Print this Article


දෙලොව ජය ගැනීමට වටිනා දහම් පද සතරක්

දෙලොව ජය ගැනීමට වටිනා දහම් පද සතරක්

පින්වත්නි, අද මා පැහැදිලි කරන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ උරුවේල වර්ගයේ ධම්මපද සූත්‍රය. එය නමවැනි සූත්‍රය යි. එහි දී බුදුරජාණන් වහන්සේ ධර්ම පද හතරක් පිළිබඳ දේශනා කරනවා.

චත්තාරිමානි භික්ඛවේ ධම්මපදානි ඒ ධර්මපද හතර අග්‍ර බව දැනගත යුතුයි. අග්ගඤ්ඤානි. ඒ වගේම බොහෝ කල් පවතින දෙයක් බව දැනගත යුතු යි. එනම් රත්තඤ්ඤානි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයන්ගේ පරම්පරාවට අයිති දෙයක්. එනම් වංසඤ්ඤානි. ඒ වගේම පෞරාණික දෙයක්. එනම් පොරාණානි. ඒ වගේම සංකීර්ණ නොවන දෙයක්. එනම් අසංකිණ්නානි. ඒ වගේම අතීත බුදුරජාණන් වහන්සේලා විසින් බැහැර නොකළ දෙයක්. එනම් අසංකිණ්ණපුබ්බානි. මෙකල්හි ද බැහැර කරන්නේ නැති දෙයකි. නසංකීයන්ති අනාගතයේ පහළවන බුදුරජාණන් වහන්සේලා විසිනුත් බැහැර නොකරන දෙයක්. න සංකීයිස්සන්ති. නුවණැති බ්‍රහ්මයින් විසින් නින්දා නොකරන ලද දෙයක්. අප්පතිකුට්ඨාහි සමණේහි බ්‍රාහ්මණේහි විඤ්ඤූහි යනුවෙන් ඒ ධම්මපද ගාථා දේශනා කළා.

මොනවද ඒ ධම්මපද ගාථා? පළමු ගාථාව ‘අනභිජ්ඣා භික්ඛවේ ධම්මපදං’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලෝබ නැතිකම දහම් පදයක්. එය අග්‍ර එකක් බව දැනගත යුතු යි. බොහෝ කල් පැවැති දෙයක් බව දැනගත යුතුයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ආදී උතුමන්ලාගේ පරම්පරාවට අයිති දෙයක්. පෞරාණික දෙයක්. සංකීර්ණ නොවන දෙයක්. පෙර බුදුරජාණන් වහන්සේලා විසිනුත් බැහැර නොකරන ලද දෙයක්. මෙකල්හිත් බැහැර නොකරන දෙයක්. අනාගතයේ පහළවන බුදුරජාණන් වහන්සේලා විසිනුත් බැහැර නොකරනු ලබන දෙයක්. නුවණැති ශ්‍රමණ, බ්‍රාහ්මණයින් විසින් නින්දා නොකරන ලද දෙයක්. ලෝභ නැතිකම පිළිබඳවයි මේ දේශනා කළේ.

ඇතැම් පුද්ගලයන් තුළ මේ ‘ලෝභ නැතිකම යන දහම් පදය නැහැ. ඔවුන් ඉතා ලෝභී පුද්ගලයන් ලෙසයි ජීවත් වෙන්නේ. ඇතැම් පවුල්වල ස්වාමිපුරුෂයා ලෝභයි. නැතිනම් ස්වාමි දියණිය ලෝභයි. එසේත් නැතිනම් දරුවෝ ලෝභයි. මේ නිසා බොහෝ ගැටලු මතුවිය හැකියි. ඇතැම් දරුවෝ තමන්ගේ වයසක මව්පියන්ගේ බැංකු පොත්වල ඇති මිල මුදල් අපේක්ෂා කරමින්, දේපළ අපේක්ෂා කරමින් සැලකිලි සම්මාන කරනවා. යම් අවස්ථාවක තමන්ට ඒවා නොලැබෙන බව දැනගත් විට මව්පියන් නිවසින් එළියට ඇද දමනවා. එවැනි දේ අද මේ රටේ සිදුවෙනවා. ඒ නිසා මේ ලෝභ නැතිකම ශ්‍රේෂ්ඨ දහම් පදයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘අව්‍යාපාදො භික්ඛවේ ධම්මපදං’ නොකිපෙන බව දහම් පදයක්. එය අග්‍ර බව දැනගත යුතුයි. බොහෝ කල් පැවති දෙයක් බව දැනගත යුතු යි. බුදුරජාණන් වහන්සේ ආදී උතුමන්ගේ පරම්පරාවට අයිති දෙයක්. පෞරාණික දෙයක්. සංකීර්ණ නොවන දෙයක්. පෙර බුදුරජාණන් වහන්සේලා විසිනුත් බැහැර නොකරන ලද දෙයක්. මෙකල්හිත් බැහැර නොකරන දෙයක්. අනාගතයේ පහළවන බුදුරජාණන් වහන්සේලා විසිනුත් බැහැර නොකරනු ලබන දෙයක්. නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නින්දා නොකරන ලද දෙයක්.

වර්තමානයේ සෑම කෙනෙකුටම පාහේ බලපාන ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා ‘කිපෙන සුළු බව‘. බෝධිසත්වයන් වහන්සේගේ බෝධි සත්ත්ව කතා පිළිබඳ විමර්ෂණය කරන විට මුළු සසර පුරාම ඉවසීම මනා කොට පුරුදු පුහුණු කළ බව අපට මනාව පැහැදිලි වෙනවා.

බෝධිසත්වයන් වහන්සේ තාපසයෙක් ලෙස සිටි ආත්මයක දී කලාබු නමැති රජු බොහෝ හිරිහැර කර උන්වහන්සේ ඝාතනය කළා. නමුත් උන්වහන්සේ කිපෙන්නේ නැතිව සිටි නිසා මරණින් පසු සුගතියේ උපත ලැබුවා. නමුත් කලාබු රජුට නිරයට යන්නට සිදුවුණා. ඒ නිසා නොකිපෙනසුළු බව ධර්ම පදයක් ලෙසට බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් දහම් පදයක් පිළිබඳව දේශනා කරනවා. ‘සම්මා සතිය’ එය අග්‍ර බව දැනගත යුතුයි. මනා සිහියෙන් කටයුතු කරන පුද්ගලයා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨානයේ ජීවත් වෙයි. බොහෝ කල් පවතින දෙයක් බව දැනගත යුතුයි. එමෙන් බුදුරජාණන් වහන්සේ ආදී උත්තමයන්ගේ පරම්පරාවට අයිති දෙයක්. එමෙන්ම පෞරාණික දෙයක්. සංකීර්ණ නොවන දෙයක්. පෙර බුදුරජාණන් වහන්සේලා විසින් බැහැර නොකළ දෙයක්. මෙකල්හි ද බැහැර කරන්නේ නැති දෙයක්. අනාගතයේ පහළවන බුදුරජාණන් වහන්සේලා විසිනුත් බැහැර නොකරන දෙයක්. නුවණැති බ්‍රාහ්මණයින් විසින් නින්දා නොකරන ලද දෙයක්.

හතරවැනි දහම් පදය ලෙසට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සම්මා සමාධිය. මෙය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තිබෙන උදාර අංගයක්. සම්මා සතියෙන් සිටින පුද්ගලයාට සම්මා සමාධිය ලබාගන්නට පුළුවන්. එය අග්‍ර බව දැනගත යුතුයි. කල් පවතින දෙයක් බව දැනගත යුතුයි. බුදුරජාණන් වහන්සේ ආදී උත්තමයන්ගේ පරම්පරාවට අයිති දෙයක්. පෞරාණික දෙයක්. සංකීර්ණ නොවන දෙයක්. අතීත බුදුවරයන් වහන්සේලා විසින් බැහැර නොකළ දෙයක්. මෙකල්හි ද බැහැර කරන්නේ නැති දෙයක්. අනාගතයේ පහළවන බුදුරජාණන් වහන්සේලා විසිනුත් බැහැර නොකරන දෙයක්. නුවණැති බ්‍රාහ්මණයින් විසින් නින්දා නොකරන ලද දෙයක්.

ඉහතින් දේශනා කරන ලද ලෝභ නැති බව, කිපෙන්නේ නැති බව, මනා සිහියෙන් යුක්තව, ඒකාග්‍ර සිතින් යුක්තව තමා තුළ මනාව සමාධි සිතක් පවත්වා ගැනීම යන කරුණු අග්‍ර බව දැනගෙන ඒවා අපේ ජීවිතවලට ඇතුළත් කර ගැනීමට උත්සාහ ගන්නට ඕනෑ. මේ කරුණු හතර අපේ ලෞකික ජීවිතයටත්, ලෝකෝත්තර ජීවිතයටත් යහපත පිණිස පවතිනවා. ඒ නිසා ඔබත් මේ උදාර දහම් පද හතර දියුණු කරගෙන මෙලොව ජීවිතය යහපත් කරගැනීමටත්, පරලොව ජීවිතය සුගතිගාමී කරගැනීමටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමටත් උනන්දු වන්න. තෙරුවන් සරණයි.