[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දකුණු සිරිලක එකලු කළ පල්ලත්තර ශ්‍රී සුමනජෝති නා හිමි

දකුණු සිරිලක එකලු කළ පල්ලත්තර ශ්‍රී සුමනජෝති නා හිමි

සම්බුදු සසුනේ චිර පැවැත්ම රඳා පවතින උතුම් මහා සංඝ රත්නය සතුව පැවතිය යුතු සුපටිපන්න යනාදී ගුණ සමුදායෙන් පිරිපුන් මහා යතිවරයාණන් වහන්සේ නමක් වූ පල්ලත්තර ශ්‍රී සුමනජෝති නාහිමි මෙරට ගිහි පැවිදි සකල සාධු ජනයා අතර බෙහෙවින් ම සම්භාවනාවට පත් මහතෙර නමකි.

මෑත කාලීනව දකුණු සිරිලක එකලු කළ චිරරාත්‍රඥ බහුශ්‍රැත යතිවරයන් වහන්සේලා අතර එක් නාහිමි නමක් ලෙස ද පල්ලත්තර නාහිමි වඩාත් ප්‍රකට ය.

දකුණු පළාත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බටහිර ගිරුවාපත්තුවේ පල්ලත්තර නමැති සුන්දර පෞරාණික ගම් පියසක් වෙයි. සැදැහැවත් සොඳුරු මිනිසුන් ජීවත්වන එම ගම් පියසේ විසූ දිසානායක කුරුගමගේ සාදිරිස්හාමි ලොකු අප්පුහාමි මහෝපාසක මහතාණන්ගේ හා වන්නිආරච්චි කංකානම්ගේ දෝන ගිමාරහාමි මහෝපාසිකා මාතාවගේ පුත්‍රයෙකු ලෙස 1924 ජුනි මස 20 වැනි දින පල්ලත්තර නාහිමියෝ ජන්මලාභය ලැබූ හ. කුඩා කල ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ පල්ලත්තර පාසලිනි.

ලාබාල අවධියේ සිට ම මහත් සැදැහැයෙන් ක්‍රියා කළ හෙයින් 1937 දී පල්ලත්තර හාල්පන්දෙනියේ ශ්‍රී විසුද්ධාරාමයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් පල්ලත්තර නාහිමියන් ගේ ආචාර්ය පාදෝත්තමයාණන් වහන්සේලා වූයේ කොටවිල සිරිසුමන නාහිමි සහ බදුල්ලේ අග්ගාරාම නාහිමි ය. එකී ඇදුරු නාහිමිවරුන් ඇසුරෙහි ම වෙසෙමින් උගතයුතු මූලික ධර්ම විනය භාෂා ශාස්ත්‍රය මැනවින් ප්‍රගුණ කළ පල්ලත්තර නාහිමියෝ ප්‍රාචීන ප්‍රාරම්භ පරීක්ෂණයෙන් මැනවින් සමත් වූ හ.

1944 දී මහනුවර මල්වතු මහා විහාරීය රාජකීය මංගල උපෝසථාගාරයේ දී අධිසීල සංඛ්‍යාත උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබූ හ. වැඩිදුර පාරිවේණික අධ්‍යාපනය සඳහා 1945 වසරේ දී මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත් ව එහි වර්ග පටිපාටියෙන් අධ්‍යාපනය ලබා 1951 දී විද්‍යෝදය අවසාන පරීක්ෂණයෙන් ද ඉක්බිතිව ප්‍රාචීන පණ්ඩිත උපාධි පරීක්ෂණයෙන් ද මැනවින් සමත් වූ හ.

ඉක්බිතිව 1959 දී අභිනවයෙන් ආරම්භ කෙරුණු විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද, විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි (ගෞරව) උපාධිය ද ලබාගත් පල්ලත්තර නාහිමි ද්‍රවිඩ භාෂාව ද මැනවින් හදාළේ ය. එකල කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවති ඕල්කට් විද්‍යාලයට ඇතුළත් ව ඉංගී‍්‍රසි අධ්‍යාපනය ද ලැබී ය. එකල පැවැති නුගේගොඩ නාලන්දා නමැති විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස පත් වූ උන් වහන්සේ ඉක්බිතිව හෝමාගම විද්‍යාවර්ධන පිරිවෙනේ උප ප්‍රධානාචාර්ය ලෙස ද, පොළොන්නරුව පලුගස්දමන මහා විද්‍යාලය, කොළඹ බොරැල්ල සීවලි මහා විද්‍යාලය, ගාල්ල මීපාවල අමරසූරිය මහා විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලයෙහි ද ධර්මාචාර්යවරයෙකු ලෙස ක්‍රියා කළහ. තදන්තරව ගාල්ල, කුඹල්වැල්ල ශ්‍රී රේවත විද්‍යායතන පිරිවෙනේ පරිවේණාධිපති ලෙස ද, රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ විද්‍යාලයාධිපති ලෙස ද ක්‍රියා කොට, මාතර මිදිගම සිරිසුමන පිරිවෙනේ දෙවසරක ගුරු සේවාවෙන් ද පසුව, පාරිවේණික හා පාඨශාලා ගුරු සේවාවෙන් විශ්‍රාම ලැබූ හ.

විදේශ ධර්ම දූතයන් වහන්සේ නමක් ලෙස පල්ලත්තර නාහිමි සිදුකළ සේවාව ද ඉතා අගනේ ය. ඉන්දියාව, තායිලන්තය, මියන්මාර්, නේපාලය, තායිවානය,කොරියාව ,වියට්නාමය, ජපානය, හොංකොං ,රුසියාව, අමෙරිකාව ,කැනඩාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, බෙල්ජියම, ඕස්ට්‍රේලියා, සිංගප්පූරුව, මැලේසියාව, සහ ඉන්දුනීසියාව යනාදී රටවලට දෙතුන්වර වැඩමවමින් ආගමික හා සංස්කෘතික සේවාවන් රැසකට නිසි නායකත්වය ලබා දුන්නේ ය.


බුරුම රාජ්‍යයෙන් පල්ලත්තර ශ්‍රී සුමනජෝති නාහිමියන් වෙත අග්ගමහා පණ්ඩිත උපාධිය පිරිනැමූ අවස්ථාව

කෘතහස්ත ලේඛක නාහිමි නමක් ලෙස ලියා පළ කළ ග්‍රන්ථ හා ශාස්ත්‍රීය ලේඛන රාශියක් ම පවතියි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය, වාග් විද්‍යාත්මක සිංහල ව්‍යාකරණය , පාලි භාෂා ව්‍යාකරණය, මූලගිරි මහා විහාර වංසය, ශ්‍රී ලංකා ඉතිහාසය පුරාතන සමය, බුදුරදුන් ලබාදුන් කාන්තා නිදහස සහ කාන්තා විමුක්තිය, පාලි ජාතකට්ඨකථා යනාදී ග්‍රන්ථ සේ කුඩා අත්පොත් රැසක් ද පල්ලත්තර නාහිමි ලියා පළකොට තිබේ. 1956 සිට ජාතික ගුවන් විදුලියේ ප්‍රකට ධර්ම දේශකයන් වහන්සේ නමක් වූ උන් වහන්සේ ලංකාවේ පමණක් නොව ධර්ම ප්‍රචාරයන් හි යෙදුණු පූර්වෝක්ත රටවල ද ධර්ම දේශනා, රාශියක්ම පැවැත්වූ හ.

1972 දී ස්වකීය පැවිදි සහෝදර බෝදරකන්දේ සරණතිස්ස හිමියන් ගේ අපවත්වීමෙන් පසු ගාල්ල, මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාමාධිපති ලෙස ද, යක්කලමුල්ල වලවේ ශ්‍රී ශ්වේතබිම්බාරාමාධිපති ලෙස ක්‍රියා කරමින් එදා මෙදා තුර අද්විතීය සේවාවන් රැසකට පල්ලත්තර නාහිමියෝ නායකත්වය දුන්හ. මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වය මගින් 1997 දී දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය ද, 2005 දී දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය හා වර්ෂ 2007 දී දක්ෂීණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය ද, මහෝපාධ්‍යාය පදවිය ද උන්වහන්සේ වෙත පුද කළේ මෙකී සේවාවන් වෙනුවෙන් මහා විහාරය දැක්වූ ඉහළම ගෞරවෝපහාරයක් ලෙස යි.

වෙසෙසින් රුහුණේ කීර්තිධර, අග්‍රගණ්‍ය විද්වත් යතිවරයන් වහන්සේ වෙත රජය මගින් පිරිනැමෙන උසස්ම පදවියක් වන රුහුණ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයෙන් පිදුම් ලැබීමට තරම් පල්ලත්තර නාහිමියෝ් භාග්‍යවන්ත වූ හ. බුරුම රජය මගින් අග්ගමහා පණ්ඩිත ගෞරවෝපාධියෙන් පවා පිදුම් ලැබූ පල්ලත්තර නාහිමි පහතරට ස්‍යාම නිකායික සම්භාවනීය සඟ පරපුරක් වන මූලගිරි සඟ පරපුරෙහි පහළ වූ කීර්තිධර යතිවරයාණන් වහන්සේ නමක් ලෙස ද හඳුන්වා දිය හැකි ය.

බුදුසරණ පුවත්පතෙහි සමාරම්භක අවධියේ පටන් අපවත්වන තෙක්ම පල්ලත්තර නාහිමියෝ ඊට හරවත් ධර්ම ශාස්ත්‍රීය ලිපි රැසක් සැපයූ හ. උපතින් අනූ පස් වියක් වැඩ සිටි උන් වහන්සේ සකල සිරිලකම කම්පා කරමින් ් 2019 ජුනි 09 වැනිදා අපවත් වී වදාළ හ. අතිපූජ්‍ය පල්ලත්තර ශ්‍රී සුමනජෝති නා හිමි තෙමස් පූර්ණ ගුණානුස්මරණ පුණ්‍යෙත්සවය ආරම්භ කරමින් සැප්තැම්බර් 13 වනදා පස්වරුවේ බඹරවානේ රතනජෝති හිමියන්ගේ මූලිකත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට රෝද පුටු 50ක් පරිත්‍යාග කෙරේ. එදින රාත්‍රී 7.00 ට සම්බුද්ධ පූජාව ද, රාත්‍රී 8.00 ට ගල්දූව ආරණ්‍ය සේනාසනයේ කහගොල්ලේ සෝමවංස හිමියන් විසින් පවත්වනු ලබන ගුණානුස්මරණ ධර්ම දේශනාව ද, සැප්තැම්බර් 14 වනදා දවල් 150 ක් මහා සංඝරත්නය විෂයෙහි පිරිනැමෙන සඟසතු මහා දානය ද පැවැත් වේ.

ශාස්ත්‍රපති මාරඹ සුමනරතන හිමි, ශාස්ත්‍රපති පල්ලත්තර පඤ්ඤාජෝති හිමි, ශාස්ත්‍රවේදී කුඹුක්මුල්ලේ සිරිසුමන හිමි, ශාස්ත්‍රවේදී බඹරවානේ රතනජෝති හිමි, ශාස්ත්‍රපති දෙබොක්කාවේ තිලකසිරි හිමි, ශාස්ත්‍රවේදි කටුවන කමලසිරි හිමි, පොතුපිටියේ සුමනවංස හිමි සහ වටවල ජිනරතන හිමි යන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ගේ අනුශාසනා පරිදි ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථ දායක සභාවේ මෙහෙයවීමෙන් ගුණානුස්මරණ පුණ්‍යෙීත්සවය පැවැත්වේ.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා පූර්ව භාග 07.35 ට ලබයි.
14 වන දා සෙනසුරාදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
22 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]