Print this Article


කළකම් පලදෙන හැටි: මාන්නාධික බව පිරිහීමයි

මාන්නාධික බව පිරිහීමයි

කිසියම් පුද්ගලයකුගේ සිතිවිලි මෙහෙයවනු ලබන්නේ ද කර්මය විසින් ය.

ඇතැම් පුද්ගලයෙකුට අර්ථවත් පරහිතකාමී සිතිවිලි ඇතිවීමටත්, තවත් පුද්ගලයෙකුට අර්ථවත් ස්වර්ථකාමී සිතිවිලි ඇතිවීමටත් හේතුව කුමක්දැයි විමසා බැලුව හොත් එයට ඒ ඒ පුද්ගලයන් ඔවුනොවුන්ගේ දැනුම අනුව හේතු ප්‍රකාශ කළ හැකි ය.

ඒ හැම හේතුවක් ම ප්‍රශ්නයට අදාළ පිළිතුරදැයි බුද්ධියෙන් විමසා බැලුවහොත් එම ප්‍රශ්න සියල්ලට ම ලැබෙන පිළිතුරු කිසිවක් සත්‍ය වූ ඒවා නොවන බව අනුමාන කළ හැකිය. එයට හේතුව කර්මය තරම් ප්‍රබල ශක්තියක් ලෝකයේ නොමැති නිසා ය. පුද්ගලයා ඉහළට ගමන් කරන්නේද, ඒවා අපිළිවෙළ කරන්නේ ද, පැසසුම් ලබාදී සැනසුම් දෙවන්නේ ද, ගැරහුම් ලබාදී වැනසුම් කරන්නේ ද, ආදී විවිධ දෙය කරනු ලබන්නේ කර්ම ශක්තිය විසින් ය. පුද්ගලයා උසස් කරනු ලබන්නේ ද, පහත් කරනු ලබන්නේ ද ඒ දෙකම එක ළඟ සිදුකරන්නේ ද, ඒ දෙක කාල පරාසයක් ඇති ව කරන්නේ ද, කර්මය යි. මානය නමැති අකුසලය සහිත පුද්ගලයා මරණින් මතු වඳුරු ආත්මයේ උප්පත්තිය ලබන බවත්, මානය නමැති අකුසලය වැඩිපුර තිබීම සුනඛ ආත්මයේ උප්පත්තිය ලැබීම පිණිස හේතුවන බවත් දැක්වේ. මානය මාන්නාධික බව ආදී අකුසල පවතින්නේ මිනිස් මනසෙහි ය. මනස විසින් මෙහෙයවනු ලබන පුද්ගලයා කය, වචන දෙකින් පාප කර්ම සිද්ධ කරයි. අකුසල ධර්ම විසින් මෙහෙයවනු ලබන මනස කය, වචන දෙකින් පාප කර්ම සිද්ධ කරවීම කරයි. ඇතැම් විට මානය නමැති අකුසල ධර්මය විසින් මෙහෙයවන ලද මනස පුද්ගලයා කය, වචන දෙකින් පින් දහම් කිරීම කෙරෙහි ද යොමු කරවනු ලබයි. අකුසල් සහගත මාන්නාධිකත්වය පවක් කිරීම කෙරෙහි පුද්ගලයා යොමු කරවීම එතරම් ගැටලු සහගත එකක් නොවුණත් මානය නමැති අකුසල් මානසිකත්වය පින් කිරීම කෙරෙහි යොමුකරවීම, කෙනෙකුට කිසියම් ගැටලු සහගත බවක් මනසට රැගෙන එන්නකි. අකුසල් මානසිකත්වයෙන් පින් කරන්නේ කෙසේ ද යන ගැටලුවයි. ඇතැම් පුද්ගලයන් තම මාන්නාධිකකම නිසාම පින් කිරීමට මුදල් යොදවයි. වෙනත් පුද්ගලයකු විසින් සිදුකරනු ලැබූ පින්කමක් දැක එහි කුසල පක්ෂය කෙරෙහි සිත යොමු කරනවාට වඩා මාන්නාධික පුද්ගලයා එම ක්‍රියාවෙහි දොස් දැකීමට කල්පනා කරයි.

එයට අනුව තමාගේ පින්කම එම පින්කමට වඩා ඉහළින් සිදුකිරීමට පෙළඹෙයි.

එම පින්කම බාහිර සමාජයට පින්කමක් ලෙස පෙනුණත්, අභ්‍යන්තරික වශයෙන් පින්කම කළ තැනැත්තාගේ මනස පින තුළින් පිරුණාට වඩා මනසෙහි සැඟව පැවති මාන්නාධික අවශ්‍යතාව සපුරාගනී. ඔහු වඩාත් යහපත් පින්කමක් කළා යැයි සතුටු වන්නේ එම අදහසින් ය.

පුද්ගලයෙක් කිසියම් ක්‍රියාවක් කිරීමේ දී බාහිර සමාජයට එම ක්‍රියාවේ ප්‍රතිඵලය පමණක් පෙනුණත්, කිසියම් ක්‍රියාවකට වඩා වැදගත් වන්නේ එකී ප්‍රතිඵලය ඇතිවීමට බලපාන ක්‍රියාවේ අභ්‍යන්තරික පුද්ගල චේතනාව යි. නීතියේ දඬුවමක් දීම කෙරෙහි ද චේතනාව සොයා විමසා බලයි. කර්මයෙහි විපාක ලැබීමේ දී ද පුද්ගල චේතනාවම බලපානු ලබයි. චේතනාව ක්‍රියාව, ප්‍රතිඵලය යනු කාරණා තුනකි. එම කරුණු තුනෙන් බාහිර සමාජයට ක්‍රියාව පමණක් පෙනෙයි. ප්‍රතිඵලය බාහිර සමාජයට දැනෙයි. යම් සිද්ධියක් පිළිබඳව සමාජය කතාකරනු ලබන්නේ ද, අදහස් පළකරනු ලබන්නේ ද, සිදුවීමක ක්‍රියාව හෝ ප්‍රතිඵලය දෙස බලාය. එම සිද්ධිදාමයේ අත්‍යවශ්‍ය සාධකය වන චේතනාව සමාජයට පෙනෙන්නේ නැත. දහමට අනුව කිසියම් සිද්ධියක චේතනාව, ක්‍රියාව , ප්‍රතිඵලය යන අංශ තුනම වැදගත් වෙයි. කිසියම් ක්‍රියාවක් හොඳ, නරක ආදී වශයෙන් තීරණය කිරීම සඳහා බලපානු ලබන මූලික කරුණු ලෙස ඒවා දක්වා තිබේ. තමා කැමැති නිසා එම ක්‍රියාව යහපත් යැයි ද තමා ඇකැමැති ක්‍රියා අයහපත් යැයි ද තීන්දු තීරණ ලබාදෙන්නේ ශ්‍රී සද්ධර්මය පිළිබඳව දැනුමක් අවබෝධයක් නොමැති පුද්ගලයන් ය. යම් පුද්ගලයකුගේ දැනුමේ සීමාව ඔහුගෙන් ප්‍රකාශවන අදහස්වල පවතී. කිසියම් කරුණක් සමාජයට ප්‍රකාශ කරන විට වඩාත් බුද්ධිමත් විය යුත්තේ එම නිසා ය. ඇතැම් පුද්ගලයන් තමාගේ දැනුමේ මද බවවත් නොදැන සමාජයට අදහස් ප්‍රකාශ කරයි. ඇතැම් පුද්ගලයන් තමාගේ මෝඩ බව නොදැන සමාජයට අදහස් ප්‍රකාශ කරයි. ඉන් බරපතළ අකුසලයක් සිදුකර ගනී. මානය නමැති අකුසල සිතිවිල්ල මනසෙහි පවතිනතාක් එය අකුසලයක් බව ඔහුට දැනෙන්නේ නැත. එය ස්වභාවයක් බවට සිතන්න පෙළඹීමෙන් තත්වය තවදුරටත් බරපතළ වනු ඇත.

සියල්ලන්ටම වඩා තමා ඉහළ පුද්ගලයකු බවට සිතන්නට පෙළඹීම මාන්නාධිකකමේ ලක්ෂණයකි. අනෙක් පුද්ගලයෝ තමනට වඩා පහත් යැයි ද, නිවැරැදි පුද්ගලයෝ තමනට වඩා පහත් යැයි ද, ඔවුන් නිවැරැදි දෙය ප්‍රකාශ කළ ද, සවන්දීමට අවශ්‍ය නැතැයි යන සිතිවිලි ද ඇතිවෙයි.ඇතැම් විට තමන් සෙසු සියලු දෙනාට වඩා ඉහළ පුද්ගලයකු වන්නටද පුළුවන. එය මාන්නාධික බව නොවේ. තමා අනෙක් සියලු දෙනාටම වඩා ඉහළ පුද්ගලයකු යනුවෙන් සිතන සිතිවිල්ල මාන්නාධික බවයි.

එක්තරා රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු සිටියේය . ඔහු අසාමාන්‍ය ලෙස මාන්නාධික පුද්ගලයෙකි. ඔහු තුළ පැවැති අධික මාන්නය නිසාම යහපත් මිත්‍රයකු ද නොසිටියේ ය. ඔහු විශ්‍රාම ගත්තේ ය. මිත්‍රත්වය අඩු නිසාම ඔහුගේ ජීවිතය ගෙදරට පමණක් සීමා විය. හොඳ අධ්‍යාපනයක් ලබා, ඉහළ රැකියාවල නිරත වන දරුවන් සිටිය ද දැඩි උඩඟුකම නිසාම දරුවන්ගේ උපස්ථාන ලැබීම තමා මදිපුංචි කමක් ලෙස කල්පනා කළෙ ්ය. සිය බිරිඳ මිය පරලොව ගියේය. විශ්‍රාම ගැනීමෙන් පසු ගෙදරට සීමාවීමත් සමඟ තනිකම මගහැරගන්නට කූඩුවේ සිටි සුනඛයා ලිහා දැම්මේ ය.සතුනට ආහාරපාන ලබාදෙමින්, ඔවුන් සුරතල් කරමින් , ඉමහත් සතුටක් ලැබුවේ ය. සුඛෝපභෝගී නිවස සුනඛ රජදහනක් බවට පත්වීමත් සමඟ දැඩි ලෙස අපිරිසුදු විය. නිවසේ සුඛෝපභෝගී ඇඳ පුටු සතුන්ගේ වාස භූමි වූයේ ය. සුනඛයන්ට ආහාර පාන ලබාදෙන ඔහු ඇතැම් දිනවලදී එම සතුනට ආහාර ලබාදෙන පිඟානේම තමනුත් ආහාර ගනී. සුනඛයන්ගේ ඉතිරි වු ආහාර තමන් ද ආහාරයට ගනී. සියලු සත්වයෝ ද එක හා සමාන යැයි බුදු දහමේ ද පෙන්වා ඇති බවට සතුන්ට ආහාර ලබාදෙන ගමන් ඔහු ප්‍රකාශ කරයි. සුනඛ ගොඩේම නිදාගනී. සුනඛයන්ගේ අපවිත්‍ර දෑ තම ඇඳුම්වල තැවරුණාත් ඔහුට හොඳට හුරුපුරුදු ය. මෙම සිදුවීම දුටු එක්තරා ඥාති මිත්‍රයෙකු ඔහුගේ ක්‍රියා කලාපය වෙනස් කරන්නට උත්සාහ කළ ද, තර්කානුකූලව කතාකොට ඔවුන් පරදවමින් ඔහු මිය යන තුරුම එය පුරුද්දක් වශයෙන් කරගෙන ගියේ ය. ඔහු මිය යනු ලැබුවේ ද අපිරිසුදු සතුන්ගේ ගොඩේ ය. ඔහු මිය යන විට සිරුර මත සුනඛයන් කිහිප දෙනෙක් ම සුවසේ නිදමින් සිටියහ. ගසක හැදෙන කුඩා පිළිලය මුළු ගසට සහ ගසේ අරටුව විනාශකර දමන්නා සේ අධික මානය මිනිස් මනසේ අර්ථවත් බව විනාශකර දමයි. ඔහු සමාජයේ ගැරහීමට ද, පිරිහීමට ද ලක්වෙයි. අධික මානය එතරම්ම බලවත් ය.අධික මානයෙන් කළ අකුසල කර්ම විපාක බොහෝ විට මෙලොවදී ම පඩිසන් දෙනු දැකිය හැකි ය.