[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසර නිවන සිත

සසර නිවන සිත

යහපත් දිවියක ඇති මිහිරියාව සමාජ දේහයට කාවැද්දීමේ අරමුණින් මාධ්‍යවේදිනී දීපා චාන්දනී පෙරේරා මහත්මිය විසින් සම්පාදනය කෙරෙන “සුපසන් ජීවිතය” කෘති පෙළෙහි ද්විතීය භාගය ‘සසර නිවන සිත’ නමින් මුද්‍රණද්වාරයෙන් එළි දක්වා ඇත.

දෙස් විදෙස් හි සුපතළ කීර්තිමත් ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වශයෙන් අති සම්භාවිත පූජ්‍යපාද ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමිපාණන් වහන්සේ හා සිදුකළ ධර්ම සාකච්ඡාවන්හි සාරාංශයක් වශයෙන් මෙය සකස් වී ඇත.

මක්කට සූත්‍රය, පත්තකම්ම සූත්‍රය, නකුල පිතූ සූත්‍රය, භාරද්වාජ සූත්‍රය හා සිඟාලෝවාද සූත්‍රය යන සූත්‍ර පංචකය පදනම් කර ගනිමින් මෙම සාරවත් ධර්මමය ලිපි පෙළ සකස් වී ඇත. පංචකාමයට නැඹුරු වී, අභාවිත සිතක් ඇති තැනැත්තා තමාට සිදුවෙන හානිය නොදකිමින් එහිම ඇලී ක්‍රියා කිරීමෙන් ඔහුට අත්වන ඉරණම කවර ආකාර ද යන්න “මක්කට සූත්‍රය” විස්තර කරමින් නූතන සමාජයට කරන ආමන්ත්‍රණය සැබැවින් ම කාලීන වශයෙන් සිදු කළ යුතුම දෙයක් සේ හැඟෙයි. විශේෂයෙන් ම “මලක්, කොළයක් කා විනාශ කරන පණුවෙක් සෙයින් ද? යහපත් වූ පලතුරක් විනාශ කරන පණුවෙක් සෙයින් ද? ජීවිතයක් විනාශයට පත් කරන පිළිකාවක් සෙයින් ද? ගසක් මුළුමනින් ම විනාශ කරන පිළිලයක් සෙයින් ද? අභාවිත සිතකට ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් ඇතුළු වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නම් වූ පංචකාම ගුණ මොන තරම් විපතක් දැයි සිතා බලන්න” මෙවැනි විග්‍රහයන් රාශියක් ඉදිරිපත් කරමින් සසර නිවන මාවත පිළිබඳව පාඨකයාට යථාර්ථවත් හැඟීමක් ඇති කරවයි.

ලෝකයෙහි ඉෂ්ඨ වූ, කාන්ත වූ, මනාප වූ , දුර්ලභ වූ කරුණු හතරක් පවතින්නේ යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ අංගුත්තර නිකායේ අන්තර්ගත “පත්තකම්ම සූත්‍රය” ඇසුරෙන් මෙම පරිච්ඡේදය සම්පාදනය කොට ඇත. භෝග සම්පත්, පරිවාර සම්පත්, දීර්ඝායුෂ සම්පත් හා මරණින් මතු සුගති සම්පත් යන කරුණු පුද්ගලයා වෙතට ළඟා කර ග්නනේ කෙසේ දැයි මෙහි දී ගැඹුරු දහම් කරුණු ඉතා සරලව ඉදිරිපත් කොට තිබේ. නූතනයේ සමාජ ප්‍රශ්නයක් බවට දික්කසාදය පත් වී ඇත. අනොන්‍ය විශ්වසනීයත්වය බිඳ වැටීම මෙයට ප්‍රධානතම හේතුවක් වේ. ආර්ථික අපහසුතා ඉදිරියේ වූව ද දුක සැප සම ව විඳිමින් යුග දිවිය ගෙවීමට නම් අනොන්‍ය අවබෝධය තිබිය යුතු ම ය. එය නොමැති තැන නිවසේ සමගිය දෙදරා යනු ඇත. යහපත් යුග දිවියක් දිවි ඇති තෙක් ගෙවූ පරමාදර්ශී චරිත දෙකක් වශයෙන් නකුල මාතා හා නකුල පිතා බෞද්ධ සාහිත්‍යයේ සම්භාවිත ව ඇත. එකී චරිත කතාවට අයත් ‘නකුල පිතූ’ සූත්‍රය ඉදිරිපත් කරමින් පූර්වෝක්ත සමාජ ප්‍රශ්නයට සාර්ථක විසඳුම් ලබා දී ඇති බවක් මෙහි තුන්වෙනි පරිච්ඡේදය හැදැරීමෙන් පැහැදිලි වේ.

යුතුකම් අමතක කොට වගකීම් පසුපස හඹා යන සමාජයකට යුතුකම් හා වගකීම් යන අංශ දෙකෙහි ම ඇති වැදගත්කම මෙහි අවසාන හෙවත් පස්වන පරිච්ඡේදයෙන් අවධානය යොමු කොට ඇත. මෙය කියවන පාඨකයාට යුතුකම් හා වගකීම් ඉටුකිරීමේ ඇති වැදගත්කම නිරායාසයෙන් මනසෙහි කාවදින අයුරින් සරල උපහැරන මඟින් ඉදිරිපත් කොට තිබේ.

මෙම සදහම් කෘතිය කියවීමෙන් ආචාර්ය, මිරිස්සේ ධම්මික නා හිමියන් සතුව පවතින ධර්මම ය දැනීම හා එය මනා ලෙස ශ්‍රාවකයාට සන්නිවේදනය කිරීමේ ඇති හැකියාව කෙතරම් ඉහළ තැනක පවතින්නේ දැයි පැහැදිලි වේ. දහමේ මූලික හරයට කිසිදු හානියක් නොවන්නට වග බලා ගනිමින්, ධර්ම ගෞරවය මනාලෙස සම්පාදනය කිරීමට දීපා චාන්දනී පෙරේරා මාධ්‍යවේදිනිය ගෙන ඇති උත්සාහය ධර්මකාමීන්ගේ ඇගැයුමට ලක්විය යුතු ය.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා පූර්ව භාග 07.35 ට ලබයි.
14 වන දා සෙනසුරාදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
22 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]