Print this Article


බොදු පිළිවෙතෙහි එළඹුම ශ්‍රද්ධාව යි

බොදු පිළිවෙතෙහි එළඹුම ශ්‍රද්ධාව යි

බෞද්ධයෙකුට ශ්‍රද්ධාව ධනයෙකි. සම්පතෙකි. එය සත්වැදෑරුම් ආර්ය ධනයෙහි පළමුවැන්න ය. යම් ස්ත්‍රියක හෝ පුරුෂයෙකු වෙත ශ්‍රද්ධා ධනය පෙරටුකොට ගත් එකී ආර්ය ධන සත ඇත්තේ ද ඔහු දිළින්දෙකු ,දුගියෙකු නොවේ.

ඔහුගේ ජීවිතය පිරිපුන් ය. හිස් නැත. ශ්‍රද්ධාව බීජයෙකැ යි ද බුදුදහම උගන්වයි. බීජ වූකලී වවා වපුරා ගැන්මට ය. වපුරන්නේ ටිකක් වුව ද නිසි ලෙස ගොවිතැන වවාගත් විට ලැබෙන අස්වැන්න බොහෝ ය. ශ්‍රද්ධාව බලයෙකැයි ද දක්වා තිබේ. එය මිල මුදල් නිසා හෝ රජකම් නිසා හෝ කාය වර්ධනය තුළින් හෝ උපදවා ගත් බලය ඉක්මවා යන්නකි. අන්තවාදී දෘෂ්ටි , විචිකිච්ඡාදියට සෙලවිය නොහැකි ඒ සියල්ලට ම වඩා බලවත් වූ ශ්‍රද්ධාව නිවන් මගට ප්‍රතිපක්ෂ වූ සියලු අකුසල ධර්ම පසුබස් වන්නේ ය. ශ්‍රද්ධාව ඉන්ද්‍රියකැයි ද දේශනාවල දැක්වෙයි. එය වඩා වවා ගත යුතු ඉන්ද්‍රියකි. පුරුෂයාට රැස්කරගත හැකි වඩාත් අගනා සම්පත කුමක්දැ’යි ඇසූ ආලවක යකුට බුදුරදුන් වදාළේ ඒ සැදැහැවත් කමය යනුවෙනි. අභිධර්මයට අනුව ශ්‍රද්ධාව සෝභන චෛතසිකයෙකි. සිත පවිත්‍ර කරන, බබුළුවන සෝභන සිත්වල යෙදෙන චෛතසිකයෙකි.

අරහං, සම්මා සම්බුද්ධා දී බුද්ධ රත්නයේ උතුම් ගුණ දැන උපදනා පැහැදීම, ස්වාක්ඛාත, සන්දිට්ඨිකාදී ධර්ම රත්නයේ ගුණ දැක දැක උපදන පැහැදීම ශ්‍රද්ධාව යි. ත්‍රිවිධ රත්නය අරභයා වුව ද දැනීමක්, දැක්මක් නැතිව ඇතිකරගන්නා හුදු පැහැදීම මතුපිට විශ්වාසය හෝ ඇදහිල්ල බුදු දහම අගය නොකරයි. ශ්‍රද්ධාව යනු කිසිසේත් ම භක්තිය නොවේ. අන්ධ අවිචාරවත් පිළිගැනීම් මාත්‍රය නොවේ. කරුණු අවබෝධකොට ගෙන, හේතු යුක්ති සහිතව, පදනමක්, මූලයක් ඇතිව රත්නත්‍රය පිළිබඳව ඇතිකර ගන්නා ප්‍රසාදයම ශ්‍රද්ධාව වේ. එබදු ශ්‍රද්ධාවෙකින් යුක්තව ක්‍රියාකළ ශ්‍රාවකයන් පිළිබඳව පෙළ දහමෙහි සඳහන් වෙයි. පසේනදී කොසෙල් රජු එබන්දෙකි. දිනක් බුදුරදුන් හමුවී උන්වහන්සේට සිය නම්ගොත් ද කියමින්, සිරිපතුල් සිඹිමින් වැඳවැටුණ ූරජු ඇමතු බුදුරජාණන් වහන්සේ, රජතුමෙනි, ඔබ මෙබඳු අතිමහත් ගෞරවයක් මා වෙත දක්වන්නේ කවර කරුණු නිසාදැ’යි විමසා ඇත. ස්වාමීනි, මා තුළ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ධර්මාත්වයෙන් (ධර්මානුකූලව අවබෝධයක්) ඇත. භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ ය. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය ස්වාක්ඛාත ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න යැ’ යි සහේතුකව, සකාරණව ඇති වූ නිසැක බව මා තුළ ඇතැයි පැවසූ බව සඳහන් වෙයි. එබඳු සද්ධාවක් තමන් තුළ ජනිතවීමට හේතු වූ කරුණු සතක් ද රජතෙමේ සඳහන් කරයි. (ම.නි.ධම්මචේතිය සූත්‍රය)

පිලෝතික පිරිවැජියෙකි. ජාණුස්සෝනි බමුණා හමුවෙහි ඔහු ද පවසන්නේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ ය. ධර්මය ස්වාක්ඛාත ය. ශ්‍රාවක සංඝයා සුපටිපන්න යැ” යි තමා අවසාන නිගමනයකට පැමිණ සිටින බවයි. එබඳු ප්‍රසාදයක් ඇතිවූයේ කෙසේදැ’යි ජාණුස්සෝණි විමසූු දැන පිලෝතික තෙමේ තමා බුදුරදුන් ඇසුරු කරමින් උන්වහන්සේ වෙත ප්‍රකට වූ ඤාණපද සතරක් (විශේෂ කරුණු සතරක්) ඇතැ’යි වටහාගත් බව දැන දැක ගත් බව පවසමින් එම ඤාණ පද සවිස්තරව දක්වයි. මෙසේ ඔහු තුළ පැවැති ඒ ශ්‍රද්ධාව ද අහේතුක, අකාරණ පැහැදීමක් නොවේ. සහේතු ක ය. ස කාරණ ය. (චූලහත්ථිපදෝපම සූත්‍රය ම.නි)

ශ්‍රද්ධාව දෙයාකාර ය. පෙළ දහම අනුව අමූලිකා ශ්‍රද්ධා, ආකාරවතී ශ්‍රද්ධා යනුවෙනි. අමූලිකා ශ්‍රද්ධාව නම්, මූලයන් නොමැතිව ම, පදනම් විරහිතව ම , හේතු යුක්තිවලින් තොරව ම, කරුණු කාරණා රහිතව ම ඇතිකරගත් ශ්‍රද්ධාව යි. බොහෝ විට ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ද ( කිං හෙතු, කිං පච්චයෝ , කිං නිදානං) හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද? නිදානය කුමක්’දැයි විමසීම බුදු දහමෙහි දක්නා ලැබේ. අහේතුක වූ, අප්‍රත්‍යක වූ, අතිදාන වූ කරුණු දහමෙහි ලා නොපිළිගැනේ. බොහෝ පුද්ගලයන් එළඹ සිට නිගමන, අදහස් ආදිය පිළිබඳව වුවද, ඔබ එය දන්නේ ද (ජානං ) දැක්කේදැ’යි (පස්සං) බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළහ. ශ්‍රද්ධාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම ද එය යි. පදනමක් නැති අමූලික සද්ධාව බුදුසමය අගය නොකරයි. බෞද්ධ සද්ධාව නම් ආකාරවතී ශ්‍රද්ධාව ය. එනම්, බුද්ධාදී රත්නත්‍රය පිළිබඳව සහේතුකව, සකාරණව සිතා බලා , සුපරික්ෂණය , විමර්ශනශීලිබව ඔස්සේ උපදවා ගත් ශ්‍රද්ධාව යි. අවබෝධය මුල්කොටගත් ප්‍රසාදය යි. සිතා, විමසා බලා කවර කරුණක් පිළිබදව වුවද, කරුණු සහිතව නිගමනවලට එළඹීමේ අවශ්‍යතාවය බුදුරජාණන් වහන්සේ නොයෙක් විට පෙන්වා දුන්හ. එසේම නිදහස්ව ,නිවහල්ව සිතා විමසා බැලීම පිණිස ශ්‍රාවක ප්‍රජාවට අවශ්‍ය නිදහස ද බුදු දහමින් ලැබේ. පරසිත් දැකීමේ හැකියාව නැති, විමසුම්ශිලි ශ්‍රාවක භික්ෂුව විසින් බුදුරදුන්ගේ කාය සමාචාර (කායික චර්යාවන්) හා වාග් සමාචාර (වාචසික චර්යාවන්) විමසිය යුතුයැ’යි අනුශාසනා කොට ඇත. (වීමංසක සූත්‍රය ම.නි.)

ප්‍රඥාවෙන් තොරවූ ශ්‍රද්ධාව බොළඳ ය. එහි ගැඹුරක් හරයක් නැත. එබැවින් ශ්‍රද්ධාවට සමගාමීව ප්‍රඥාව ද වර්ධනයකර ගත යුත්තේ ය. ශ්‍රද්ධාවෙන් තොර වූ ප්‍රඥාව හුදු තර්කවාදියෙකු, කෛරාටිකයෙකු බිහිකරයි. එබැවින් ශ්‍රද්ධාව ,ප්‍රඥාව ද, සමඟ එක්විය යුතු බව උගන්වා තිබේ. ශ්‍රද්ධාවෙහි පිහිටීම මෙන්ම ප්‍රඥා ප්‍රතිලාභය ද සැපයකැයි ධම්මපදය උගන්ව යි. “මහණෙනි, යමෙකුට මේ පදයෙන්, මේ ව්‍යංජනයෙන් (මේ, මේ කරුණු හේතුවෙන්) තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටියේ වේද, හටගත් මුල් ඇති ඒ (සහේතුක) ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධාව ය . එය මහණෙකුට හෝ බමුණෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට නැසිය නොහැක්කේය යනු බුදු වදන ය. (වීමංසක සූත්‍රය ම.නි)

සැදැහැවත්වීම, ශ්‍රද්ධාව බුදුරදුන් වදාළ නිවන්මගෙහි එළඹුම ය. සැදැහැවතා ගුරුන් වෙත එළඹෙ යි. එළඹ ඇසුරු කරයි. ඇසුරු කරන්නේ (ධර්මයට) කන් යොමයි.. යොමු කළ කනින් දහම් අසයි. අසන්නේ සිත්හි දරා ගනියි. දරාගන්නේ (ඇසූ,උගත්) ධර්මයෙහි අරුත් සලකා බලයි. එයින් ධර්මාවබෝධය වේ. (කීටාගිරි සූත්‍රය, ම.නි.) පෙළ දහමෙහි නොයෙක් තැන දැක්වෙන පරිදි බුදුරදුන් ලොව උපන් විට ගෘහපති ආදීහු උන්වහන්සේ ඇසුරට යති. දහම් අසති. සැදැහැ උපදවති. ගිහි බව හැර පැවිදි වෙති. ශීලාදි පිළිවෙත් පුරති. කෙලෙස් ගිහි නිවා ලති. නිවන් පසක් කරති. (කීටාගිරි සූත්‍රය.ම.නි)