[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොත් පුවත්

“දුක ශෝකය හා විෂාදය”

කර්තෘ - විශේෂඥ මනෝ වෛද්‍ය - සරත් පඬුවාවල
ප්‍රකාශකයෝ - දයාවංශ ජයකොඩි සහ සමාගම

මනෝ වෛද්‍ය විශේෂඥ සරත් පඬුවාවල මහතා ලියූ නවතම ග්‍රන්ථය ‘දුක ශෝකය හා විෂාදය’ පසුගිය දා දයාවංශ ජයකොඩි සහ සමාගමේ පොත් ප්‍රදර්ශනාගාරයේ දී නිකුත් කෙරිණි.

සිතින් හා ගතින් විඳවීම ‘දුක’ යනුවෙන් හැඳින්විය හැකි ය. ශෝකය, බිය, කෝපය, වෛරය, ඊර්ෂ්‍යාව ආදී සෘණාත්මක චිත්තවේග දුක හට ගන්වයි. කිසියම් පුද්ගලයකු දිගු කාලයක් දුක්බරව සිටින්නේ නම්, ඔහු හෝ ඇය මානසික රෝගියෙකි. එනම් විසාදයෙන් පෙළෙන්නෙකි. මෙවැනි අවස්ථාවලදී බොහෝ දෙනෙකුට ශාරීරික රෝග ලක්ෂණ පහළ වන අතර, ඔවුන් සිතනු ඇත්තේ තමන් ශාරීරික රෝගයකින් පෙළෙන බව විය හැකි ය. ඇත්තෙන්ම එවැනි ශාරීරික රෝග ලක්ෂණවලට කො තරම් ප්‍රතිකාර කළද, මනසේ දුක්බර බව ඇතිවීමට බලපාන හේතුකාරකය ඉවත් කරනතුරු සුවපත් වන්නේ නැති බව කතුවරයා කියයි.


තිස්සමහාරාමය

කර්තෘ - අත්තුඩාවේ සිරි රාහුල හිමි
නව සංස්කාරක - යෝධකණ්ඩියේ අරියවංස හිමි
ප්‍රකාශකයෝ - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය

අපවත් වී වදාළ රුහුණ විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති, සාහිත්‍යසූරී රෝහණ පාර්ශ්වයේ මහා නායක හිමි අත්තුඩාවේ සිරි රාහුල මහ නා හිමියන් විසින් රචිත තිස්සමහාරාමය නම් ග්‍රන්ථය නව සංස්කරණයක් ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්ය යෝධකණ්ඩියේ අරියවංස හිමියන් විසින් එළි දක්වා ඇත.

මාගම රාජධානියේ ග්‍රාමවාසය තිස්සමහාරාමය යි. අරණ්‍යවාසය සිතුල්පව්ව යි. තිස්සමහාරාමයේ හා සිතුල්පව්වේ එක් අවස්ථාවක රහතුන් වහන්සේලා දොළොස් දහස් බැගින් විසුහයි සඳහන් වේ. වස් විසීමට ආසන්න සමයේ ගඟින් එතෙර භික්ෂූන් මහා විහාරයේ රැස් වී ධර්ම සාකච්ඡා කළාක් මෙන් ගඟින් මෙතෙර තිස්සමහාරාමයේ රැස් වූ බව කර්තෘ හිමියන් සඳහන් කරයි. තිස්සමහාරාම විහාරවංසයෙන්, ස්තූප පුරාණය, තිස්සමහාරාම සෙල්ලිපි ආදී මාතෘකා එකොළහක් ඔස්සේ ග්‍රන්ථය පෙළගස්වා ඇත.


බෞද්ධ සංකේතවල දර්ශනය

කර්තෘ - ගොඩඋඩ අරියධම්ම නා හිමි
ප්‍රකාශකයෝ - සී / ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ

බෞද්ධ කලා නිර්මාණ පිළිබඳ අතිවිශාල ග්‍රන්ථ සංඛ්‍යාවක් ප්‍රකාශයට පත්ව තිබේ. ඒවා තුළ සම්පූර්ණයෙන් දකින්නට ලැබෙන්නේ එම නිර්මාණවල ස්වරූපය, පරිණාමය, වෙනස් වූ ආකාරය, ස්ථානගත වී ඇති ආකාරය ආදිය යි. ඇතැම් දාර්ශනීය වටිනාකම් පැහැදිලි කිරීම වැරැදි සහගත ය. ඇතැම් කලා නිර්මාණ හෝ සංකේත පිළිබඳ කිසිදු දාර්ශනික වටිනාකමක් දක්වා නැති බව කර්තෘ අරියධම්ම හිමියන් සඳහන් කරයි. ධර්ම චක්‍රය, නෙළුම් මල, සඳකඩ පහන, මුරගල ආදී සංකේත දොළොසකින් යුතුව මෙම ග්‍රන්ථය ඔබ අතට පත්කර ඇත.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා පූර්ව භාග 07.35 ට ලබයි.
14 වන දා සෙනසුරාදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
22 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]