[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මානය දුරලමු

මානය දුරලමු

මානය යනු මැනීමයි. තමන්ගේ ස්වභාවය සෙසු අය සමඟ ගළපමින් තුලනය කිරීම මානයේ ලක්ෂණයයි. මානය හෙවත් උඩඟුකම පුද්ගලයා සසරට බැඳ තබන සංයෝජනයකි. මානය සාමාන්‍ය තත්ත්වයයි.

එහි මුහුකුරා ගිය අවස්ථාව මානත්ද්ධ (මානයෙන් තද වූ හා උඩඟු වූ) යන්නෙන් කිය වේ. සාමාන්‍ය ජීවිතයේ මිනිසා සෙසු අය සමග තුලනය කරමින් අභිමානයක් ගොඩනඟා ගැනීමට උත්සාහ කරයි. එය එසේ වුවද ඇතැම් පුද්ගලයෝ එකී තත්ත්වයෙන් ඉදිරියට ගමන් කරමින් මන්නාධිකව අසාමාන්‍ය ලෙස කටයුතු කරති. එය සාමාජීය වශයෙන් මානයෙන් යුක්ත පුද්ගලයාටත්, සෙසු අයටත් කායික මානසික වශයෙන් මහත් පීඩනයක් ගෙන දෙයි. ආයතනික වශයෙන් පරිහානියට පත් වෙයි.

මානයෙන් යුක්ත පුද්ගලයා සෙසු අය සමග තමන් ගළපන කරුණු කිහිපයක් විභංගප්පකරණයෙහි මෙසේ දැක්වේ. පුද්ගලයා මානයෙන් යුත් කුමන පසුබිමක සිට කටයුතු කළත් මෙම කරුණු දහයෙන් කියැවෙන මාන්නාධික ලක්ෂණය ඒ තුළ දක්නට ලැබේ. උපන් ජාතිය පිළිබඳව මානයෙන් යුක්තව සෙසු අය සමඟ ගැළපීම, උපන් කුලය, ගෝත්‍රය, පරම්පරාව හා පවුලේ ජීවත් වූ පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ පිළිබඳව මානයෙන් තුලනය කිරීම, ශාරීරික වර්ණය හා පැහැය පිළිබඳව මානයෙන් කතා කිරීම, තමන් සන්තකයේ ඇති ධනය හා පරම්පරාවෙන් උරුම වූ දේපළ පිළිබඳව මානයෙන් යුක්තව කතා කිරීම,තමන්ගේ අධ්‍යාපනය තත්ත්වය හා ලබාගත් සහතික පිළිබඳව මානයෙන් කතා කිරීම,තමන්ගේ සේවායතනය පිළිබඳව මාන්නාධිකව කතා කිරීම,අධ්‍යාපන ලබා ගත් ආයතනය, ඉගෙන ගත් පාඨමාලාවන් හා එහි සේවයේ නිරත පුද්ගලයන් පිළිබඳව මානයෙන් කතා කිරීම,ඒ ඒ අංශයන් පිළිබඳව තමන් සන්තකයේ දැනුම ඇති බව පැවැසීම,තමන් තුළ අනෙක් අයට නොමැති දැනුමක් ඇත්නම් ඒ පිළිබඳව මානයෙන් යුක්තව කතා කිරීම,කිසියම් භෞතික දේපළ, යානවාහන, ගෙවල් දොරවල්, යන්ත්‍ර, දුරකථන ආදී දේවල් පිළිබඳව මානයෙන් යුක්තව සෙසු අය හා ගැළපීම.

මෙසේ මානයෙන් යුක්ත පුද්ගලයා සෙසු අය සමඟ ඉහත දැක්වූ කරුණු පදනම් කරගෙන ගැළපීමට ලක් කරයි. එහිදී තමා සන්තකයේ ඇති තත්ත්වයන් සමඟ ගැළවීමෙන් එළඹෙන මානයේ අවස්ථා කිහිපයක් වේ.

ඕමානය හෙවත් හීනමානය

ඇතැම් පුද්ගලයෝ තමාගේ තමා සන්තකයේ ඇති උක්ත කරුණු සම්බන්ධයෙන් සෙසු අය සමඟ ගැළපීමේ දී තමන් තුළ ඇති භෞතික සම්පත්වල හීන බවක් වේ නම් තමන් පහත් යැයි සිතයි. එවිට ඔහු තුළ පහත් මානසිකත්වයක් ගොඩ නැඟෙයි. පසුව හීන මානසිකත්වය වර්ධනය වීමට අවශ්‍ය විවිධ සාධක ඇති වෙයි. උත්සාහය, සෘජුව යම් තැනෙකට එළඹීමේ මානසිකත්වය, ශ්‍රේෂ්ඨත්වය යන තත්ත්වයන් විනාශ වී යයි. පුද්ගල චින්තනය තුළ ඇති අභිමානවත් සිතිවිලි විනාශ වී යයි. කුළෑටි බව, ශුඪ බව වැනි පුද්ගල අභිමානය බිඳ දමන තත්ත්වයන් ඇති වී පුද්ගලයා පරාජිත අයෙක් බවට පත්වෙයි. මෙවැනි පරිහානී පුද්ගලයෙක් බිහිවන්නේ තමා විසින්ම ගොඩනඟා ගත් මාන්නාධික සිතිවිලි නිසා ය.

මානය හෙවත් සදිසමානය

තමන් සන්තකයේ ඇති භෞතික වස්තූන් හා හැකියාවන් සෙසු පුද්ගලයින් සමඟ ගළපමින් සෙසු අයත් තමනුත් එක හා සමානයැයි මානසික චින්තනයක් ගොඩනඟා ගනියි. මෙහිදී මානයෙන් යුත් පුද්ගලයාගේ සන්තානයේ ඇති ගුණවත්කම් පිරිහී යයි. එවැනි පුද්ගලයා සෙසු අයට ගරු කිරීම, වැඳීම, බුහුමන් දැක්වීම, ආචාර සමාචාර දැක්වීම සිදු නොකරයි. තමන් පමණක් සියලුම දේ දන්නා බවත්, සියලු හැකියාවන් තමා සන්තකයේ ඇති බවත් භෞතික වස්තූන්ගෙන් තමන් පමණක් ශක්තිමත් බවත් සිතා වැරැදි කල්පනාවක් ඇති කර ගනියි.

අතිමානය හෙවත් සෙය්‍යමානය

මානයේ වර්ධනය වූ අවස්ථාව අතිමානයයි. නැතහොත් සෙය්‍යමානයයි. සෙය්‍යමානය සහිත පුද්ගලයාගේ ලක්ෂණය වන්නේ භෞතික හා මානසික වස්තූන්ගෙන් සෙසු අයට වඩා තමන් උසස් හා ශ්‍රේෂ්ඨ යැයි කල්පනා කිරීමයි. අනුන් පහත් කිරීමත් තමන් උසස් කිරීමත් නිරතුරුව සිදු වේ. මෙම මානයෙන් යුක්ත පුද්ගලයා මානසික නොසන්සුන්තාවෙන් නිරතුරුව ක්‍රියා කරයි. සෙසු අය නුරුස්සයි. අනුන්ගේ බහට ඇහුම්කන් නොදෙයි. තම සිතැඟි පරිදි ක්‍රියා කරයි. වැරැදි නිවැරැදි දේ නොදනියි. අත්තනෝමතිකව සියලු තීරණය කරයි. මෙබඳු පුද්ගලයා සමාජයෙන් ප්‍රතික්ෂේප වෙයි. සෙසු අයගේ ගෞරවයට බුහුමනට නතු නොවෙයි. ඔහුගේ කීර්තිය වෙනුවට අපකීර්තිය පැතිරෙයි.

මානයේ ලක්ෂණ ගෙනහැර දක්වා ඇති අභිධර්ම සාහිත්‍යයේදී මානයේ ප්‍රභේදයන් තවදුරටත් දක්වා ඇත. එය සංකීර්ණ බෙදා දැක්වීමකි. මානයත් පුද්ගලයාගේ සිතෙහි ක්‍රියාකාරීත්වයත් වඩාත් සියුම්ව කල්පනා කර මෙහි ලකක්ෂණ අවබෝධ කර ගත යුතු වේ. මේ සෑම අවස්ථාවකදීම පුද්ගලයා සෙසු අය සමග තුලනය කරන්නේ මේ ලිපියෙහි ආරම්භයෙහි දැක් වූ කරුණු දහය පදනම් කරගෙන ය.

ශ්‍රේෂ්ඨ පුද්ගලයාට වඩා ශ්‍රේෂ්ඨ යැයි මානය උපදියි, ශ්‍රේෂ්ඨ පුද්ගලයාට සමාන යැයි මානය උපදියි, ශ්‍රේෂ්ඨ පුද්ගලයාට වඩා පහත් යැයි මානය උපදියි, සමාන පුද්ගලයාට වඩා ශ්‍රේෂ්ඨ යැයි මානය උපදියි, සමාන පුද්ගලයාට සමාන යැයි මානය උපදියි, සමාන පුද්ගලයාට වඩා පහත් යැයි මානය උපදියි, හීන පුද්ගලයාට වඩා ශ්‍රේෂ්ඨ යැයි මානය උපදියි,

හීන පුද්ගලයාට සමාන යැයි මානය උපදියි, හීන පුද්ගලයාට වඩා පහත් යැයි මානය උපදියි,

හීන පුද්ගලයාට වඩා පහත් යැයි මානය උපදියි,

මෙම නවවිධ මානය සම්පූර්ණයෙන්ම අර්හත් මාර්ගයේ දී දුරුවෙයි. එසේම පුද්ගලයෙකුට සන්සුන් මනසකින් කටයුතු කිරීමෙන් මානය අවම කර ගත හැකි ය. මානයට ප්‍රතිවිරුද්ධ ලක්ෂණයක් වන්නේ සුසමානිත චිත්ත යන්නයි. මනාව සන්සුන් වූ සිතක් ඇති බවයි. යමෙකු මනස තුළ මානය, අහංකාරය, උඩඟුබව වැනි දුර්ගුණ යටපත් කර ගනියි ද තවදුරටත් එසේ සිත පුහුණු කර ගැනීමෙන් පසු එකී මානසික සිතිවිලි සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමිය හැකි වන්නේ ය. එබඳු සිත සුසමාහිත චිත්ත නම් වේ. නිර්වාණගාමී ප්‍රතිපදාවට අවතීරණ වූ පුද්ගලයාට මානය අවම කර ගෙන ක්‍රමානුකූලව සුසමාහිත සිතක් උපදවා ගැනීමට හැකි වන්නේ ය.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා පූර්ව භාග 07.35 ට ලබයි.
14 වන දා සෙනසුරාදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
22 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]