[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

පැන විසඳුම් ජයග්‍රාහිකාව

අනගාරික ධර්මපාලතුමා

මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව කියා වටිනා රත්න හතරක් තිබෙනවා. එම රත්න හතර ආරක්ෂා කර ගැනීම මාගේ යුතුකම යි. “සිංහල දරුවනි, දිවි යතත් බොරු නොකියව්” “සිංහලයනි, නැගිටිව්, බුද්ධගයාව බේරා ගනිව්.” “ගව මස් නොකනු, මත් පැන් නො බනු” යනුවෙන් වටිනා අදහස් පවසා ඇත්තේ අපේ ජාතික වීර වරයෙකි. බෞද්ධ නායකයෙකි. අනගාරික ධර්මපාල නමින් ලොව පුරා ප්‍රසිද්ධ වූයේ එතුමා ය. එතුමා වර්ෂ 1864.09 .17 වන දින උපත ලැබූවේ ය. එකල එතුමාගේ නම දොන් ඩේවිඩ් හේවාවිතාරණ ය. එතුමාගේ පියා දොන් කරෝලිස් හේවාවිතාරණ ය. මව මල්ලිකා හේවාවිතාරණ වූවා ය. කුඩා ඩේවිඩ් කුමරුවා අධ්‍යාපනය ලැබුවේ ක්‍රිස්තියානි පාසල්වලිනි. එහි දී ලබා ගත නො හැකි වූ සිංහල, පාලි, බුද්ධ ධර්මය පිළිබඳ ව අධ්‍යාපනය හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන් වෙතින් ලැබී ය. මේ නිසා ම ඉංගී‍්‍රසි, පාලි, සිංහල, බුද්ධ ධර්මය පිළිබඳ උසස් දැනුමක් ලබා ගැනීමට තරුණ ඩේවිඩ් හේවාවිතාරණට හැකි විය. 1984 ඉන්දියාවේ පැවැත්වුණු පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ සංවත්සර සම්මේලනයට සහභාගි වී ආපසු පැමිණි පසුව ඩේවිඩ් යන නම අත්හළ හේවාවිතාරණයන් ඒ වෙනුවට ධර්මපාල යන බෞද්ධ නාමය යොදා ගත්තේ ය. ඔහු අනගාරික ජීවිතයක් ගත කළ නිසා අනගාරික ධර්මපාල නමින් ප්‍රසිද්ධ විය.

දේශන සඳහා එතුමා රට පුරා සංචාරය කළේ ඒ සඳහා සකස් කරගත් රථයකිනි. එම වාහනයේ “ගව මස් නො කනු, මත් පැන් නො බොනු” වැනි ආදර්ශ පාඨ ප්‍රදර්ශනය කර තිබිණි. 1931 දී ඉන්දියාවට ගිය අනගාරික ධර්මපාලතුමා “මූලගන්ධ කුටි” විහාරයේ දී “සිරි දේවමිත්ත ධර්මපාල” නමින් පැවිදි වී උපසම්පදා ලැබී ය. උන්වහන්සේ 1933 අප්‍රේල් 29 දින අප අතරින් සමුගත්තේ ය. දැය පුබුදු කළ අනගාරික ධර්මපාල නාමය ජාතික වීර නාමාවලියේ ඉහළින් ම සටහන් වී ඇත.

****

රජ්ජුමාලා

උරුවෙල් දනව්වේ සිටු ගෙදරක මාලා නමින් දාසියක් සිටියා. ඇයගේ ස්වාමි දියණිය නපුරු කාන්තාවක්. ඇය දාසියගේ කෙස්වැටිය අල්ලාගෙන ඇයට නිතර පහර දුන්නා. ඉවසන්න බැරිම තැන මාලා සිය කෙස්වැටිය කපා දැමුවා. ඉක්බිතිව ඇගේ ස්වාමි දියණිය රැහැනක් ගෙන බෙල්ලේ බැඳ එයින් ඇද පහර දුන්නා. ඇගේ ගෙලෙහි බැඳි ලනුව නිසා රජ්ජුමාලා නමින් ප්‍රකට වූවා. දිනක් ස්වාමි දියණියගේ වදවේදනා ඉවසා ගත නො හැකිව සිය දිවි නසා ගැනීමේ අදහසින් ඇය වන රොදකට ගියා. එය දිවැසින් දුටු බුදුරදුන් එහි වැඩම කොට ධර්මය දේශනා කළ අතර, ඇය සෝවාන් වූවා.

****

බිනර පොහෝ අසිරිය

කහ සිවුරයි හැම අත බැබළෙන්නේ
වස් කාලයෙ පින් දහම් කෙරෙන්නේ
මෙහෙණි සසුන දැන් පණ ගැන්වෙන්නේ
බිනර මහේ පුන් සඳ බැබළෙන්නේ

සදහම් කෙත දියුණුවටම යනවා
සැමට ම නිර්වාණය හිමි වෙනවා
සුගතිය මිස දුගතිය නැති වෙනවා
පින් රැස් කර අපි නිවන් දකිනවා

****

ඡත්ත මානවක

සේතව්‍ය නුවර ඡත්ත නම් තරුණයෙකු විය. උක්කට්ඨා නුවර පොක්ඛරසාති බමුණාගෙන් ශිල්ප හදාළ ඔහු ගුරු පඬුරු පිණිස කහවනු දහසක් රැගෙන නිවසින් පිටවනු දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ අතර මගට වැඩම කොට ගසක් මුල වැඩ සිටි සේක. ඡත්ත මානවකගෙන් තොරතුරු විමසා බුදුරජාණන් වහන්සේ ඔහු තිසරණ සහිත පන්සිල්හි පිහිටුවා ‘යො වදතං පවරො මනුජේසු’ යනාදී ගාථා පෙළක් දේශනා කළහ. එම ගාථා සිහිකරමින් ගමන් කරන ඔහුට සොර කණ්ඩායමක් පහර දී ඝාතනය කොට මුදල් පැහැර ගත්හ. ඡත්ත මානවක මියගොස් දෙව්ලොව උපන්නේ ය. සිය ඥාති පිරිස අවසන් කටයුතු සිදුකරන සොහොනට පැමිණි දෙව්පුත් තමා දෙව්ලොව උපන් බව සඳහන් කළේ ය. එහි වැඩම කළ බුදුරදුන් දහම් දෙසූහ. එම ධර්මය අසා ඡත්ත මානවක දෙව්පුත් ඇතුළු බොහෝ දෙනෙක් ධර්මාවබෝධය ලබා ගත්හ.

****

ආදර අම්මා

කිරි මදුවැල් කිරි මදුවැල් කිරි අම්මේ
කිරට අඬන පොඩි ළමයකි මම අම්මේ
අනුන් බෙදන බත් ටික මට මදි අම්මේ
ගෙදර යන්න නැගිටින් මගේ බුදු අම්මේ

නො කියමි සමන් ගිරයයි තුඹසකට කුඩා
මට වෙන කෙනෙකු හිටියේ නැහැ නුඹට වඩා
උහුලමි සිතා සිටියත් දුක් කඳුළු කඩා
ජීවිතයම මගේ වැළපෙමි නුඹව සොයා

දසමස කුස දරා අප බිහි කළ අම්මා
දිව රෑ නිදිවරා අප දැඩි කළ අම්මා
කැත කුණු අතගගා අප හැදු වැඩු අම්මා
නිවන් දකීවා මගෙ ආදර අම්මා

****

සඟමිත් තෙරණිය

සංඝමිත්තා රහත් තෙරණිය මිහිඳු මහ රහතන් වහන්සේගේ නැඟණිය යි. ධර්මාශෝක මහා රජතුමාගේ දියණිය යි. ලක්දිව භික්ෂුණී ශාසනය පිහිටුවීම සඳහා සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩම කළ අතර, බුදුරජාණන් වහන්සේ බුදුවන අවස්ථාවේ දී සෙවණ දුන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් පාත්‍රයක රෝපණය කරවා මෙරටට වැඩම කළහ. දේවානම්පියතිස්ස රජතුමා සංඝමිත්තා තෙරණිය පිළි ගැනීමට දඹකොළ පටුනට ගියේ ය. රජු කර වටක් දක්වා දියට බැස බෝධි ශාඛාව සහිත රන් පාත්‍රය මහත් ගෞරවයෙන් පිළිගෙන අනුරාධපුරයට වැඩම කොට උඳුවප් පුර පසළොස්වක පොහෝ දින මහමෙව්නාවේ රෝපණය කළහ. සංඝමිත්තා තෙරණියගේ වැඩම වීමෙන් ලංකාවේ මෙහෙණි සස්න පිහිටුවනු ලැබුණි.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා පූර්ව භාග 07.35 ට ලබයි.
14 වන දා සෙනසුරාදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
22 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]