[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රටට සෙත් වඩන කොල්ලූපිටිය වාළුකාරාමයේ 56 වන මහ පෙරහර 27 වනදා

රටට සෙත් වඩන කොල්ලූපිටිය වාළුකාරාමයේ 56 වන මහ පෙරහර 27 වනදා

ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට ප්‍රදර්ශනය කරන සංස්කෘතිකාංග අතර ප්‍රමුඛතම සංස්කෘතිකාංගය වන්නේ පෙරහරයි. එය ආගමික ශ්‍රද්ධාව වර්ධනය කරන පූජා චාරිත්‍රයක් වන අතර ඊට සමගාමීව පුද්ගලයාට ධාර්මික විනෝදාස්වාදය සපයන කාර්යයක් ද වේ.

කොල්ලුපිටිය වාළුකාරාමයේ වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහරේ අරමුණ වන්නේ ද ප්‍රදේශයේ ජනතාවගේ ශ්‍රද්ධාව වර්ධනය කිරීම හා එම ජනතාවට ධාර්මික විනෝදාස්වාදයක් සැපයීම ය. ජනාකීර්ණ මෙන්ම කාර්ය බහුල ප්‍රජාවක් වාසය කරන කොළඹ වැනි නගරයක එම ජනතාවගේ මානසික සමබරතාව රැක ගැනීම ට මෙබඳු පෙරහරකින් ලැබෙන්නේ ඉමහත් අනුබලයකි. අනෙක් අතට විවිධ ජාතීන් ජීවත් වන කොල්ලුපිටිය වැනි ප්‍රදේශයක පෙරහරක් පැත්වීමෙන් එකී ජාතීන් අතර සමගිය ද ඇති වේ.

කොළඹ අග නගරය ආලෝකමත් කරන පැරැණිතම බෞද්ධ පෙරහර වන්නේ කොල්ලුපිටිය වාළුකාරාමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහර යි. මෙහි නිර්මාතෘවරයාණන් වහන්සේ කොල්ලුපිටිය වාලුකාරාමාධිපතිව වැඩ විසූ ගරුකටයුතු නිවන්තිඩියේ ආනන්ද හිමිපාණන් වහන්සේ ය.

පෙරහරක් කිරීම පහසු කාර්යයක් නො වේ. එබන්ඳක් වාර්ෂිකව සිදුකිරීම තවත් අපහසු ය. එම අපහසු කාර්යය නිවන්තිඩියේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ අපවත් වනතුරුම නොකඩකොට සිදුකළ හ. උන්වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ වන කොල්ලුපිටිය වාළුකාරාමය ඇතුලු පංච මහා විහාරයන්හි ආධිපත්‍යය හොබවන කෝට්ටේ සංඝ සභාවේ රත්මලාන විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝ නායක පදවිය හොබවන සරභඤ්ඤ විශාරද පරිත්ත ධජ මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේ තම ගුරුදේවයන් වහන්සේ ආරම්භ කොට පවත්වාගෙන ආ මෙම සංස්කෘතික මංගල්‍යය සුස්ථිර කොට පවත්වාගෙන යාම අතිශය ප්‍රශංසනීය වේ.

පෙරහර වනාහි තුනුරුවන් විෂයෙහි කරනු ලබන උපහාර උත්සවය කි. එනිසා එය කි‍්‍රයාත්මක විය යුත්තේ ශ්‍රද්ධාව මූලික කරගෙන ය. බුදුරජාණන් වහන්සේගේ වීදි සැරීම පෙරහරෙන් සංකේතවත් කෙරේ. බුදුරජාණන් වහන්සේ එලෙස වීදි සරන කල උන්වහන්සේට දක්වන උපහාර සහ ප්‍රණාම පෙරහරට එකතු කරන සංස්කෘතිකාංගවලින් ප්‍රකට කෙරේ. එනිසා පෙරහරකට එකතු කරන අංග බුදුරදුනට අගෞරව පිණිස නො පැවතිය යුතු ය. පෙරහරක රඟ දක්වන නර්ථන ශිල්පියා ද තම නර්තන කාර්යය කළ යුත්තේ තම ශිල්පීය කුශලතාවෙන් බුද්ධ පූජාවක් කිරීමේ අදහසිනි.

පෙරහරක විශේෂය වන්නේ බුදුදහම හා දේශිය කලාව සුසංයෝග කිරීම ය. අතීත පරම්පරා විසින් දේශීය සිංහල කලාවට එකතු කර ඇති වටිනාකම් සුරක්ෂිත කිරීම වර්තමාන පරම්පරාවේ වගකීමකි. පෙරහර දේශීය සංස්කෘතිකාංග ප්‍රදර්ශනය කරන අතර පෙරහර පැවැත්වීමට දායක වීම එම සංස්කෘතිකාංග ආරක්ෂා කීරීමට දායක වීමක් ලෙස ද සැලකිය හැක. අනෙක් අතට පෙරහරක අරමුණ වන්නේ ජනතාවට ආශිර්වාද කිරීම ය. එසේම සෞභාග්‍යමත් රටක් වෙනුවෙන් තුනුරුවනේ ආශිර්වාදය සලසා ගැනීම ය.

කොල්ලුපිටිය වාළුකාරාම පෙරහර එකී මූලධර්ම හා මූලික අරමුණු දූෂණය නොකොට පෙරහර සම්ප්‍රදායේ මූලික සිරිත් විරිත් අනුගමනය කරමින් සිදුකරන සැබෑ සංස්කෘතික කාර්යයකි.

මෙවර පෙරහර පැවැත්වෙන්නේ පනස් හය වන වරට මෙම මස 27 වනදාය. උඩරට පහතරට හා සබරගමු සම්ප්‍රදායයන්ට අයත් විවිධ නර්තනවලින් හා අලි ඇතුන් විශාල ගණනකින් මෙවර පෙරහර ද සමන්විත වේ. විවිධ දුෂ්කරතා මැද වුවද, මේ සා දිගු කලක් පුරා මෙම පෙරහර පැවැත්වීමට හැකි වීම අගය කළ යුතු ය. එහිලා විහාරස්ථ දායක සභාව ඇතුළු විහාරස්ථානයට සම්බන්ධ සියලු සමිති සමාගම් ඉටුකර ඇති මෙහෙවර ප්‍රශස්ත ය.

මාතෘ භූමියටත්, අතිගරු ජනාධිපතිතුමන් හා අග්‍රාමාත්‍යතුමන් ඇතුළු රජයටත්, සමස්ත රට වැසියන්ටත් ආශිර්වාද කරමින් පැවැත්වෙන මෙම පෙරහර මෙවරත් පැවැත්වෙන්නේ මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ය. කොල්ලුපිටිය වාළුකාරාමාධිකාරි පූජ්‍ය උඩවෙල කෝලිත හිමියන් පෙරහරේ සියලු සංවිධාන කටයුතු මෙහෙයවයි. මෙම පෙරහරේ කටයුතු සඳහා ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ලැබෙන අනුග්‍රහයත්, විශේෂයෙන් රජයෙන් ලැබෙන අනුග්‍රහයත් පුණ්‍යානුමෝදනා පුර්වකව සිහිකළ

යුතු ය.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා පූර්ව භාග 07.35 ට ලබයි.
14 වන දා සෙනසුරාදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
22 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]