Print this Article


මිලින්ද ප්‍රශ්නය 07 : මිළිඳු රජුගේ වීමංසන ප්‍රශ්නය

මිළිඳු රජුගේ වීමංසන ප්‍රශ්නය

මිළිඳු රජතුමා නාගසේන මහ රහතන් වහන්සේගෙන් මෙසේ ඇසුවේ ය. “ස්වාමීනි, නාගසේනයන් වහන්ස, මා සමඟ තවදුරටත් කතා බස් කරන්නහු ද? “ එවිට තෙරුන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක.

“ඉදින් මහරජාණෙනි, ඔබ නුවණින් යුක්ත වූ කෙනෙකු සේ මා සමඟ කතා කරන්නේ නම්, මම ද කතා කරන්නෙමි. නමුත් මහරජාණෙනි, දේශපාලකයෙකු සේ මා සමඟ කතා කළහොත් මම කතා නො කරන්නෙමි”.

“ස්වාමීනි, නාගසේනයන් වහන්ස, නුවණැත්තෝ කෙසේ කතා කරත් ද?” කියා රජු යළි විමසී ය . එවිට තෙරුන් වහන්සේ නුවණැත්තන් කතා බස් කරන ආකාරය රජතුමාට මෙසේ පහදා දුන් සේක.

“මහරජාණෙනි, නුවණැත්තන්ගේ කතාබහ තුළින් කරුණු වෙළීමක් කරනු ලැබේ. වෙළුණු කරුණු ලිහා දැමීමත් කරනු ලැබේ. එයට පිළියම් යෙදීමක් කරනු ලැබේ. නිසැක බවක් ඇතිකරනු ලැබේ. කරුණු සහිතව නිසැක බව ඇතිකරනු ලැබේ. ඒ හේතුවෙන් නුවණැත්තෝ කිසිසේත් කෝප නො වෙති. මහරජාණෙනි, ඔය අයුරිනුයි නුවණැත්තන් කතාබහ කරන්නේ”

එවිට මිළිඳු රජතුමා යළිත් මෙසේ ඇසුවේ ය.

“එසේ වී නම් ස්වාමීනි, රජවරු කෙසේ කතාබහ කරත් ද? මහරජාණනි, රජවරු කතාබහ කරද්දී එක කරුණක් ප්‍රතිඥා දෙති. යමෙක් ඒ කරුණට එරෙහි වූ දෙයක් කළහොත් “මොහුට දඬුවම් දේ” කියා ඔහුට දඬුවම් පමුණුවති. මහරජාණෙනි. රජවරු කතාබහ කරන්නේ ඔය ආකාරයට යි.”

තෙරුන් වහන්සේ පිළිතුරු දුන් සේක.

“ස්වාමීනි, මම නුවණැත්තන් විසින් කරනු ලබන කතාබහ කරමි. දේශපාලකයන් කතාබහ කරන අයුරින් නොවෙයි. නාගසේනයන් වහන්සේ, භික්ෂුවක් සමඟ හෝ සාමණේරයන් සමඟ හෝ උපාසකයෙකු සමඟ හෝ ආරාමිකයෙකු සමඟ හෝ යම් අයුරකින් කතාබහ කරන සේක් ද? මා සමඟ ද එසේ විශ්වාසයෙන් යුතුව කතාබහ කරත්වා ! ඔබ වහන්සේ විශ්වාසයෙන් යුතුව කතාබහ කරන සේක්වා ! භය නො වෙත්වා කියා මිළිඳු රජු පැවසී ය.

මිළිඳු රජු ඉන්පසුව “ස්වාමීනි, නාගසේනයන් වහන්ස, කාරණාවක් විමසන්න ද? යි ඇසී ය. “මහරජාණෙනි විමසුව මැනව“ කියා තෙරුන් වහන්සේ වදාළහ. ස්වාමීනි මා විසින් විමසන ලද්දේ ය. කියා රජු පැවසී ය. තෙරුන් වහන්සේ ද “ මහරජාණනි, මා විසින් ද විසඳන ලද්දේ ය.” “ස්වාමීනි, ඔබ වහන්සේ විසඳන ලද්දේ කුමක්ද? මහ රජාණනි, ඔබ විසින් අසන ලද්දේ කුමක් ද?” කියා තෙරුන් වහන්සේ ඉතා බුද්ධිමත් ලෙස සංවාදය මෙහෙය වූ සේක.

එ කල්හි මිළිඳු රජුට මේ අදහස ඇතිවිය. “මේ භික්ෂූන් වහන්සේ ප්‍රඥා සම්පන්න වන සේක. මා සමඟ කතාබස් කිරීමෙහිලා ප්‍රතිබල සම්පන්න වන සේක. මා විසින් විමසිය යුතු බොහෝ දේ ඇත්තේ ය. යම්තාක් නො විමසූ දේ ඇද්ද,ඒවා විමසන්නටත් අවස්ථාවක් ලැබෙන්නේ ය. නමුත් දැන් හිරු අවරට යයි. ඒ නිසා හෙට ඇතුළුරජ මාලිගයේ දී මා කතාබහ කිරීම කළ යුත්තේ ය’ යනුවෙනි. ඉන්පසු මිලිඳුරජු දේවමන්ත්‍රී අමාත්‍යයා අමතා” එසේ වී නම් දේවමන්ත්‍රීනි, හෙට ඇතුළු රජගෙයි දී රජු සමඟ කතාබහ කිරීම සිදුවන්නේ ය කියා තෙරුන් වහන්සේට දැනුම් දීම හොඳයි” යනුවෙන් පැවැසී ය. “ස්වාමීනි, ඔබවහන්සේ හෙට රජගෙයි දී මිළිඳු රජු සමඟ තවදුරටත් කතාබහ කිරීම සිදුවන්නේ ය.” කියා දැනුවත් කළ විට ‘යහපතැයි” කියා තෙරුන් වහන්සේ ද අනුමත කළ සේක. ඉන්පසු ඒ රාත්‍රිය ඇවෑමෙන් දේවමන්ත්‍රි ද, අනන්තකාය ද, මංකුර ද, සබ්බදින්න ද යන අමාත්‍යවරු මිළිඳු රජු වෙත පැමිණියාහු ය. “මහරජාණන් වහන්ස, නාගසේනයන් වහන්සේ වඩමවන්න ද?” යි විමසූ විට “එසේය, උන්වහන්සේ වඩිත්වා ! “අපගේ නාගසේන තෙරුන් වහන්සේ භික්ෂූන් වහන්සේ යම්තාක් කැමති වන්නේ ද, ඒ සියලු භික්ෂූන් සමඟ වඩිත්වා” කියා රජතුමා පිළිතුරු දුන්නේ ය.

ඉන්පසු දේවමන්ත්‍රී ද, අනන්තකාය ද, මංකුර ද නාගසේනයන් වහන්සේ වෙත පැමිණියාහු ය. පැමිණ නාගසේන තෙරුන් වහන්සේට මෙසේ පැවසූහ. “ස්වාමීනි , මිළිඳු රජතුමා මෙසේ පවසයි. අපගේ නාගසේන තෙරුන් වහන්සේ භික්ෂූන් වහන්සේ යම්තාක් කැමැත්තහු ද, ඒ සියලු භික්ෂූන් ද සමඟ වඩිත්වා! “ කියා යි. එවිට නාගසේනයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා පාත්‍රය ගෙන අසූ දහසක් භික්ෂූන් වහන්සේ සමඟ සාගල නුවරට වැඩි සේක. ඉක්බිති අනන්තකාය ඇමතිතුමා නාගසේනයන් වහන්සේ සමඟ ගමන් කරමින් මෙසේ ඇසුවේ ය. “ස්වාමීනි, නාගසේනයන් වහන්ස, “නාගසේන” යන නමින් යමක් පැවැසූ සේක්ද, එහිලා “නාගසේන” කවරහු ද? තෙරුන් වහන්සේ පෙරළා මෙසේ ඇසු සේක. “මෙහිලා නාගසේන යනු කවරෙක් කියාද ඔබ අදහස් කරන්නේ?” “ස්වාමීනි” අභ්‍යන්තරයේ යම් වාතයක්, ජීවයක් පිවිසෙයි ද, නික්මෙයිද ,අභ්‍යන්තරයේ යම් වාතයක්, ජීවයක් පිවිසෙයි ද, නික්මෙයි ද මා නාගසේන යනුවෙන් අදහස් කරන්නේ එම වාතය යි. එම ජීවය යි. “එසේ නම් ඒ වාතය එළියට ගොස් යළි ඇතුළට නො පැමිණියොත් ඒ පුරුෂයා ජීවත් වන්නේ ද?” නැත ස්වාමීනි”

“ඉදින් මේ සක් පිඹින්නෝ, බටනළා පිඹින්නෝ, අංවලින් පිඹින්නෝ, සක් පිඹිද්දී, බටනළා පිඹිද්දී, අංවලින් පිඹිද්දී වාතය පිට කරති. ඔවුන්ගේ ඒ වාතය යළි ඇතුළට පිවිසෙන්නේ ද? “නැත ස්වාමීනි” “එසේනම් කුමන කරුණක් හේතුවෙන් ද ඔවුන් නො මැරී සිටින්නේ?” “අනේ ස්වාමීනි, මම ඔබවහන්සේ වැනි කෙනෙකුන් සමඟ කතාබහ කරන්නට ප්‍රතිබල ඇති කෙනෙක් නොවෙමි. ස්වාමීනි, මේ ගැටලුව විසඳන සේක්වා!

“මේ ශරීරයෙහි ජීවය හෙවත් ආත්මය කියා දෙයක් නැත. ආශ්වාස ප්‍රශ්වාස නම් වූ කාය සංස්කාරයක් පමණ හෝ මෙහි පවතී “යි පැවැසූ තෙරුන් වහන්සේ ගැඹුරු ධර්මය පැවසු සේක. එවිට අනන්තකාය ඇමතිතුමා උපාසක බවට ප්‍රතිඥා දුන්නේ ය.