Print this Article


බිහිසුණු අපාය : පාපයෙන් නිදහස් වෙන්න

බිහිසුණු අපාය

පාපයෙන් නිදහස් වෙන්න

පුර පසළොස්වක පොහොය දිනයට පළවන ‘බිහිසුණු අපාය’ විස්තරයෙහි හැට අටවන අපාය වන්නේ චුද්ධස කල්ප නරකය යි. මෙහි භයානක දුක් පමුණුවයි. මෙය කල්ප දාහතරක් අපා දුක් ලබාදෙන නරකාදියක්.

මනු ලොව සිටියදී දරුවන් විකිණීම, වහල්කමට දීම ආදී දරුණු පව් කරන්නන්ට කර්ම විපාක ලෙසින් කල්ප දාහතරක් අපා දුක් විඳියි. අද වුව ද තමන්ගේ ම දරුවන් විකුණනවා, ඔවුන් වහල්කමට දෙනවා, මරා දමනවා. මේවා මහා දරුණු පාප කර්මයන්. එහි විපාක ලෙහෙසි පහසු නැහැ. අපාය යනුවෙන් සඳහන් කළ විට, අප ‘අය’ වෙයි. අය යනු සැපය යි. ‘අප’ යනු පහව ගියේය යන අදහස යි. එසේනම්, අපාය යනු සැප ඇත්තේ ම නැති තැන යි.

ගිනි ජාලා මධ්‍යයේ දී නිරි සතුන් අපමණ දුක් විඳියි. ඒ දුක මෙපමණ යැ’යි කාටවත් කියන්නට බැහැ. ලොවුතුරා බුදුරජාණන් වහන්සේට මේ තතු පෙණුනා. උන්වහන්සේ අපායේ තතු දේශනා කර වදාළා. මුගලන් මහ රහතන් වහන්සේ ද අපායට වැඩම කර එහි තතු දැන, මනු ලොවට වැඩම කර, මෙවැනි පව් කරන්නට එපා යැ’යි උපදෙස් ලබා දුන්නා. විපාක පෙන්වා දී බණ දහම් දේශනා කර වදාළා. දන්නා කෙනෙක් පව් කරන්නේ නැහැ, අපාය දකින විට. අද එහෙමත් කෙනෙක් අපාය පෙන්වනවා නම්, හැම කෙනෙක්ම පවට බිය වෙනවා. අපායේ උපත ලබන පිරිස අඩු වෙනවා. අද සෑම පාපයක්ම කරන පිරිස බහුල නිසා අපාය නිරි සතුන්ගෙන් පිරී පවතිනවා. මනු ලොව බහුලම පිරිසක් උපත ලබන්නේ අපායෙ යි. මේවා දැන කියාගෙන පව් කරන්නට එපා. එසේනම්, පාපයෙන් නිදහස් වන්න. එය තමන්ට ලොකු සැනසීමක්.

හැට නවවන අපාය දස කල්ප පංච නරකය යි. එනම්, එහි කල්ප පහළොවක් දුක් විඳිය යුතු යි. මනු ලොව සිටියදී විවිධ කළකෝළාහලවල දී කඩුවලින්, දුනුවලින්, පිහිවලින් පහර දී, අවි ආයුධ භාවිත කරමින් අනුන්ට දුක් දෙන්නන්, විහාරස්ථානයට නොයන, බණ දහම් නොඅසන, බණට විරුද්ධ නපුුරු, ත්‍රස්තවාදී ගති ඇති කෝළහලකරුවන් මෙහි උපත ලබයි. මේ අය පව් කර කල්ප පහළොවක් ඉතාම දරුණු දුක් විඳියි. මෙහි උපදින නිරි සතුන්ගේ අතපය කපා, ලෝ දිය පොවා, උල තබනු ලබනවා. මනු ලොව සාපරාධී ලෙස කෝළාහල ඇතිකරන, දඬු මුගුරුවලින් , අවි ආයුධවලින් , මිනිසුන්ට තලා පෙළීම් හේතු කරගෙන කල්ප පහළොවක්ම දුක් විඳිනු ලබයි. කෙතරම් කාලයක් ද බලන්න? ඒ නිසා කවුරුත් හොඳින් නුවණ භාවිත කර, ඉවසීමෙන් කටයුතු කරන්න. මවට, පියාට, ස්වාමියාට, ස්වාමි දියණියට, දරුවන්ට, අසල්වැසියන්ට, සේවා ආයතනයේ පුද්ගලයන් සමඟ කිසිවිටකත් කෑ කෝ නොගසන්න. එසේනම්, කෑ කෝ ගැසුවොත් විපාකයක් තිබෙන බැවින් සෑම විටම ඉවසීමෙන් කටයුතු කරන්න. මෛත්‍රී භාවනාව, බුදු ගුණ භාවනාව කරන්න. එවිට අපායට යන මග වැළකී සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. නැතිනම්, කල්ප පහළොවක් දුක් විඳීම ලෙහෙසි පහසු නොවෙ යි. කරුණාවෙන්, මෛත්‍රියෙන්, දයාවෙන්, අනුකම්පාවෙන් ජීවත් වුණොත්, සැමටම ලැබෙන්නේ සැනසුමක්. ඒ නිසා මිය ගිය පසුව දෙව්ලොව උපත ලබා අප්‍රමාණ සම්පත් විඳිනවා. කිසිම කරදර, පීඩා, බාධා, නැහැ. ආයුෂත් තියෙනවා. මේ ගැන සිතා පවින් වැළකී හැකිතාක් පිනට දහමට ගුණයට ලැදිව කටයුතු කළොත් වටිනවා.

හැත්තෑවන අපාය වන්නේ සොළොස කල්ප නරකය යි. එනම්, කල්ප දාසයක් අපායේ දුක් විඳිනු ලබයි. මනු ලොව සිටියදී තුනුරුවන්ට අගෞරව කරන, මව් පියන්ට, සහෝදර සහෝදරියන්ට, ඥාති වැඩිහිටියන්ට, කරදර කරන, බැණ වදින, අපහාස කරන අය උපත ලබන්නේ සොළොස කල්ප නරකය යි. ඇතැමුන් මව් පියන් වැඩිහිටි නිවාස වලට යොමු කරවයි, ඇතැම් විට මව්පියන්ට කෑම බීම, අඩුම තරමේ පිපාසයට දිය බිඳක්වත් දෙන්නට මැළි වෙනවා. මේ දේ සපයා විශාල පිනක් කරනොගෙන ඇතැමුන් මිය ගොස් සොළොස කල්පයේ උපත ලබා ගිනි දැල් මධ්‍යයේ කල්ප දාසයක් දුක් විඳිනු ලබයි. එසේනම්, දැන, දැන කිසිම පාප කර්මයක් කරන්නට එපා. වැඩිහිටියන්ට ගෞරවය පුද කර , පුද සත්කාර කළොත්, දෙව්ලොව උපත ලබ යි. මේ ගැන සිතා කල්පනා කර කවුරුත් බහුලව පින් දහම් කර, සිත කය වචනය සංවරකරගෙන අපායට බිය වී කිසිම පාප කර්මයක නොයෙදී කටයුතු කිරීම බොහොම වටිනවා.

හැත්තෑ එක්වන කල්පය වන්නේ තිංස කල්ප නරකය යි. එනම් කල්ප තිහක් දුක් විඳීම යි. මනු ලොව සිටියදී සිල්වත්, ගුණවත් උතුමන් වහන්සේලාට පහරදීම් , හිරිහැර ආදිය කළොත් මෙහි උපත ලබයි. අද වුවද, පන්සල් විනාශ කරන, පන්සලේ ඇති දේ සොරකම් කරන, , සිල්වත් ගුණවත් උතුමන්ට නින්දා අපහාස කරන, දඬු මුගුරින්, අවි ආයුධවලින් පහර දෙන්නන්ට දරුණු විපාක ලැබෙයි. යමපල්ලන් විසින් නිරි සතා අල්ලා ගනු ලැබීමෙන් විවිධ දුක් විපාක ලබා දෙයි. එහි දුක සීමාවක් නැහැ. ලෝ දිය පොවන, ලෝ ගුලි ගිල්ලවන, පහර දෙන, දඬු කඳේ ගසන, වෑයෙන් රහින, නිරි සතාගේ දෙපා ගස් දෙකක් ළඟා කර ගැට ගසා, ගස් දෙක අත හැර, සිරුර ඉරී යාමට සලස්වයි. තවද ගිනි ජාලා මධ්‍යයේ නිරි සතා දුක් විඳිනු ලබයි. එහි විඳින දුක සීමාවක් නැහැ. එතරම් දුක් විඳ අපායකට වැටෙන්නේ තුනුරුවන්ට, ශ්‍රමණ, බ්‍රාහ්මණ උතුමන්ට, හිරිහැර කළ අය යි.

එසේනම්, අපායේ තත්ත්වය අන් අයටත් කියා දී, මෙවැනි පව් කළොත් ලැබෙන විපාකය මෙය යැ’යි අවවාද කර, පවින් වැළකී බුද්ධ ශාසනයත් රැකගෙන , ශීලාදී ගුණදම් ,ශ්‍රද්ධා, සති, සමාධි, ඥාන දියුණුවෙන්, කුසල ධර්මයන් දියුණු තියුණුවෙන් , ජීවිතයේ අඩුපාඩුකම් මඟ හරවා ගෙන කටයුතු කර, අපාගාමී නොවී සුගතියකම වාසයෙන් අමා මහා නිවන් පසක් කර ගන්නට වාසනාව ලැබේවා!