[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිය වසට ළඟා වන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය

සිය වසට ළඟා වන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය

මෙරට බොදු පුනරුදයට ශාසනික ආගමික හා සාමාජික වශයෙන් යුග මෙහෙවරක් ඉටු කරන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මෙම වසරේ දෙසැම්බර් 21 වන දා සිය වන වසට පා තබයි.

යටත්විජිත යුගයේ දී බෞද්ධ සමාජයට මුහුණ පෑමට සිදු වූ විවිධ හේතු මුල් කර ගනිමින් 1919 දෙසැම්බර් 21 වන දා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ආරම්භ විය.

1917 දී පමණ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ දී තරුණ බෞද්ධ සමිති විසි එකක් ඇතුළු මෙරට බොදු සංවිධාන ඒකරාශි වී පැවැති සාකච්ඡාවක දී එබඳු සංවිධානයක අවශ්‍යතාව ගැන අදහස් පළ විය.

කොළඹ තරුණ බෞද්ධ සමිතියේ සභාපති මෙරට කීර්තිමත් බෞද්ධ ජන නායකයකු වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක ශ්‍රීමතාණන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පළමු සභාපතිවරයා වේ.


ජගත් සුමතිපාල

එදා මෙදා තුර මෙරට බෞද්ධ ප්‍රභූ නායකයන්ගේ මූලිකත්වයෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය පැවත එන්නාහ. එෆ්.ආර්. සේනානායක මහතා, පී.ද. ඇස්. කුලරත්න මහතා, සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා, ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා, එච්.ශ්‍රී නිශ්ශංක මහතා, එල්.එච්. මෙත්තානන්ද මහතා, ආදී සම්භාවනීය බොදුජන නායකයන් මුල් යුගයේ දී සභාපති ධූරය දරමින් මහඟු මෙහෙවරක් ඉටු කර ඇත. 1939 සිට 1958 දක්වා ලොව ප්‍රකට පඬිරුවනක් වූ මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා, ලලිත රාජපක්ෂ මහතා සහ මෑත යුගයේ මහාචාර්ය එම්.බී. ආරියපාල මහතා සහ මිලිනා සුමතිපාල මහත්මිය එහි සභාපති ධූරය හොබවමින් සිදු කර ඇත්තේ උදාර මෙහෙවරකි.

අපේ රටේ ලාදුරු රෝගය පැවැති යුගයක සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මඟින් ආරෝග්‍යශාලා සේවය ආරම්භ කර ඇත. අනතුරුව සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනය 1955 දී ඇරඹීමෙන් පසු එහි සේවය ශිෂ්‍ය සමිති සම්මේලනයට පවරා ඇත.

ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කිරීමේ දී 1945 දී සම්මේලනයෙන් ආරම්භ කරන ලද ත්‍රිපිටක භාරය මගින් මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් දීඝ නිකායේ පළමු කාණ්ඩය ප්‍රකාශයට පත් කරන ලද්දේ 1948 පෙබරවාරි 4 වන දා ය. ගුණපාල මලලසේකර යුගයේ දී ලෝක බෞද්ධ සම්මේලනය 1950 දී ආරම්භ කිරීමට පුරෝගාමී වීම ද බෞද්ධ මහා සම්මේලනයේ ඓතිහාසික සිහිවටන අවස්ථාවන් අතර වේ. ලොව ප්‍රමුඛ පෙළෙහි බෞද්ධ නායකයන් මෙරටට ගෙන්වා මහනුවර මඟුල් මඬුවේ දී එය අරඹා ඇත. එවකට බොදුනුවන්ට සිදු වූ අපහසුතා සොයා බැලීම සඳහා 1956 දී බෞද්ධ තොරතුරු වාර්තාවක් එළි දක්වන ලදී. එය මුල් කරගනිමින් බෞද්ධ කොමිසම් සභාවක් පත් කර, බෞද්ධ කොමිසම් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මූලිකත්වය ගෙන ක්‍රියා කරන ලදී.

මව්පිය සෙනෙහස අහිමි වූ අසරණ දරුවන් රැක බලා ගැනීමේ අරමුණින් 1945 දී (එවකට ළමා නිවාසය) ළමා සංවර්ධන මධ්‍යස්ථානය, විහාර මහා දේවිය නමින් බියගම දී ආරම්භ කරන ලදී. මෙරට ප්‍රකට සිතුවම් ශිල්පියෙකු වූ සෝලියස් මෙන්දිස් මහතා සතු දේපළ 1958 දී සම්මේලනය වෙත පවරමින් ආරම්භ කරන ලද අඳ ගොළු බිහිරි නිවාසය හා පාසලක් සම්මේලනය මඟින් වත්මන්හි ද පවත්වාගෙන යනු ලැබේ. ළමා සංවර්ධන මධ්‍යස්ථාන 17 ක හත්සියය ඉක්මවන දරුවන් පිරිසක් වෙත අධ්‍යාපනය ලබා දෙමින් නැණ ගුණ වඩවමින් යහපත් දරුවන් ලෙස සමාජගත කිරීමට ද සම්මේලනය මඟින් සිදු කරනුයේ ආදර්ශවත් මෙහෙවරකි.

1956 දී රත්ගම විජේරත්න නිවාසය අරඹමින් දෙටු පුරවැසියන් සඳහා උදාර මෙහෙයක් ඉටු කරනු ලබන අතර, දෙටු පුරවැසි නිවාස හතක් දැනුදු පවත්වා ගෙන යනු ලැබේ. වයොවෘද්ධ ගිලන් ස්වාමීන් වහන්සේට උපස්ථාන කරමින් එබඳු භික්ෂු ගිලන් ශාලා දෙකක් ද පවත්වා ගෙන යනු ලැබේ.

2001 දී පමණ මිලිනා සුමතිපාල මහත්මිය සභාපති ධූරයට පත් වීමෙන් පසු එවකට රටෙහි පැවැති යුද බිය දුරු කිරීම සඳහා මෙන්ම සම්මේලනයේ කීර්තියත්, බොදු පුබුදුවත් ඇති කිරීම සඳහා බෞද්ධාලෝක වෙසක් වැඩසටහනක් අරඹමින් වෙසක් කලාප සංකල්පය බිහි කිරීමට මූලික වූවා ය. එමෙන් ම එතුමිය විසින් ජාතික, ආගමික, සාමාජික ලෙස ආර්ථික සැලසුමක් ලෙස බොදු පුනරුද ක්‍රියාවලිය දියත් කළා ය.

එම ක්‍රියාවලිය පදනම් කර ගනිමින් වත්මන් සභාපති ජගත් සුමතිපාල මහතා 2006 දී ඇරඹූ ගමයි, පන්සලයි මුල්කරගනිමින් බොදු ජන යහපත සඳහා සේවාවන් දැනුදු ක්‍රියා කරනු ලැබේ.

නැගෙනහිර සහ උතුරු මැද පළාතේ විහාරස්ථානයන්හි කඨින පින්කම් වාර්ෂිකව සිදු කරමින් එහි වෙසෙන ජනතාවට ශක්තියක් ලබාදීමටත් කටයුතු කෙරේ.

සාහිත්‍යය පෝෂණය සිදුවනුයේ බුදු දහමේ ආභාෂය ලැබීමෙනි. එබැවින් බෞද්ධ මහා සම්මේලනය මගින් 2007 වසරේ සිට බෞද්ධ සාහිත්‍ය උත්සවය වාර්ෂිකව පවත්වනු ලැබේ. මෙවර ශත සංවත්සරය නිමිත්තෙන් ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හි නේවාසික දරුවන් වෙනුවෙන් තරු මුතු දරු ප්‍රසංගය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ජාතික ළමාරක්ෂක මණ්ඩලයේ මෙහෙයවීමෙන් නොවැම්බර් 15 වන දා සිදු කෙරේ.

සාමණේර ස්වාමීන් වහන්සේලාගේ මව්පියවරුන් වෙත උපකාර කිරීම ද වසර හතක් පුරා පවත්වා ගෙන යනු ලැබේ. ශතක ගම්මාන ව්‍යාපෘතිය වෙනුවෙන් සම්මේලනය සතු භූමි භාගයක නිවාස 50 ක් සහ දුෂ්කර පළාත්වල නිවාස 50 ක් ඉදිකිරීමට සැලසුම්කර ඇත.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මඟින් තවත් ශත වර්ෂ ගණනාවක් පුරා උදාර මෙහෙවරක් ඉටු කිරීමට සැලැස්මකට අනුව නිහඬ, නොනිමි මෙහෙවරක නිරතව සිටීම බොදුනුවන්ගේ අමන්දානන්දයට හේතු වනු නොඅනුමාන ය.


බෞද්ධ සන්නිවේදන සංසදය නැවතත්


සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් පවත්වාගෙන ගිය බෞද්ධ සන්නිවේදන සංසදය නැවත ප්‍රතිසංවිධානය සහ සුභාවිත චරණයට මාධ්‍ය දිශානතිය නමින් මාධ්‍ය වැඩමුළුවක් පසුගියදා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මහාචාර්ය ඇම්. බී. ආරියපාල ශාලාවේ දී පවත්වන ලදී.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවති අතර විශේෂ දේශන දෙකක් ද එහි දී පැවැත්විණි.

සභාපති - ලෙනින් ඉන්දික මහතා - දිදුල රූපවාහිනිය. නාලිකා ප්‍රධානී

උප සභාපති – දුමින්ද සංජීව බාලසූරිය මහතා - ප්‍රධාන කර්තෘ විජය පුවත්පත සහ අද පුවත්පත නියෝජ්‍ය කර්තෘ

ලේකම් – රමණී සුබසිංහ මහත්මිය – බුදුසරණ පුවත්පත ප්‍රධාන කර්තෘ

උප ලේකම් - සමන් ප්‍රියංකර නම්මුණි මහතා - මව්බිම පුවත්පත විශේෂාංග කර්තෘ

ජාතික සංවිධායක – ගයා රම්‍ය අල්විස් මහතා - ජාතික රූපවාහිනිය - ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදක

භාණ්ඩාගාරික – ව්‍යවස්ථාපිතව ප්‍රචාරක කටයුතු පිළිබඳ ජාතික ධම්සිරි මහතා

කැඳවුම්කරු - ප්‍රචාරක කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලයේ ලේකම් ආනන්ද බෝධිනායක මහතා

උපදේශක මණ්ඩලය

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා, බුදුසරණ පුවත්පත උපදේශක කර්තෘ - සීසර් සුදුසිංහ මහතා, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - නියෝජ්‍ය වැඩසටහන් අධ්‍යක්ෂක මයුරි අබේසිංහ මහත්මිය

කාරක සභාව

ගුවන් විදුලිය - භද්‍රජිත් සෞම්‍ය මහතා, ස්වර්ණවාහිනිය - සජිත් රණසිංහ මහතා, දිවයින – නිමල් දයාරත්න මහතා, අද – චාමර සම්පත් මහතා, දිනමිණ – මානෙල් පුෂ්පකුමාරි මහත්මිය, බුදුරැස - චන්ද්‍රසිරි වැලිගමගේ මහතා

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා පූර්ව භාග 07.35 ට ලබයි.
14 වන දා සෙනසුරාදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
22 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]