Print this Article


නිම් නැති ගුණ ඇති අම්මා : දෙවෙනි බුදුන් මට මගේ අම්මා

දෙවෙනි බුදුන් මට මගේ අම්මා

ගෞරව ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත පූලියද්දේ සුධම්ම ස්වාමීන් වහන්සේ මහනුවර හන්තාන සිරි ධම්මරතන ත්‍රිපිටක ධර්මායතනාධිපතින් වහන්සේ ය. බෞද්ධාරක්ෂක පදනමේ නිර්මාතෘවරයාණන් ය. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ විශේෂයෙන් ළමා මනසට දහම් දෙසන උන්වහන්සේ ව්‍යක්ත ධර්ම දේශකයාණන් වහන්සේ නමකි. සුපේශල, ශික්ෂාකාමී පැවතුම් පූර්ණ පූලියද්දේ සුධම්ම ස්වාමීන් වහන්සේගේ මෑණියන් ගැන කී කතාවයි මේ.

අප ජීවත් වන්නේ දරුවන් මූලික කරගත් සමාජයක. එය මේ මුළු ලෝකයටම පොදුයි. ඒ සමාජයේ සාමාජිකයෙක් වෙන්නට මා ඉපදුණ දවසෙ ම මට දැනුණේ නෑ. හය හතර නොතේරුණ මට මේ ලෝකයේ සුන්දරත්වය ගැන, සමාජ වටපිටාව ගැන කියලා දුන්නේ මගේ අම්මයි, අප්පච්චියි කියලා දැන් මට තේරෙනවා. අම්මගේ, අප්පච්චිගේ හැසිරීම් රටාව, අවවාද, උපදේශ, දඬුවම් මේ හැම දෙයින් ම මා මේ ලෝකය ගැන ඉගෙන ගත්තා.

පුංචි දරුවෙකුට අම්මා තරම් වටිනා මාණික්‍යයක්, සම්පතක් කිසිසේත් ම තිබෙන්නට නොහැකියි. හරියට මට වගේ. මගේ දිවි ගමනේ මා දකින ශ්‍රේෂ්ඨතම කාන්තාව, උපාසිකාව, වීරවරිය මගේ ආදරණීය අම්මා. මට මතකයි, පුංචි කාලයේ මගේ ලෝකයේ වීරවරුන් තුන් දෙනෙක් හිටියා. මම හිතුවේ ‘කවදා හෝ මගේ අම්මා වගේ වෙනවා කියලා. කවදා හෝ තාත්තා වගේ වෙනවා කියලා. තවත් වෙලාවකට මම මගේ ළදරු පාසලේ ගුරුතුමිය වගේ වෙනවා කියලා සිතුවා.

පුංචි කාලේ සිට ම, මගේ අම්මා මා යොමු කළේ වෙනස් චරිතයකට. මට මතකයි, මට නොතේරෙන කාලේ අප ජීවත් වුණේ හන්තාන කඳුවැටියේ සුන්දර තැනක. අපේ නිවහනට උඩින් තිබුණේ මනරම් ගල් වැටියක්. ඒ ගල්වැටියේ, ගල් ලෙනක ලස්සන හාමුදුරු නමක් වැඩ සිටියා. මේ හාමුදුරුවෝ දිනපතා ම අපේ ගෙදරට පිණ්ඩපාතයේ වඩිනවා. අම්මා ඉක්මනින් ම මොනවා හෝ දෙයක් ලෑස්ති කරලා, මගේ අතට දීලා කියනවා, ‘පුතේ, හාමුදුරුවන්ට මේ දානය පූජා කරලා වඳින්න’ කියලා.

පුංචිම කාලයේ දන් දෙන්නට, හාමුදුරුවන් වහන්සේට වන්දනා කරන්නට පුරුදු කිරීම තුළ මගේ ජීවිතයේ ටිකෙන් ටික අලුත් වීරවරයෙක් ගොඩනැඟුණා. ඒ ස්වාමීන් වහන්සේ නමක්, ‘අම්මේ, මගේ අම්මාට බොහොම පින් සිදු වෙනවා. ඒ පුංචි ක්‍රියා කාරකම නිසා අද මේ සම්බුද්ධ ශාසනයේ වටිනා බුද්ධ පුත්‍රයෙක් වෙන්නට ලැබුණේ මගේ රත්තරන් අම්මාගේ මඟ පෙන්වීම නිසයි.’ඒ උතුම් අම්මා තමයි සෙංකඩගල පුරවරයේ හේවාහැට, පූලියද්ද ගම් පියසේ පදිංචි රත්න මැණිකේ කපුකොටුව.

මගේ අම්මා හරිම දක්ෂ කාන්තාවක්. මම එහෙම කියන්නේ මගේ ජීවිතයේ එවන් ක්‍රියාකාරී කෙනෙක් තවමත් හමු නොවුණ නිසා. අම්මා කරන වැඩ කන්දරාව එක හුස්මට කරලා ඉවර කරන්නේ අපට කිසිම වෙනසක් පෙන්වන්නේ නැතිව. අප ආර්ථික මට්ටමෙන් ගොඩක් දියුණු වූ අය නොවෙයි. මගේ පවුලේ සහෝදර සහෝදරියො හතර දෙනයි. නංගිලා දෙන්නයි, මල්ලියි. මම තමයි ගෙදර වැඩිමලා. ඉතින් අප හතර දෙනෙක් හදා වඩා ගන්නට, අපට උගන්වන්නට අම්මාගේ මහන්සිය මතක් වෙනවිට අම්මා වෙනුවෙන් කවදා නම් ණය ගෙවා ඉවර කරන්නදැයි සිතා ගන්නවත් නොහැකියි. මගේ අම්මා, මට මේ මොහොතේ කිව හැකි, කිව නොහැකි බොහෝ දුක් වින්ඳා. හැබැයි ඒ අම්මයි, අප්පච්චියි දෙන්නා අපට නම් කිසිම දුකක් දැනෙන්න දුන්නේ නෑ.

මම ගෙදර වැඩිමලා නිසා මා ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුණා. මට වයස අවුරුදු දෙක හමාරක්, තුනක් වෙන කාලේ කෑම මේසය උඩට නැඟලා, දහරමණ්ඩිය ගොතාගෙන, රෙද්දකින් ඇඟ පොරවාගෙන මොනවදෝ මොනවදෝ කියනවා, හරියට හාමුදුරු කෙනෙක් වගේ කියලා අම්මා කියනවා. මට නම් ඒවා මතක නෑ. මම මහණ වුණාට පස්සේ අම්මා කියන කතාවයි ඒ. එදා නෑදෑයින්ට පුතා ගැන බොහෝ දේ කියනවිට අම්මා හිතන්න නැතිව ඇති කවදාවත් මම මහණවෙයි කියලා. තුන, හතර පහ වසරවලදී මම ඉගෙන ගන්න නැවතිලා හිටියේ අපේ අත්තම්මයි, ලොකු අත්තයි ළඟ. ඒ අම්මයි, තාත්තයි රැකියාවක් කරන නිසයි. හොඳින් ගුණ ධර්ම ඉගෙන ගන්නටත් වෙන්න ඇති අප ව අත්තම්මයි, ලොකු අත්තයි ළඟ නතර කළේ. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වුණේ ලොකු අත්තා, රාත්‍රියේ නින්දට යන මොහොතේ, මා තුරුල් කරගෙන, ලොකු අත්තා පිරිත් දේශනා කළා. කවි කියලා දුන්නා. ජාතක කතා කියලා දුන්නා. ඒ කාරණා මොන තරම් රසවත් ද කියනවා නම්, අද වගේ මතකයි.

වයස අවුරුදු හයේ දී , හතේ දී ඒ පිරිත් ස්වරය කනට වැටෙන විට, වයස අවුරුදු දහයක් වෙන විට මා තීරණය කළා මහණ වෙන්න ඕන කියලා. ඒ වෙනවිටත් මගේ අම්මා ඒ වෙනුවෙන් නො දැනුවත්ව ම ගෙදර පරිසරය හදලා තිබුණා.

උදේ හවස අනිවාර්යයෙන්ම ගෙදර දී බුදුන් වඳින්නට ඕනෑ. ඊට කලින් ගේ දොර අතු ගා පිරිසුදු කරන්නත් ඕනෑ. අපි පිරිත් කියන්න දන්නේ නෑ. ඒත් අම්මාත් එක්ක මුමුණ මුමුණා හරි ඉන්න ඕනෑ. වැරැදි වැරැදි හරි කියන්නට ඕනෑ. අපි මේ චාරිත්‍රවලට බොහොම ආශා කළා.

අපි ඒ කාලේ සෙල්ලම් ගෙවල් හදනවා. මමයි, නංගිලයි, මල්ලියි. ඉතාම ලස්සනට හදන්නේ බුදු මැදුර. හැමදාමත් ඒ සෙල්ලම් ගෙදරට වඩින හාමුදුරුවෝ වෙන්නේ මම. මල්ලි නම් කඩයක් දානවා. නංගිලා සෙල්ලම් බත් උයනවා. පිණ්ඩපාතය වගේ වැලි බත් බෙදනවා. ඔය විදිහටයි අප සෙල්ලම් කළේ.

ඒ කාලේ අප ඇසූ නරකම, භයානකම වචනය තමයි ‘උඹ’ කියන වචනය. අපේ ගෙදර කවදාවත් ඒ වචනය භාවිත කරන්න බෑ. භාවිත කළේත් නෑ. එහෙම කළොත් භයානක දඬුවම් ලැබෙනවා. අම්මා අප පුංචි කාලෙ ම දහම් පාසලට යොමු කළා. ඒ දහම් පාසලේ වැඩ සිටිය ලොකු හාමුදුරුවෝ තමයි ගල් ලෙනේ වැඩ හිඳිමින් පිණ්ඩපාතයේ වැඩියේ. එය අපට පුදුමයක් වුණා. එදා දහම් පාසලේ අධ්‍යාපන කටයුතු කරන්න, අද මට ත්‍රිපිටකය ඉගෙන ගන්න මූලික පදනම වූයේ මගේ අම්මාගේ දිරියයි.

මා ලොකු හාමුදුරුවන් වහන්සේ සමඟ ගොඩක් සමීප වුණා. දවසක් ලොකු හාමුදුරුවන්ගෙන් මා ඇසුවා, ‘මටත් ඔබ වහන්සේට වගේ මහණ වෙන්නට බැරිද?’ කියලා. උන්වහන්සේ පුළුවන් කීවා. ඒ වචනය ඇහෙන කොටම මගේ සිතට ඇතිවුණේ පුදුමාකාර සතුටක්. දහම් පාසලේ ඉඳලා ගෙදර ගිහින් බොහොම සතුටින් කීවා ‘අම්මේ මට මහණ වෙන්න ඕනෑ’ කියලා. අම්මා කිසිම කැමැත්තක් දැක්වූවේ නෑ. අප්පච්චිට කීවා. අප්පච්චිත් කිසිම දෙයක් කිව්වේ නෑ.ලොකු හාමුදුරුවෝ මට කීවේ මහණ කරන්න නම් අම්මාගේ, තාත්තාගේ අවසරය ඕනෑ කියලයි. මට අද වගේ මතකයි.මම එදා රෑට කෑම කන්නේ නැතුව අම්මයි අප්පච්චියි ළඟට වෙලා, මට නින්ද යනතුරුම ඇඬුවා. මහණ වෙන්න දෙන්න කියලා. කිසිම ප්‍රතිචාරයක් නෑ. උදේත් අප්පච්චිගෙන් ඇහුවා.

ඕන දෙයක් කරගන්න කියලා අප්පච්චි කේන්තියෙන් කීවා. මට ඒ වචනය ඉතා වටිනා වචනයක් වුණා. ඊළඟ සතියේ දහම් පාසල් ගිහින් මා ගෙදර ආවේ නෑ. පුංචි කොළ කැබැල්ලක ‘මම මහණ වෙන්න පන්සලේ නතර වෙනවා.’ කියලා ලියලා නංගි අතේ ගෙදරට යැව්වා. අම්මයි, අප්පච්චියි හොඳටම කලබලවෙලා. මහණ වෙනවාට උදව් කරනවා වෙනුවට ලොකු හාමුදුරුවෝ මට කීවේ මහණ වෙන්න නම් තුන් සූත්‍රය කට පාඩම් වෙන්න ඕන කියලයි. තුන් සූත්‍රය කටපාඩම් කරගන්න අම්මත් එක්ක වැරැදි වැරැදි කීව පිරිත් ටික මහා අස්වැසිල්ලක් වුණා. මට පිරිත් කියන්න ඉගැන්නුවේ මගේ ආදරණීය අම්මා.

එදා, දහම් පාසල් ගිහින් ආපසු ගෙදර නොගිය නිසා අම්මයි, අප්පච්චියි හොඳටම කලබලවෙලා ඇවිත් මා ගෙදර එක්කගෙන ගියා. මහණකමේ බැරෑරුම්කම, පුංචි හිතකට දරා ගන්න බැරි බවට අම්මා බොහෝ කරුණු කියලා දුන්නා. ‘රෑට කෑම කන්න වෙන්නේ නෑ’ ‘පුතා කැමැති දේ නොවෙයි. දෙන දේ කන්නට වෙනවා.’ ‘පාඩම් කරන්න ගොඩක් දේ තිබෙනවා’ ආයේ කවදාවත් අම්මටයි තාත්තටයි ළං වෙන්න ලැබෙන්නේ නෑ.’ ‘මට ලොකු පුතෙක් නැතිවෙයි.’ අම්මා ඒ වගේ බොහෝ දේ කීවා මට මතකයි. මට අම්මා කී හැම දෙයක් ම තේරුණේ නෑ. ඒත් අම්මා අකැමැති බව නම් තේරුණා. අවසානයේ පුංචිකමට ද, පණ්ඩිතකමට ද දන්නේ නෑ. ‘මම යන්නේ මැරෙන්න නොවෙයි. කවදාහරි අම්මා මා ගැන සතුටුවෙයි.’ කියලා මා කීවා.

අම්මා පන්සලේ ලොකුහාමුදුරුවන් සමඟ දීර්ඝව සාකච්ඡා කළා. අවසානයේ මගේ දැඩි ඉල්ලීම මත, අම්මාගේ අකැමැත්තෙන් මහණ වෙන්න අවසර දුන්නා. එදා මගේ අම්මා මට මහණ වෙන්නට අවසර නො දුන්නා නම් අද ‘සුධම්ම’ නම් හාමුදුරුවෝ සාසනයේ නොසිටින්න තිබුණා.

මගේ අම්මා හරිම කරුණාවන්ත කාන්තාවක්. හැමෝටම උදව් කරනවා. ගෙදරට එන අයට කෑම බීම සූදානම් කරන්න උපන් හපන්කම් ඇත්තියක්. ගෙදරට එන කිසිම කෙනෙක් බඩගින්නේ ආපසු ගියේ නෑ.

දරුවන් හතරදෙනාටම අම්ම එකම විදිහට සැලකුවා. අපට කෑම බීම ටික දීලා, සමහර දවසට බත් ඉවරයි කියලා අපි දන්නවා. ඒත් අම්මා කුස්සියට ගිහින් හැළියේ තිබුණු බත් ටික කෑවා කියලා සෝදාගත් අත පිස දමමින් අප ළඟට එනවා. ඒක බොරුවක් බව සමහර දවසට මට තේරෙනවා. අපට කන්න දීලා විතරක් නොවෙයි. අප කෑම කන සැටි බලාගෙන ඉඳලාත් අම්මා පුදුම විදිහට සතුටු වුණා. අපගේ කුස පිරීම ම අම්මාගේ කුස පිරීම වුණා.

හැම මාසයක ම අම්මා පන්සලට දානය දුන්නා. කවදාවත් කඩ කළේ නෑ. පන්සලේ හාමුදුරුවරු තිස්නමක් විතර වැඩ සිටියා. මම මහණ වුණාට පස්සේ ඒ දානය තව තවත් හොඳින් සකස් කරමින් අද දක්වාත් අම්මා ඒ පුණ්‍ය කර්මය සිදු කරනවා. මගේ ජීවිතයේ දුටු ශ්‍රද්ධාවන්තම දායිකාවත් මගේ අම්මා.

අම්මා වරදේ දී අපට දඬුවම් කළා තමයි. ඒත් අපි ඒ මුහුණේ කිසිම තරහක් දැක්කේ නෑ. ලොකු, පොඩි වැරැදි වෙන වෙනම පෙන්වා දී බොහෝ ගුරුහරුකම් දුන් හැටි අපට හොඳට මතකයි. හැන්දෑවට අම්මගේ ඔඩොක්කුවේ වාඩිවෙලා අවවාදත් ඇහුවා. ඒ වගේ ම බැණුම් ඇහුවා.

මම මහණ වුණේ අවුරුදු දහයේ දී. දශක තිහකට වැඩි කාලයක් මහණ දම් පුරනවා. කවදාහරි මගේ අම්මටත් සසරින් එතෙර වෙන්නට මඟ පෙන්වීම මගේ යුතුකමක්. මම මහණ වුණා කියලා අම්මා මගෙන් ඈත් වුණේ නෑ. දුකේදීත්, සැපේදීත් ළඟින් සිටියා. ලොකු හාමුදුරුවෝ සැර කරන විට, හරිදේ කරලා මිනිසුන්ගෙන් බැණුම් අහනවිට, සමහර අය අප ප්‍රතික්ෂේප කරන විට හැමදාම ළඟින් සිටිය කෙනෙක් සිටියා නම්, නොවෙනස්වන කෙනෙක් සිටියා නම්, ඒ මගේ ආදරණීය අම්මා. ඒ සෙනෙහස අඩු නොවෙන්නේ ඇයි කියලා මම දන්නේ නෑ. අද දවස වෙන විටත් අම්මා හිතන්නේ මගේ ලොකු පුතා කියලයි. අම්මා ජීවිතේ සතුටක් ලබනවා නම් ඒ මා නිසා කියලා මම හිතනවා. මගේ පන්සලේ ම මව්කුටියක් සාදවා අම්මයි, අප්පච්චියි දෙන්නම එහි නතර කරගෙන මා උපස්ථාන කරනවා. ඒ මේ සංසාරයෙන් එතෙර වීමට මගේ ණය ගෙවීම සඳහා යි. අම්මටයි, අප්පච්චිටයි බැඳීම්වලින් ඈත් වෙලා සසර ගමන කෙටි කරගන්නටත්, උපකාරයක් හැටියටයි. ‘අම්මා’ මගේ ජීවිතයේ උතුම් ම ශක්තියයි. අම්මා නොවෙන්නට පැවිදි වන්නටත්, හොඳ අධ්‍යාපනයක් ලබන්නටත්, සම්බුද්ධ ශාසනයට සේවය කරන්නටත් මට හැකියාව ලැබෙන්නේ නෑ. මම අද ධර්ම දේශනා කරන, උපාධි රාශියක් හිමිකරගත් ස්වාමීන් වහන්සේ නමක් වුවත් අදටත් මම මගේ ගැටලු, සතුට විශේෂ දහම් දැනුම බෙදා ගන්නේ අම්මාත් සමඟයි. අදටත් මගේ ජීවිතයට ශක්තිය මගේ මෑණියන් ම යි. බුදුරජාණන් වහන්සේ ළඟට දෙවෙනි බුදුන් මට මගේ අම්මා යි.