ගෙවල්වල දක්නට ලැබෙන විශේෂත්වයක් ලෙසට පිටබිත්ති රූකම් රටාවකින් අලංකාර කර තිබීම ය. මෙම ගොඩනැගිල්ලේ පාදමෙහි පිට පැත්තේ අඩි හයක් පමණ උසට පියුම් පෙති මෝස්තර, බොරදම් වලින් ද, එකිනෙකා පසුපස යන සිංහ රූප පේළියකින් හා වාමන පේළියකින් සරසා ඇත. බිත්ති විමාන රූපවලින් සරසා ඒවායෙහි දේව රූප ද තබා තිබුණු බව පෙනේ. ථූපාරාම පිළිමගෙයි තිබෙන මෙම රූකම් රටා එතරම් සංකීර්ණ නොවේ.

මෙම ගොඩනැගිල්ලේ වහලය සමතලා අන්දමට නිමකර ඇත. ගර්භ ගෘහය මත පමණක් ක්‍රමයෙන් කුඩා වන එක පිට, එක තැබු හතරැස් පෙට්ටි දෙකක හැඩයට කුළුණක් මෙන් සාදා තිබේ. මෙහි වහලය වටා කුඩා සතරැස් පෙට්ටි පේළියක් සේ පෙනෙන පරිදි මිටි බිත්තියක් සාදා ඇත. මේ ගොඩනැගිල්ල පිටතින් බැලූ විට පෙනෙන්නේ මහල් ගොඩනැගිල්ලක් ලෙසිනි. එහෙත් මෙය තනි මහලේ පිළිම ගෙයකි. එසේ වුව ද, මෙහි මණ්ඩපය වම් පස බිත්තියට බද්ධ කර උඩු මහලට යන පිය ගැට පේළියක් සාදා ඇත. ගර්භයේ වහලය මත ඇති හතරැස් පෙට්ටි නිර්මාණයේ පැතිවල කුහර නිර්මාණය කර, ඒවා ඇතුළේ දේව රූප සාදා ඇත.

මෙවැනි ගොඩනැගිලි හින්දු ආකෘතින් හා සසදා බලන කල්හි මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා සඳහන් කරන්නේ බෞද්ධ ස්මාරක, හින්දු ස්මාරකයන්ට පසුකාලීනව ගොඩනැගූ ඒවා නොවන නමුත්, අනුරාධපුරයේ හමුවන පැරැණි බෞද්ධ ස්මාරකයන්ගේ ලක්ෂණ අඛණ්ඩ ව ආරක්ෂා කර ගැන්මක් වන බව ය.

පොළොන්නරුව ථූපාරාම ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමය දෙස බැලීමේ දී පෙනීයන්නේ එය සිංහල වාස්තු විද්‍යාවේ ක්‍රමික විකාශනයක අතුරු ඵලයක නිර්මාණයක් වන බව යි. අනුරාධපුර යුගයේ සිංහල ගෘහ නිර්මාණ ශිල්පයේ ප්‍රකට ව පැවති පිළිමගෙවල් ගෙඩිගේ සම්ප්‍රදායේ බිම් සැලැස්ම උපයෝගී කර ගෙන නිර්මාණය කළ ගෙඩිගේ වර්ගයේ පිළිම ගෙයක් ලෙස සැලකිය හැකි ය. පොළොන්නරුවේ මෙම බිම් සැලැස්මට අනුකූල වූ ස්ථාන තුනක් හඳුනාගත හැකි ය. ලංකාතිලක විහාරය, තිවංක ප්‍රතිමා ඝරය හා ථූපාරාම පිළිමගෙය යන පිළිම ගෙවල්ය. ඉතා පැරැණි යැයි සැලකිය හැකි ඉතාමත් සරල ආකාරයට නිර්මාණය වූ, වඩාත් හොඳින් ආරක්ෂා වී ඇති නිර්මාණයක් ලෙස ථූපාරාම පිළිමගෙය සැලකිය හැකි ය.

(පුළතිසි වංශය” සංස්කාරක – නිහාල් .පී.ජයතුංග – ග්‍රන්ථයට මහාචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධන ලියූ පොළොන්නරුව නාගරීකරණය සහ වාස්තු විද්‍යා සම්ප්‍රදාය පි. 372 සංස්කෘතික හා ජාතික උරුමය අමාත්‍යංශය – 2009)