Print this Article


ගවේෂණාත්මක සංචාරය දඹදිව නාග්පූර් වෙත ගිය වගයි

ගවේෂණාත්මක සංචාරය:

දඹදිව නාග්පූර් වෙත ගිය වගයි

කාවන්තිස්ස රජුගේ සොහොයුරිය, වූ සෝමවතී දේවිය කැලණිතිස්ස රජුගේ බෑණනුවන් වූ අභය කුමරා සමඟ විවාහ වීමෙන් පසුව ගිරි ජනපදයට පදිංචියට පැමිණියේ ය.

මෙම යුවළට දාව උපන් කුමරිය ස්වර්ණමාලී කුමරිය නම් විය. මෙසේ කලක් ගත වූ පසු සෝමවතී දේවිය ගිරි ජනපදය තම දියණියට පවරා දී, අභය කුමරුන් සමඟ තම සීයා වන මහානාග කුමරු විසින් ඉදිකළ නාග විහාරය ප්‍රදේශයට යාමට සිතා ගත්තා ය.

තම අදහස අභය කුමරුට දැන්වීමෙන් පසු දෙදෙනා විසින් නාග විහාරය ප්‍රදේශයට ගොස් සෝම නගරය පිහිටුවා ගනු ලැබී ය. සෝම නගරය ජනාකීර්ණ වී, කෙත් වතු සරු වී සශ්‍රීක ප්‍රදේශයක් බවට පත් කර ගැනීමෙන් පසු සෝමවතී දේවියට තම සීයා වන මහානාග කුමරා ඉදිකළ නාග විහාරයේ සුවිසල් චෛත්‍යයක් ගොඩ නැගීමට දැඩි ආශාවක් ඇති විය. මේ වන විට නාග විහාරයේ මිහිඳු හිමියන් ඇතුළු සිල්වත් භික්ෂූන් වහන්සේලා හැට නමක් වැඩ වාසය කළෝ ය. මේ මිහිඳු හිමියන් යනු ලක්දිව සම්බුද්ධ ශාසනය පිහිටවූ මහා මිහිඳු හිමියන්ගේ තුන්වන පරම්පරාවේ හිමි නමකි. මිහිඳු හිමියන්ගේ ආශිර්වාදය මැද සෝමවතී චෛත්‍ය රාජයා ගොඩනගනු ලැබූවත්, මෙම චෛත්‍ය රාජයා තුළ තැන්පත් කිරීමට ධාතූන් වහන්සේ නමක් සොයා ගැනීම අසීරු විය. අවසානයේ සෝමවතී දේවිය මේ පිළිබඳව මිහිඳු හිමියන්ට දැනුම් දුන්නා ය. මේ වන විට ඉතිහාසයේ සඳහන් වන අන්දමට නාග ලෝකයට වැඩම කර වූ බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ දළදාවහන්සේ මිහිඳු හිමියන් ළඟ ඉතා ආරක්ෂිතව වැඩ වාසය කළහ. මිහිඳු හිමියෝ මෙම දක්ෂිණ දළදාවහන්සේ සෝමවතී චෛත්‍යය රාජයාණන් තුළ තැන්පත් කිරීමට, සෝමවතී දේවියට භාර කළහ.

සෝමවතී චෛත්‍යය රාජයාණන්ගේ වැඩ කටයුතු නිමවීමෙන් පසු දළදා වහන්සේගෙන් විහිදුනු රශ්මි මාලාව දැක සෝමවතී දේවිය ඇතුළු බෞද්ධ සැදැහැවතුන් පී‍්‍රති ප්‍රමෝදයට පත්විය. බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඉපිල ගියෝ ය. සෝම ජනපදය පමණක් නොව අවට ප්‍රදේශවල සැදැහැවත් බෞද්ධයන්ගේ පවා වැඳුම් පිදුම් කරන ස්ථානයක් බවට පත් විය. සුදෝ සුදු චෛත්‍ය රාජයාණන් අසල සිල් සමාදන් වූ සැදැහැවතුන් නිරන්තරයෙන් දැක ගැනීමට හැකිවිය.

එහෙත් පොළොන්නරු යුගයේ දී කාලිංඝ මාඝ චන්ද්‍රභානු විසින් මුළු උතුරුකරය ම ආක්‍රමණය කිරීමෙන් පසු බෞද්ධ සිද්ධස්ථාන ද විනාශ කර දැමී ය. සෝමවතී චෛත්‍ය රාජයා ද , දක්ෂිණ දළදාවත් සමඟ කැලයෙන් වැසී ගියේ ය. විශාල තුරු ලතාවලින් ගහණව, මහා වනය මැද , ආරක්ෂාකාරී ලෙස වැඩ වාසය කළහ.

මහමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමා මෙම ජන ශූන්‍ය වූ ප්‍රදේශවල නැවතත් ගොවි ජනපද ඇති කිරීමට පටන් ගත්තේ ය. තම තමන්ට බෙදා දුන් ඉඩම්වල ගොවීහු බව බෝග වගා කිරීමට පටන් ගත්හ. ක්‍රමයෙන් කැලෑ හෙලි පෙහෙළි විය. වනාන්තරයේ ඈත ප්‍රදේශයකින් රාත්‍රී කාලයේ නිරන්තරයෙන් ඇසෙන බෙර වාදනයක් ගැන ගැමියෝ විමසිලිමත් වූ හ. මෙම බෙරහඬ සමඟ සමහර වේලාවට ආලෝක කදම්භයක් පිටවන අවස්ථා ද විය. මෙම හඬ ඔස්සේ ගිය මිනිසුන්ට චෛත්‍යයක නටබුන් දැක ගැනීමට හැකි විය. මෙයින් ඉමහත් පී‍්‍රතියට පත් වූ ජනයා මේ පිළිබඳව දැනුම් දුන්නේ මල්වතු මහා විහාරය ට ය. එවකට මල්වතු මහා විහාරයේ වැඩ සිටි සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමි සහ පහමුණේ ශ්‍රී ගුණානන්ද අනු නා හිමි මේ පිළිබඳ සොයා බැලීමට සෝමවතී ප්‍රදේශයට වැඩම කළහ. මෙය සෝමවතී චෛත්‍යය රාජයාණන් බව දැන 1966 දී මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරනු ලැබී ය. එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ව සිටි ඩඩ්ලි සේනානායක මැතිතුමා විසින් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුල්ගල තබනු ලැබී ය. 1981 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන් විසින් කොත් පැළඳීමෙන් පසු නැවතත් සෝමවතී චෛත්‍යරාජයා බෞද්ධ සැදැහැවතුන්ගේ වැඳුම් පිදුම් කරන ස්ථානයක් බවට පත්විය. සෝමවතියට යන මාර්ග ද ක්‍රමයෙන් ප්‍රතිසංස්කරණය විය. එහෙත් ටික කාලයක් ගතවන විට නැවතත් සෝමවතී ප්‍රදේශය කොටි ත්‍රස්තවාදීන්ගේ ආක්‍රමණයට ලක්විය. බෞද්ධ, මුස්ලිම් සියලු දෙනා ගම්බිම් අතහැර, ආරක්ෂිත ප්‍රදේශකරා පළා ගියෝ ය. සෝමවතී චෛත්‍ය රාජයාණන් නැවතත් කැළයෙන් වැසී ගියේ ය.

එහෙත් පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් තුළ සෝමවතිය නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ දැඩි අදිටනක් ඇති විය. මේ වන විට සෝමවතිය ප්‍රදේශය පැවතියේ කොටි ග්‍රහණය යටතේ ය. උන් වහන්සේ ඉතා නිර්භීතව, දිවි පරදුවට තබා, රජයේ උදව් උපකාර ද ලබා ගනිමින් නැවතත් සෝමවතී චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැඩම කළ හ. දකුණු දළදා වහන්සේගේ ආරක්ෂාව උන්වහන්සේට නොමදව ලැබිණ. නොයෙකුත් අයගේ තාඩන පීඩන මධ්‍යයේ වුව ද සෝමවතිය වර්තමානයේ පවතින තත්වයට ගෙන ඒමට නාහිමියෝ ඉමහත් වෙහෙසක් දැරූහ. සමහර නිලධාරීන් පවා උදව් උපකාර කිරීම වෙනුවට කළේ නොයෙකුත් කරදර හිරිහැර කිරීමයි. සෝමවතී චෛත්‍ය රාජයා ප්‍රතිසංස්කරණය කිරීමේ මේ උතුම් වූ කාර්යයේ නියැළෙන විට සමහර නිලධාරීන් සුමංගල නා හිමි හිරේ විලංගුවේ දැමීමට පවා උත්සාහ කළහ. ඔවුන් එසේ කළේ දක්ෂිණ දළදාවේ ඇති බල මහිමය ගැන නොදැන ය.

නාග ලෝකයෙන් ලැබුණ මේ දළදා වහන්සේ කලින් වැඩ සිටියේ කොතැනක ද යන්න සොයා යෑමේ අධිෂ්ඨානයක් අප නාහිමියන්ට ඇති වී තිබුණි. යම් අදහසක් ඇති වූ විට අවසානය දක්වා ඒ ඔස්සේ ගොස් එහි ප්‍රතිඵල ලබාගැනීම උන් වහන්සේගේ චරිත ලක්ෂණයකි. මේ පිළිබඳව කතිකාවතක් ඇතිකරගෙන දළදා වහන්සේ ලැබුණු ආකාරය සොයා බලමින් සිටින අවස්ථාවක ඉතාමත් අපූරු සිදුවීමක් සිදුවිය.

සාංචි විහාරාධිපති දේදුනුපිටියේ සෝමරතන නා හිමියන් ඉන්දියාවේ මහාරාෂ්ඨ්‍ර ප්‍රාන්තයේ නාග්පූර්හි බෞද්ධ සැදැහැවතුන් කිහිපදෙනෙක් සමඟ දළදා වන්දනාවට පැමිණ සෝමවතී චෛත්‍යය රාජයාණන් වැඳපුදා ගැනීමට ද පැමිණියහ. මෙම බෞද්ධ සැදැහැවතුන් පිරිස පවසා සිටියේ බුදුන්ගේ දක්ෂිණ දළදාව කලින් වැඩ සිටියේ නාග්පූර්හි “පවුනි” ප්‍රදේශයේ බැව් තම මුතුන් මිත්තන්ගෙන් දැනගෙන සිටි බවයි.එසේනම් මේ නාග්පූර් නගරයට ගොස් මේ පිළිබඳව සොයා බැලීමට නාහිමියෝ අදිටන් කොට ගත්හ. ඒ අනුව 2019 ජූලි 23 වන දින නාග්පූර් බලා යාමට ආරම්භ විය. මහා භාරතයේ ප්‍රධාන සංඝනායක ඉන්දීය මහාබෝධි සමාගමේ ප්‍රධාන ලේකම් ආචාර්ය පැලවත්තේ ශ්‍රී සීවලී නාහිමියන් අපට මේ පිළිබඳව උදව් උපකාර කිරීම විශාල පිටුවහලක් විය.උන්වහන්සේ පිරිසක් කල්තියා සූදානම් කර නාග්පූර්වලට එවා තිබුණි. ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් සහ සෝමවතී විහාර වාසී තලකොළ වැවේ මේධානන්ද හිමියන් සමඟ මම ද මේ ගමනට පිටත් වීමි. පළමුවෙන් අපි චෙන්නායි ගුවන්තොටුපළට පැමිණ එතැන් සිට නැවතත් වෙනත් ගුවන් යානයකින් නාග්පූර් හි අම්බෙට්කාර් ගුවන් තොටු පළට ළඟා වුණෙමි. එදින රාත්‍රියේ නාග්පූර් හෝටලයක ලැගුම් ගෙන පසුදින උදෑසන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ “භාණ්ඩාර” දිස්ත්‍රික්කයේ පවුනි නම් ප්‍රදේශයේ පිහිටා ඇති ජගතනාත් විහාරය සොයා පිටත්ව ගියෙමු.

කෙත්වතු ලඳු කැලෑ , වගාභූමි පසුකර කි.මී. 75 ක් පමණ ගියපසු දර්ශනීය වැවක් අසල ජගතනාත් විහාරය දැකගැනීමට හැකිවිය. මෙයට වසර 2500 කට පමණ පෙර බුදුරදුන් පිරිනිවන් පෑමෙන් පසු බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ දළදා වහන්සේ තැන්පත් කර ගොඩනැගූ බෞද්ධ විහාරයක් බැව් ඉතිහාසයේ සඳහන්ව ඇත. ජනප්‍රවාදවල හා යම් යම් මූලාශ්‍රවල මේ බවට සාක්ෂි ඇත. දැනට එම නටබුන් මත හින්දු කෝවිලක් ඉඳිකොට ඇති අයුරු දැක ගත හැකි ය. මෙම ස්ථානයේ පුරා විද්‍යා භාරකරු වශයෙන් සිටින්නේ සුරේශ් පේමචන්ද්‍රන් නැමති මහත්මයෙකි. ඔහු දැනට 68 වෙනි වියෙහි පසුවෙයි. මේ ප්‍රදේශය පිළිබදව ඉතිහාස තතු බොහොමයක් ඔහු සතුව ඇත. අප සැම ඉතා සුහදව පිළිගත් ඔහු තමන් දන්නා කරුණු මෙසේ පවසා සිටියේ ය.

“මගේ පියාත්, පියාගේ පියාත් මෙම ප්‍රදේශයේ පාරම්පරික ගොවියෝ ය. අපගේ ප්‍රධාන ජීවිකාව වූයේ ගොවිතැනයි. කුඩා කාලයේ මා සීයාත් සමඟ මෙම ප්‍රදේශය හරහා වැවට ගිය හැටි මගේ මතකයේ ඇත. මෙහි දිස්වෙන නටබුන් බෞද්ධ පන්සලක් තිබූ තැනක් බව සීයා මට පවසා තිබුණා. දිනක් මගේ සීයාට මෙම ස්ථානය අසල ගසක් කපා උදුරන විට තඹ පතක් ලැබී තිබුණා. එය කුමක්දැයි සීයා දැන සිටියේ නැහැ. පසු කාලයක එම තඹ පතේ බුදුරජුන්ගේ දකුණු දළදාව තැන්පත් කොට ඇති බව සඳහන්ව තිබූ බව දැන ගැනීමට ලැබුණා. අප කුඩා කාලයේ වාසුදේවන් නැමති වෛද්‍යවරයෙකු මෙම ප්‍රදේශයේ සේවයට පැමිණියා. මේ දොස්තර මහතා මේ නටබුන් ප්‍රදේශය ගැන අසා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට කිහිප විටක් දැනුම් දී තිබුණා. ඒ අනුව 1969- 1971 කාලයේ මෙම පවුනි ප්‍රදේශයේ කැනීම් කටයුතු කිරීමට පටන් ගත්තා. පුරා විද්‍යාවට සම්බන්ධ පෞරාණික දේ හුඟක් හම්බවුණා.” යයි සුරේශ් පේමචන්ද්‍රන් අප සමඟ කියා සිටියේ ය.

ඒ විස්තර අනුව වැඩිදුරටත් සොයා බැලීමේ දී ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙම කැණීම් කටයුතු පිළිබඳ සවිස්තර විස්තර ඇතුළත් පවුනි නමින් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත්කොට ඇති බව දැන ගැනීමට ලැබුණා. එම ග්‍රන්ථයේ පිටපතක් ත්‍යාගයක් වශයෙන් අප නා හිමියන්ට ද ප්‍රදානය කරනු ලැබුවා.මෙම ජගතනාත් විහාරය පිහිටා ඇත්තේ ගඟක ස්වරූපය ගත් වැවේ පහළ කොටසේ ය. මෙම වැව ඉහළ කොටසේ පදිංචිව සිට ඇත්තේ හින්දු භක්තිකයන් ය. ධර්මාශෝක රජතුමා මුළු භාරතය පුරා බෞද්ධ සිද්ධස්ථාන අසූ හාරදහසක් පිහිට වූ බැව් ඉතිහාසයේ සඳහන් වේ. මෙම ජගතනාත් විහාරය ඔහු විසින් ප්‍රතිසංස්කරණය කළ එකකි. මෙම බොහොමයක් බෞද්ධ සිද්ධස්ථානවලට නම යොදා තිබුණේ ජගතනාථ නමින් ය. එයට ප්‍රධාන හේතුව වූයේ ජගත් නාථ යනු බුදුන්ට කියන තවත් නමක් නිසා ය. හින්දුවරු සහ බෞද්ධයින් අතර ඇතිවුණ ගැටුම්වල දී හින්දුවරු බලවත් වූ අවස්ථාවල බෞද්ධයින්ට පසුබා යාමට සිදුවී ඇත. වසර 2200 කට පමණ ඉහත ඇති වූ ගැටුම්වලදී බෞද්ධ ජනතාව මෙම ප්‍රදේශවලින් ඉවත්ව ගොස් ඇති අතර දක්ෂිණ දළදා වහන්සේගේ ආරක්ෂාව පතා දළදා වහන්සේ සිරිලකට වැඩම කරවන්නට යෙදුන බැව් සිතා ගැනීමට හැකි ය.

ජනප්‍රවාදයේ එන කතාවලින් සහ යම් යම් මූලාශ්‍ර වලින් ද දක්ෂිණ දළදා වහන්සේ නාග්පුරයේ තැන්පත් කොට තිබූ බව පැහැදිලි වේ. “ඒකා නාග්පුරේ අහු” යන ගාථාවේ සහ ධාතු වංශය, ජිනකාල මාලී යන ග්‍රන්ථවලින් ද මේ බැව් වැඩිදුරටත් සනාථ වේ. ආචාර්ය අම්බෙට්කාර් තුමා මගින් බුදුන් සරණ ගිය බෞද්ධයන් නැවතත් පවුනි ප්‍රදේශයේ බුද්ධාගම නැවත නගා සිටුවීමට වැඩි වෙහෙසක් ගන්නා බව පෙනේ. මෙම ජගතනාත් විහාරය අසල ඇති වෙනත් ඉඩමක අඩි 45 ක් පමණ උසකින් යුත් රමණීය ප්‍රතිමාවක් ඉදිවෙමින් පවතී. “කයිලාස් ගෝදාවරී” නමැති බෞද්ධ මහත්මයෙක් මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරයි.