Print this Article


ආගමික දර්ශනය යි බෞද්ධ කලාවයි

ආගමික දර්ශනය යි බෞද්ධ කලාවයි

ඈත අතීතයේ පටන්ම බෞද්ධ කලාකරුවා විසින් විවිධ නිර්මාණ සිදුකළ බව ඓතිහාසික තොරතුරු ගවේෂණයෙ ්දී පැහැදිලි වේ.

අලංකාරයට මුල්තැන දෙමින් උසස් ආගමික හැඟීම් ජනිත කරවීමට තරම්, ඒවා ප්‍රතිඵල සම්පන්න විය. මෙය හුදෙක් භාරතීය කලාවෙන් පමණක් නොව, බුදුදහම පැතිරගිය වෙනත් රටවල ද, ඇති බෞද්ධ කලා නිර්මාණ දෙස බැලීමෙන් වටහා ගත හැකිය.

මෙබඳු බෞද්ධ කලාවන් නරඹන්නාගේ නෙත් සිත් එම කලාකෘතිය දෙසට ඇදගෙන එම කැටයමෙහි හෝ චිත්‍රයෙහි ගැඹුරු කතාවන්ගෙන් කියවෙන මා හැඟි ධර්මානු ශාසනයත් හෝ ධර්ම කරුණකින් නරඹන්නාගේ ශ්‍රද්ධාව දියුණු කිරීමත් හා ඔහු යහමගට ගැනීමත් බෞද්ධ කලාකරුවාගේ අභිලාෂය විය. අපගේ අවධානය වඩාත් යොමුකිරීමට අදහස් කරන්නේ ලක්දිව පවතින එබඳු කලා නිර්මාණ හා ඒවායින් කියවෙන සාරධර්ම පද්ධතිය පිළිබඳ තොරතුරු ගවේෂණයකි. විශේෂයෙන්ම ලක්දිව ඉපැරැණි විහාරාරාම කේන්ද්‍රකරගෙන ඒවායේ අලංකාරය , සෞභාග්‍ය, සාරධර්ම, සන්නිවේදනය මුල්කරගෙන බෞද්ධ කලාකරුවා විසින් සුවිශේෂී කැටයම් නිර්මාණය කොට තිබේ. එකී කලාවන්ට දක්ෂ පුද්ගලයන් ලක්දිව බිහිවූයේ සංඝමිත්තා මහරහත් තෙරණියගේ ලංකා ගමනයත් සමඟ ය.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වන අවස්ථාවේ එම තෙරණිය සමඟ 18 කුලයකට අයත් පිරිස් පැමිණි බව මහාවංශයේ සඳහන් වේ. එසේ පැමිණි ඔවුන් ලක්දිව සංස්කෘතිය, කලාව ආදිය ගොඩනැංවීම සඳහා කටයුතු කළ බව සඳහන් වේ. ශ්‍රී මහා බෝධිය පිහිටුවීමේදී නිර්මාණය කරන ලද මහමෙව්නා උයන වටිනා කමකින් මෙන්ම ඓතිහාසිකත්වයෙන්ද අනූන බව කිව හැකිය. විහාරයක්, ආරාමයක් හෝ වෙනයම් බෞද්ධ සංකේතයක් ස්ථාපනය කිරීමේදී එහි අලංකරණය සඳහා යොදාගත් කැටයම් සමූහයක් තිබිණි. මුරගල, කොරවක්ගල, සඳකඩපහණ ඒ අතරින් ප්‍රමුඛස්ථානයක් ගනී. පාලි සාහිත්‍යයෙහිද්වාර ආරක්ෂක දේවතාවුන් පිළිබඳව ප්‍රකාශ වන්නේ මුරගල් තුළිනි. මෙය දොරටුපාල රූප,ද්වාරපාල රූප, කීර්තිමුඛ යන නම්වලින් ද හඳුන්වනු ලබයි. පුරාණ සිටුවරුන්ගේ සිටු මාලිගා නිර්මාණය කිරීමේදී ද දොරටුපාල රූප වලට අරක්ගත් දෙවිවරුන් සිටි බව සඳහන් වේ. එම දෙවිවරුන් සිටුවරුන්ගේ ආරක්ෂක දේවතාවුන් වූ බව ධම්මපදට්ඨ කතාවේ සඳහන් වේ. අතීතයේ විහාරාම පොළොව මට්ටමේ සිට මදක් ඉහළට ඉදිවුණි.

ඊට ඇතුළුවීමට එක් දොරටුවක් හෝ දොරටු හතරක්, එක් දිශාවකින් හෝ සිව් දිශාවෙන්ම ඉදිකොට ඇත. විහාරාරාමයෙහි ඉහළට නැගයාම සඳහා පඩිපෙළක් ද නිර්මාණය විය. පඩිපෙළ නැග යාමට අත්වැලක් අවශ්‍ය වූ නිසා එම අත්වැල කැටයම් වලින් නිර්මාණය කිරීමට කලාකරුවා උත්සාහගත් අතර එය කොරවක්ගල යනුවෙන් හඳුන්වනු ලබයි. කොරවක් ගලෙහි සුන්දරත්වය, අලංකාරබව රැකීම සඳහා ලියවැලක් සාදා ඇති අතර, ලියවැල අවසානයේ මකර කටක් නිර්මාණය වී ඇත. කොරවක් ගලෙන් එකවිටම ලිස්සායාම වැළැක්වීම සඳහා කෙළවරෙහි පුන්කළසක් නිර්මාණය කොට ඇත. පුන්කළසෙන් පසුව එම මුරගල යෙදීම සාමාන්‍ය ක්‍රමයක්ලෙස භාවිත කර ඇත. මුරගල ආසන්නයෙහි නිර්මාණය කරන ලද සඳකඩපහණ සඳක භාගයක් ලෙස සකස්වී ඇත.

මෙහි බොහෝ කැටයම් නිර්මාණය කොට ඇත. මුල් යුගයේ පැවැති සඳකඩපහණ තුළ විශාල කැටයම් නොතිබුණත්, පසුකාලීනව විකාශනය වී කැටයම් බහුල ලෙස භාවිත කරමින්, සඳකඩපහණ නිර්මාණය වූ බව එහි විකාශය තුළින් පැහැදිලිව දැකිය හැකි ය. විහාරාරාමවලට පිවිසෙන විට සකසා ඇති ගල්පඩි පෙළ. සෑම පඩියක්ම ස්ථාවර වන පරිදි දිග් අතට වාමන රූප යෙදීමට සිදුකර ඇත. මේ ආකාරයට අතීතයේ පැවැති කැටයම් කලාව නිර්මාණය කිරීමේදී විවිධ කැටයම් වර්ග සහ විවිධ ක්‍රමවේද භාවිතකර තිබෙන බව සඳහන් කළ හැකි ය.