Print this Article


ඒහි පස්සික 28 : අරමුණ දිනවීමට සැලසුමක් ඕනෑ

අරමුණ දිනවීමට සැලසුමක් ඕනෑ

මනා සැලසුම් සහගතව උත්සාහවන්තව, අධිෂ්ඨානශීලිව දිවි පරදුවට තබා කටයුතු කළ බෝධි සත්වයන් වහන්සේ ඉතා අපහසුවෙන් ළඟා විය යුතු, ළඟා විය හැකි සම්මා සම්බුදු පදවියට පත් වේ.

අපගේ ගෞතම බෝධි සත්වයන් වහන්සේ සැලසුම් සහගතව, දීර්ඝ අරමුණකට යොමුවීමෙන් සම්මා සම්බෝධියට පත් විය.

මේවා ආදර්ශයට ගෙන අප, අපගේ ජීවිතය දෙස හැරී බැලිය යුතුය. අපගේ ජීවිතය නඩත්තු කරනවා හැර වෙනත් යමක් සිදු වෙනවාදැයි සිතා බලන්න. ජීවිතයට සැලසුමක් නිර්මාණය කර ගනිමින් ඉදිරියට යා යුතුය. මෙසේ බලන විට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් අපගේ ප්‍රායෝගික ජීවිතයට කෙතරම් වටිනාකමක් ලබා දෙන්නේදැයි සිතන්න.

කුඩා, තරුණ, වියපත් කවර තරාතිරමක අයකුට වුවත්, නිවන් අරමුණු කර ගමන් කරන දිවියේ සැලසුමටත්, ලෞකික දිවියේ සැලසුමටත් එකසේ අවශ්‍ය වන බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි තවදුරටත් හදාරමු.

මේ සමඟ ඒකරාශි කළ යුතු කාරණා කීපයක් පිළිබඳව අප සාකච්ඡා කළ යුතුයි. අප චර්යාත්මකව කුමක් කළ යුතු ද? නිවැරැදි සිතිවිලි ඇති කළ යුත්තේ කවරෙක් තුළ ද? අපගේ දරුවන් තුළ නිවැරැදි සිතිවිලි වැඩි වශයෙන් රෝපණය කළ යුතුයි. පෝෂණය කළ යුතුයි. වැඩිහිටියන්ටත් එසේ හුරුවීමේ වටිනාකමක් පවතී. එහෙත් ජීවිතය ආරම්භ කරන ළමා වයසේ පසුවන, දරුවන්ගේ ජීවිත සුවිශේෂ වේ. බොහෝ මව්පියවරු ඇති දැඩි කරන්නේ දරුවන්ගේ ශරීරයයි. ඒ පිළිබඳ උනන්දු වෙමින්, සියලු පෝෂ්‍යදායි දේ ලබාදෙමින් කටයුතු කරනු ලැබේ. අනතුරුව ඉගෙනීමට දරුවන් වෙත බලකරනු ලැබේ. දඬුවම් කරමින් ඇතැම් විට තරග විභාග වෙත දරුවන් යොමුකර වීමට සමහර මව්පියවරු උනන්දු වෙති. ආශාවෙන් සහ කැමැත්තෙන් අධ්‍යාපනය ලැබීමට ඒ දරුවන්ගේ මනස සකස් කිරීම මව්පිය වගකීම යැයි නිතර කල්පනා කළ යුතුයි.

එසේ ඒ දරුවන්ගේ මනස නිවැරැදිව සකස් කිරීමට මව්පියවරු ද වෙසෙසින් මනස සකස් කිරීම ගැනත් දැනගෙන සිටිය යුතුයි. ඉතින් මනස සකස් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙතරම් උදව්වනවාද? ප්‍රයෝජනවත් වනවාද? ඔබ ම නුවණින් විමසා බැලිය යුතුයි.

ප්‍රායෝගිකව අපගේ ජීවිතවලට ධර්මය ඒකරාශි කර ගැනීම, සඳහා පෙළ ගැසිය යුතුයි . අන් අයට උපදෙස් දිය යුතුයි. එය ප්‍රායෝගිකව සිදු කළ යුතුයි.

ජීවිතයේ තමා කැමැති යහපත් ඉලක්ක කෙතෙක් පැවතිය ද, ඒ සඳහා ළගා වීමට නොහැකි අයුරින් වැඩිපුර බාධා කරන්නේ අම්මා, තාත්තා හෝ සහෝදර සහෝදරාදීන් හෝ ඤාති මිත්‍රාදීන් නොවේ. ඒ අයගෙන් එන බාධාවන්ට වඩා තමාගේ ඇතුළාන්තයෙන් එන කුසීතකම ආදී තමන්ගෙම සිත තමන්ට ම අවනත නොවී නිදිකරවීම, ඇවිදවීම කළ යුතු දේ නියමිත වෙලාවට නොකරන ස්වභාවයක් පවතී. එනම් තමන්ගේ පැත්තෙන්මයි තමාට ලොකුම හානිය සිදු වන්නේ.

එමෙන්ම විශාලතම යහපත සිදු කරන්නට මූලික වන්නේ ද තමාගේ ම සිතය. ඇතැම් වෙලාවකට අපේ ම සිත අප යහපත් දිශාවකට යොමුකරන අතරවාරයේ දී ,තවත් අවස්ථාවක දී අයහපත් දෙයට යොමු කරවන්නේ ඇයි ද?

මනුෂ්‍යයා සිව් කොටසකට වෙන් කර හඳුන්වා දිය හැකි බැව් මෙයට පෙර සාකච්ඡා කෙරිණි. සමහර අයට කුසල සිත් උපදී. සමහර අයෙකුට නූපදී. අකුසල ම උපදින අය ද වේ. පෙර සඳහන් කළ පරිදි පැත්තෑයා නිවසට ඇදෙන විට මරන්නට ඕනෑ යයි සිතිවිල්ල ඉපදීම යි. අහිංසක සතත්වයෙකු මරණයට පත් කළ යුතු යැයි විටෙක සිතෙන අතර ඉන් වැළකිය යුතු යැයි අහිංසක සිතිවිලි උපදී. එහෙත් මරණයට පත් කිරීම ක්‍රියාත්මක වේ. කුසලයත්, අකුසලයත් දෙකම ඉපිද අකුසලය ක්‍රියාත්මක වේ. කුසලය සහ අකුසලය යන දෙකම ඉපිද කුසලය පමණක් ක්‍රියාත්මක වේ.