Print this Article


කොත් වහන්සේ නිරාවරණය කෙරෙන නුගවෙල උයන්වත්ත ශ්‍රී දේවානන්ද විහාරය

කොත් වහන්සේ නිරාවරණය කෙරෙන
නුගවෙල උයන්වත්ත ශ්‍රී දේවානන්ද විහාරය

නුගවෙල උයන්වත්ත ශ්‍රී දේවානන්ද විහාරයේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා සහ ත්‍රිපිටකාගත ධර්ම කොටස් තැන්පත්කොට රුපියල් හැට ලක්ෂයක් පමණ වැයකර සියලු චෛත්‍යාංගයන්ගෙන් සමලංකෘතව ඉදිකළ සෑය ධම්ම නිකේතන චෛත්‍ය රාජයාණන් වහන්සේ නම් වේ. භූ විෂමතා ලක්ෂණ නිසා සෑ මළුව නිර්මාණය කිරීමට රුපියල් ලක්ෂ 30 ක් පමණ වැය වී ඇත.

දෙවන අදියර වූ චෛත්‍ය නිර්මාණය කිරීමට ද තවත් රුපියල් ලක්ෂ 30 ක් පමණ වැය වී ඇත.

එම මුදල සොයා ගැනීම තරමක අභියෝගයක් වූ අතර එය මීගමුව රජයේ මහ රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍ය අතුල ප්‍රනාන්දු මැතිතුමා එහි සම්පූර්ණ දායකත්වය දරන ලදී. පිඟන් ගඩොල් ඇතිරීම , බිතුසිතුවම් ඇඳීම, විදුලි ආලෝකය සම්පාදනය කිරීම යන අධික මුදලක් වැයවන අංග ද එම ප්‍රනාන්දු පවුලේ සහ හේමපාල පවුලේ දෙපිරිසගේ නොමසුරු දායකත්වයෙන් සිදුවිය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික අධ්‍යක්ෂකවරයෙකු වන සිරිල් ප්‍රේමතිලක මහතා රුපියල් ලක්ෂ 15 කට ආසන්න මුදලක් වැය කර අභිනව ධර්ම ශාලාවේ බිම් මහල ඉදිකිරීම ද තවත් සුවිශේෂී පරිත්‍යාගයක් බව පුණ්‍යානුමෝදනා පූර්වකව සඳහන් කරමු. මාලගම්මන චන්ද්‍රජෝති නා හිමිපාණන් වහන්සේ විසින් තම පෞද්ගලික මුදලින් 1969 දී මිල දී ගෙන ආරම්භ කළ මෙම විහාරස්ථානයට වර්ෂ 50 ක් සම්පූර්ණ වන මෙම යුගයේ දී පරිත්‍යාගශීලි සහයෝගයන් නිසා කෙටි කලකින් වඩාත් රමණීය පින් බිමක් නිර්මාණය කිරීමට හැකි විය.

නුගවෙල උයන්වත්ත ශ්‍රී දේවානන්ද විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද ධම්මනිකේතන, චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය මෙම 12 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වේ.

මෙම 12 වන දින පෙරවරුවේ කොත් වහන්සේ නිරාවරණය කිරීම මීගමුව රජයේ මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය අතුල ප්‍රනාන්දු මහතා ප්‍රධාන එම පවුලේ ඥාතීන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරේ. බිනර පුරපසළොස්වක පෝ දින පෙරවරු 7.30 ට තායිලන්තයේ සිට වැඩම කරවන ලද අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා නුගවෙල 5 කණුව මංසන්ධිය අසල පිහිටි වෛද්‍ය පි‍්‍රයන්ත හේවගේ මහතාගේ නිවසේ සිට විහාරස්ථානය වෙත පෙරහරින් වැඩම කෙරේ.8.45 ධාතු කරඬුව සහිත සම්බුද්ධ ප්‍රතිමා වහන්සේලා චෛත්‍ය ගර්භයෙහි තැන්පත් කිරීම ද, 9.00 ට දහම් හමුව ආරම්භ කිරීම ද සිදුවේ. එහි මූලාසනය උඩරට අමරපුර මහානිකායේ අධිකරණ සංඝනායක ධුරන්ධර මහෝපාධ්‍යය ශාස්ත්‍රපති වටගොඩ විජිත නාහිමියන් විසින් හොබවනු ලැබේ.

පෙරවරු 10.20 අටවිසි බුදුරජාණන් වහන්සේලා විෂයයෙහි ක්ෂීර පායාස මංගල බුද්ධ පූජාව සිදුකිරීම මධ්‍යම හා තදනුබද්ධ ප්‍රදේශයන්හි ද්විතීය සංඝ නායක කම්මට්ඨානාචාර්ය හිඟුල්වල ඤාණාලෝක නාහිමිපාණන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබේ.

පස්වරු 5.30 ට ගිලන්පස බුද්ධ පූජාව රැගත් පෙරහර 4 කණුව මන්සන්ධියේ සිට ආරම්භ වේ. 6.30 ට අටවිසි ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වෙන අතර 14 වනදා රාත්‍රී 6.30 ට ගිලන්පස බුද්ධ පූජාව සහ බෝධිපූජාව පැවැත්වේ. රාත්‍රී 9.30 ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කෙරේ.

මෙම 15 වනදා පෙරවරු 6.30 ට හීල දානය පිරිනැමීම ද, 10.45 ට දවල් බුද්ධ පූජාව පැවැත්වීම ද සිදු කෙරේ.පෙරවරු 11.00 ට අර්ධ ශතාධික මහා සංඝ රත්නය විෂයයෙහි සඟසතු මහා දානය පිරිනැමේ.

උයන්වත්ත ශ්‍රී දේවානන්ද විහාරය ආරම්භ කොට 2019 වර්ෂයට වසර 50 ක් සම්පූර්ණවීමත්, එහි නිර්මාතෘ වර උඩරට අමරපුර මහා නිකායේ මධ්‍යම හා තදනුබද්ධ ප්‍රදේශයන්හි ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත මාලගම්මන චන්ද්‍රජෝත්‍යාභිධාන මාහිමිපාණන් වහන්සේ අපවත් වී වසර 05 ක් සම්පූර්ණවීමත් නිමිති කරගෙන උන්වහන්සේගේ ගුණානුස්මරණය කොට පින් අනුමෝදන් කිරීමත් මීට සමගාමීව සිදුකෙරේ.