Print this Article


එළඹ සිටි සිහියෙන් වාසය කළ යුතුයි

එළඹ සිටි සිහියෙන් වාසය කළ යුතුයි

ආනාපාන සතිය පුරුදු කරන පුද්ගලයා සාමාන්‍යයෙන් අන් අතක සිත නොයවා ඒ හුස්මට ම සිත යොමු කළ යුතුයි. ඕනෑම ඉරියව්වක සිට එය කළ හැකියි.

හුදකලාවීම, ආරණ්‍යගත වීම,රුක්ඛමූලගත වීම, ජනශූන්‍ය ප්‍රදේශවීම අවශ්‍ය වන්නේ නෑ. මොන තරම් සංකීර්ණ සමාජ රටාවක ඉන්නා කෙනෙකුට වූවත්, මොනම ඉරියව්වක සිටිමින් වුවත් ආනාපාන සතිය පුහුණු කරන්නට පුළුවන්. එහෙත් නිස්කලංක පරිසරයක් නම් එය වඩාත් සුදුසුයි.

භාවනාව පටන් ගැනීමේ දී ඇතුළට ඇදෙන හුස්මට ද, පිටවන හුස්මට ද සිත යොමු කළ යුතුයි. මෙහිදී කිසි ලෙසකින් හෝ උත්සාහයෙන් හුස්ම ගැනීම හෝ පිට කිරීම නො කළ යුතු යි. සාමාන්‍ය අවස්ථාවන් හි දී මෙන් ස්වභාවයෙන් ඇදෙන, පිටවන හුස්ම දෙස සිතින් බැලිය යුතු බව මෙහිදී පැවසෙනවා. ඇස් පියාගෙන සිත ඒ හුස්ම අතට යොමු කළ යුතු බව පැවසෙනවා. එනම්, ඒ හුස්මට ම සිත යොමු කළ යුතු යි. ඒ හුස්මට ම සිහි නුවණ බැඳ තැබිය යුතුයි. නාසය තරමක් දිගු කෙනෙකුගේ නම්, හුස්ම ගැනීමේදී ත්, පිට කිරීමේ දීත් හුස්ම ස්පර්ශ වන්නේ නාස් පුඩුවේ අග යි. නාසය කෙටි අයගේ හුස්ම හැපෙන්නේ නාසය සමීපයෙහි උඩුතොලෙහි යි.

භාවනාවෙහි යෙදෙන යෝගියා හුස්ම වැදෙන තැන් කොතැනදැයි හොඳින් පිරික්සන්නට ඕනෑ. හුස්ම ගැනීමේ දී හුස්ම හැපෙන මුල් තැන මෙන් ම, පිට කිරීමේ දී හුස්ම හැපෙන අවසාන තැනක් දැන ගන්නට ඕනෑ. හඳුනා ගන්නට ඕනෑ. මෙසේ ඒ ස්ථාන හරියටම දැනගෙන, හුස්ම ගැනීමේ දී හුස්ම වැදෙන තැන සිත පිහිටුවා ගත යුතු වෙනවා. ඒ වගේම එය සිතින් අරමුණු කරගත යුතු වෙනවා.

මෙහිදී හුස්ම වැදෙන තැන තැවරෙන තැන, ස්පර්ශ වන තැන මෙතැනයි යනුවෙන් අරමුණු කරගත යුතුයි. හුස්ම පිට කිරීමේ දී ත් එය වදින තැන සිතින් අරමුණු කළ යුතු යි. ඒ වගේම සිත නියමාකාරයෙන් එහි පිහිටුවිය යුතු යි. එතැන ම පමණක් සිත පිහිටුවීම ඉතා ම වැදගත්. එයට ම සිත එකඟ කර ගැනීම වැදගත්. ඒ වගේ එතැන් හි ම , දිගින් දිගටම සිත එකඟ කර ගැනීම වැදගත්.

මෙසේ වරකට පැයක තරම් කාලයක් හෝ සිත එකඟකොට තැබීමට හැකි නම් වඩාත් ඵලදායකයි. එලෙස දිනකට වැඩි වාර ගණනක් නොහැකි නම් උදේ, සවස දෙවරක්වත් ආනාපාන සතිය පුරුදු කරන්නට ඕනැ කියලයි අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් තමන් වහන්සේගේ ප්‍රායෝගික අත්හදා බැලීම්වලින් දේශනා කොට තිබෙන්නේ. එහිදී එළඹ සිටි සිහියෙන් යුතුව වාසය කළ යුතු බවයි අවධාරණය කරන්නේ.

යම් හෙයකින් සිත අරමුණෙන් පිටවන අතට දිව ගියේ නම් , වහා ම සිත එයින් ඉවත් කොට හුස්ම හැපෙන තැන යළිත් සිත පිහිටුවා ගැනීම කළ යුතු වෙනවා. ආහාර ගන්නා අවස්ථාවේ නින්දට යන මොහොතේ ආදීි සිරුරට අවශ්‍යම සත්කාරයන් සපයන වේලාවන් හි හැර ඉතිරි සම්පූර්ණ කාලයේ ම මෙකී භාවනාවෙහි ම යෙදෙනවා නම් එකී යෝගියාට ඉක්මනින් ම ප්‍රතිඵල ලද හැකි බව උන්වහන්සේ දේශනා කොට තිබෙනවා. මේ භාවනාවෙහි මූලික ආරම්භය ලෙස සලකන්නේ ඉහත කී ආකාරයට හුස්ම වැදෙන තැන අරමුණු කොට සිත රැඳවීම යි.

ආනාපානසති භාවනාව සංඛ්‍යාත්මක ව ගණිත විද්‍යාවක් වශයෙන් වුව ද ප්‍රයෝජනයට ගන්නට පුළුවන්. එහි දී බොහෝ විට සිත එක් තැන් කිරීමට ඉලක්කම් ගණනය කිරීම, ආරෝහණ – අවරෝහණ පටිපාටියෙන් ගණනය කිරීම උපයෝගී කරගත හැකියි. සාමාන්‍ය ස්වභාවය නම්, යෝගියාගේ සිත නොයෙක් විට අරමුණෙන් පිටට යන ස්වභාවයක් පැවතීම යි. මේ නිසා එම තත්ත්වය වළක්වා ගැනීම පිණිස දුරාතීතයේ සිටම ආශ්වාස ප්‍රශ්වාස වාර ගණන් කිරීම යෝගීන් පුරුදු කර තිබෙනවා. විශේෂයෙන් එය වැඩි වශයෙන් දැක ගන්නට ලැබෙන්නේ භාරතීය සමාජයේ , හිමාලය කඳුවැටිය ආශි‍්‍රතවයි. දැන් දැන් බටහිර සමාජයෙත් මෙම ක්‍රමවේදය ඉහළින් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබෙනවා.

මෙහිදී කළ යුතු වන්නේ භාවනාව පුරුදු කරන අය විසින් උඩු තොල හෝ හුස්ම හැපෙන තැන සිත පිහිටුවා , එහි හුස්ම වැදෙන වාර ගණන් කිරීම යි. පියවර වශයෙන් එම ක්‍රමවේදය මෙසේ යි.

හුස්ම හැපෙන පළමු වාරයේ ද ‘එක’ යැයි සිතින් සලකා ගන්න.

නැවත වරක් හුස්ම හැපෙන තෙක් එක, එක යැයි සිතින් ගණන් කරන්න.

දෙවැනි වර එහි හුස්ම වැදුණ විට දෙක, යැයි තුන්වතාවක් ද ඊළඟට හුස්ම හැපෙනතෙක් ම ගණන් කරන්න.

මෙසේ අතර මග කඩ නොකර දිගටම හුස්ම හැපෙන වාර ගණන පස්වැන්න තෙක් සිතින් සලකන්න.

පස්වැන්න අවසන් වූ පසු ඊළඟ හුස්ම හැපෙන වාරය යළි එක යැයි සලකන්න.

ඉන්පසු තුන් වැනි වටයට ද පළමු සේ ම, එක යැයි සිතින් ගණන් කරමින් හත්වන වරාය තෙක් යන්න.

මින් පසු එළඹෙන්නේ සතරවන වටය යි.

එහි දී ද පළමුවන හුස්ම හැපීම ‘එක’ යැයි පටන්ගෙන අටවන වාරය තෙක් ගණන් කළ යුතුවේ.

ඉන් පසු පස්වන වටය එකේ සිට නවවන වාරය තෙක් ගණන් කරන්න.

හය වන වටයේ දී එකේ සිට දහය තෙක් ගණන් කරන්න.

දහයෙන් එහාට නොයා යුතු අතර, යළි පළමු සේ ම වාර පහකින් යුතු වටය ද, වාර හයෙන් යුතු වටය ද ආදී ලෙස මේ ආකාරයෙන් වාර දහයකින් යුතු සයවන වටය තෙක් ගිණිය යුතු වේ.

මේ පිළිවෙළට අනුව පැය ගණනක් හෝ දින ගණනක් හෝ හුස්ම හැපෙන තැනම සිත පිහිටුවා පිටතට නොගොස් තරයේ රඳා තැබිය හැකි සේ පැවැත්විය යුතු යි.

ඊළඟට දෙවැනි පියවරයි. එහි ගමන් කිරීමත් බොහෝ සෙමෙන් පැවතුණේ නම් ඒ තැනැත්තා ගේ සිත එකඟ බවට පත් කර ගැනීම අසීරු වේ. වේගයෙන් නම් පැවතුණේ, බොහොම බලවත් වේ.

අරමුණක් පැවැති අවස්ථාවෙහි සිත කැළඹේ නම් වහ, වහා අරමුණු වෙන අතට දිවේ නම් ඔහුගේ සමාධිය දුබල බව සැලකෙනවා. එනම්. බොහොම දුර්වල බව සලකනවා.

බාහිර අරමුණුවලින් සිත නොසැලෙනවා නම් එය සමාධිය බලවත් බවට ලකුණක්. විශේෂයෙන් මේ සඳහන් කළේ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක හාමුදුරුවන්ගේ අත්දැකීම් ඇසුරෙනු යි.

ඉහත කී ලෙස හුස්ම හැපෙන තැන සිත දැඩිව පිහිටියායින් පසු ගණන් කිරිම අවශ්‍ය නොවෙයි. ඉන් පසු ඔහු විසින් කළ යුතු ඇදෙන පිටවන හුස්ම අරමුණු කිරීමයි. එසේ හුස්මෙහි සිත බැඳී ‘දිගු හුස්මක් වී නම්, එය දිගු හුස්මක් ලෙස ද , කෙටි හුස්මක් වී නම් එය කෙටි හුස්මක් ලෙස ද සලකමින් එළඹ සිටි සිහි නුවණින් එය දෙස බලා සිටීමයි, කළ යුතු වන්නේ. දීර්ඝ ලෙස ආශ්වාස කරන්නේ, දීර්ඝ ආශ්වාස කළෙමි ද, දීර්ඝ පශ්වාස කරන්නේ දීර්ඝ ප්‍රශ්වාසයක් කළෙමි ද, කෙටි ආශ්වාසයක් කරනුයේ නම්, කෙටි ආශ්වාසයක් කළෙමි ද, කෙටි ප්‍රශ්වාසයක් කරනුයේ කෙටි ප්‍රශ්වාසයක් කළෙමි ද දැන ගනියි. ආනාපාන සූත්‍රාදියෙහි දැක්වෙන්නේ මේ ආකාරයටයි. මෙසේ පුරුදු කරනවිට ක්‍රමයෙන් හුස්ම සියුම් වෙනවා. කිසිසේත් ම නැත්තා සේ හැඟෙන්නට වෙනවා. එනම්, හුස්ම ගන්නවා ද, නැද්ද කියලා නොදැනෙන මට්ටමකට පත්වෙනවා. එවිට හුස්ම පටන් ගැනීමේදී හැපෙන තැන, එනම් නාසය අග හෝ උඩු තොලෙහි සිත පිහිටුවිය යුතු බව පැවසෙනවා. එවිට මද වේලාවකින් හුස්ම දැනෙන්නට වෙනවා. ඊළඟට තුන්වන පියවර වශයෙන් ගණන් කිරීමෙන් අප හුස්ම හැපනෙ මුල්ම තැන සිත බොහොම තදින් පිහිටනවා. අන් සියලුම අරමුණුවලින් ඈත් වෙනවා. මෙසේ සිතෙහි එකඟ බව තහවුරු වු පසු ගණන් කිරීම අනවශ්‍යයි. යෝගියා විසින් හුස්ම පටන් ගැන්ම, මැද, අවසානය යන තැන් තුනම දැන ගත යුතුයි. සමහර අයගේ හුස්ම ඇරඹෙන තැන උඩුතොල ලෙස සැලකෙනවා. නාභි ප්‍රදේශය අවසාන තැන වශයෙන් ද හදවත මධ්‍යස්ථානය වශයෙන් ද සැලකෙනවා. අවසානයේ, යෝගියා විසින් මේ කියන ස්ථානයන්හි හුස්ම අරමුණු නොකළ යුතුයි. එසේ කළේ නම් සිතේ එකඟ බව නැතිවන බවත් , හුස්ම ඇරැඹෙන තැන වූ නාසයේ අග හෝ උඩුතොල හුස්ම හැපනෙ තැන්හිම සිත පිහිටුවිය යුතු බවත් සඳහන් වෙනවා. එසේ හුස්ම පිහිටුවාගෙන යන ගමනේ මැදත් , අගත් ස්වභාවයෙන්ම දැනෙන්නට වෙනවා. කියතකින් ලීයක් ඉරන පුද්ගලයෙකුගේ සිත රැඳී පවත්නේ, කියත් දැති ලීයෙහි හැපෙන තැනයි. ඉන් එහාට කියත ඇදී යාම ද, ඉන් මෙහා දැති ලීයෙ කැපෙන තැනට යාම ද ඔහුට දැනෙනවා. එය දැන ගන්නට උත්සාහ කළ යුතු වන්නේ නෑ. එසේම නාසාග්‍රයේ නැතිනම් උඩුතොල හැපෙන හුස්මෙහි බැඳී සිතට ඉන් එහාට හුස්මේ ගමන ද දැනෙනවා. සමහර කෙනෙකුට හුස්මේ පටන් ගැන්මත්, අවසානයත් දැනෙනවා. සමහර කෙනෙකුට හැඟෙනුයේ තැනක් පමණයි. සිතේ එකඟ බවට සිහි නුවණ වැඩීමේ දී ඇතැම් අයගේ සිරුර සැහැල්ලු වෙනවා. පුළුන් රොදක් වගේ සැහැල්ලු වෙනවා. ඒ නිසයි ආකාසයේ පවා ගමන් කිරීමේ හැකියාව ලැබෙන්නේ.

ආනාපාන සතිය වඩන පුද්ගලයා ප්‍රශ්නවලින්, ගැටලුවලින් නිරාකරණය වෙනවා. කිසිදු ගැටලුවක් නැති ජීවිතයක් බවට පත් වෙනවා. ඕනෑම දෙයක් විසඳා ගන්නට හැකියාව ලැබෙනවා. අනෙක් අය පිළිබඳ ව බොහොම කාරුණික ව, මධ්‍යස්ථව බලන ස්වභාවයකුයි පවතින්නේ. සංසාරික ප්‍රතිභා ශක්තීන්, විභව ශක්තීන් තදබල ලෙස මතුකර ගැනීමේ හැකියාව ද මේ භාවනාවෙන් ලැබෙන සුවිශේෂී ඵලයක්. සමහර අය විවිධ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ ව අවුරුදු දෙක තුනකදී විශේෂ හැකියාවන් ලබනවා. ඒත් මෙවැනි භාවනා පුහුණුවක් නො ලැබූ අයට අවුරුදු විසිපහක් තිහක් ගෙවුණත් තමන් ගේ විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ලබන්නට අපහසු යි.

බෞද්ධයන්ට පමණක් සුවිශේෂී වූ භාවනාවක් නොවේ. ඕනෑම ජාතියක, ආගමක, සංස්කෘතියක, කෙනෙකුට වටිනා භාවනා ක්‍රමවේදයක්. ඒත් අපේ සමාජය මෙහි වටිනාකම් තවමත් තේරුම් ගෙන නෑ. ඒ භාවනාව ප්‍රායෝගිකව අත්හදා නොබැලීම නිසයි. ප්‍රායෝගිකව අත්හදා බලන අය සිටියත් ඒ අය ගැන විධිමත් අධ්‍යයනයක් , කියවීමක් නොමැති නිස යි.

පාසල් දරුවන්ට මෙය ඉතා වටිනා භාවනා ක්‍රමවේදයක්. උදේ පාන්දර අවදිව, ජලය වීදුරුවක් පානය කොට ජනේලයක් වැනි පිරිසුදු වාතාශ්‍රය ලැබෙන තැනක මේ භාවනාව වැඩිය හැකියි. විනාඩි පහකින් ආරම්භ කිරීම හොඳටම ප්‍රමාණවත්. මාසයක් දෙකක් පමණ ගතවන විට, සිහිකල්පනාව ඇති ඕනෑම කෙනෙකුට විනාඩි දහයක් පහළොවක් භාවනා කරන්නට සිතෙනවා. විනාඩි දහයක් භාවනා කිරීමෙන් වුවත් මාස තුනෙන් ප්‍රතිඵල ලද හැකියි.

මතක ශක්තිය අඩු අයට, මතක හිටින්නේ නෑ කියන අයට, මොන තරම් පාඩම් කළත් ඉගෙන ගන්න බෑ කියන අයට ආනාපාන සතිය දිව්‍ය ඖෂධයක්. එය හිතට අවංකව කළ යුතුයි. හදිසියේ, ඉඳහිට භාවනා කිරීමෙන් ප්‍රයෝජනයක් නෑ. භාවනාව යම් තරමකට දියුණුවෙන් තමන්ගේ ස්මෘතියේ දියණු බව සිහිකල්පනාවෙන් සිටින ඕනෑම කෙනෙකුට හැඟෙනවා.

වයස් භේදයක් නැති මෙම භාවනාව ආධ්‍යාත්මික විමුක්තිය උදෙසා ද ඉතා ප්‍රයෝජනවත්. කලක් ගත වන විට මේ තුළම, තමන් නොදැනුවත්ව ම විදර්ශනා වැනි භාවනාවන්ට පිවිසෙන්නට හැකියාව ලැබෙනවා. ජීවිතය පහසුවෙන්ම සාර්ථක කරගන්නට, දියුණුව කරා යන්නට සේ ම මතක ශක්තිය දියුණු කර ගන්නට දිව්‍ය ඖෂධයක් ලෙසත් , ඉතාම සරල, පහසු භාවනා ක්‍රමවේදයක් ලෙසත් ආනාපානසතිය හඳුන්වා දීමට පුළුවන්.