Print this Article


පිවිතුරු මනසින් සොඳුරු මාවතක්

පිවිතුරු මනසින් සොඳුරු මාවතක්

බෝසත්වරු පාරමිතා පුරා බුදු බව ලබති. රහත් වීමෙන් විමුක්තිය ලැබීමට බලාපොරොත්තුවන අය අදාළ විමුක්ති මාර්ගය අනුගමනය කිරීම තුළින් රහත් ඵලය ලබති. මෙය මිනිසා සතු ‘විභව‘ ශක්තියේ ප්‍රතිඵලයකි. ‘විභව‘ යනු පුළුවන් බවයි.

එනම් පුද්ගලයා සතු හැකියාව යි. ඉලක්ක, අරමුණු සපුරා ගැනීමේ දී අප තුළ ඇති සැඟවුණු ශක්තිය ‘විභව‘ යනුවෙන් අපි හඳුන්වමුු. මේ විභව ශක්තිය මල්ඵල ගැන්වීම අප සතු වගකීමකි. ඒ සඳහා අවස්ථාව උදාකරගත යුතු යි. එසේ නොවුණහොත් ඒ විභව ශක්තිය යටපත් වී සැඟවුණු මට්ටමට පත්වනු ඇත. අක්‍රීය වනු ඇත. මෙලොව සිටින අනෙකුත් සියලු සත්ත්වයන්ට වඩා මිනිසා සතු විභව ශක්තිය ආශ්චර්යවත් ය. එමෙන් ම බලසම්පන්න ය. මෙයින් උපරිම ඵල නෙළා ගැනීමේ හැකියාව මිනිසා සතු ය. බුද්ධත්වය යනු මේ විභව ශක්තියේ උපරිම ප්‍රතිඵලය යි.

අනෙකුත් සත්වයන්ට මෙන් නොව මිනිසාට තීරණ ගැනීමේ හැකියාව ඇත. හරි වැරැද්ද තේරුම් ගැනීමේ හැකියාව ඇත. කළ යුතු, නොකළ යුතු දේ වටහා ගැනීමේ හැකියාව ඇත. හැම පැතිකඩක් ම බලා යා යුතු මග තේරුම් ගැනීමේ ශක්තිය ඇත. ‘විභව‘ ශක්තිය ලෙස හඳුන්වන, මිනිසා ලබා ඇති මේ වටිනා සම්පත මලානික වන්නට නොදී රැකගත යුතුව ඇත. පරවන්නට නොදිය යුතු ය. එය අන් අයට ප්‍රයෝජනවත් අයුරින් විකසිත කර ගැනීමේ ක්‍රියාවලියට අප ප්‍රවිශ්ට විය යුතු ය.

දියුණුවක් බලාපොරොත්තු වන්නා තුළ සිහිනයත් තිබිය යුතු ය. උගතෙකු වීමට, ධනවතෙකු වීමට, ව්‍යාපාරිකයෙකු වීමට, දේශපාලනඥයකු වීමට, වෛද්‍යවරයකු වීමට, ඉංජිනේරුවරයකු වීමට, වැවිලිකරුවෙකු වීමට ආදී වශයෙන් තමා තුළ මවාගත් සිහිනය යථාර්ථයක් කර ගැනීම ඉලක්කය විය යුතු ය. ප්‍රාර්ථනය විය යුතු ය. ඔබ බලාපොරොත්තු වන ඉලක්කයට රවුම් මගකින් ද, සෘජු මගකින් ද ගමන් කළ හැකි ය. තෝරා ගන්නා මාර්ගය සඳහා ගුරු උපදෙස් හා මව්පිය මඟ පෙන්වීම වැදගත් වනු ඇත. මේ අනුව ක්‍රියාත්මක වීම තුළින් තමා තුළ ඇති විභව ශක්තිය ඉක්මනින්ම විකසිත කර ගැනීමේ අවස්ථාව උදා වේ. මෙහි දී අප වටා ඇති පරිසරය වැදගත්වනු ඇත. විශේෂයෙන් සමාජ ඇසුර ගැන ද අප සිතිය යුතු ය. හොඳ, බුද්ධිමත්, අමෘත ඇසුර ජය කණුව කරා ඔබ ඉක්මනින් ළඟා කරවීමට මහඟු පිටිවහලක් වනු ඇත. වැරැදි ඇසුර ඔබ මොට්ට කරයි. මලානික කරයි. ඔබගේ වටිනා විභව ශක්තිය නිෂ්ක්‍රීය කරයි.

මුතු ඇටයක් සැදෙන්නේ කෙසේ ද? වැලි කැටයක් වැනි දෙයක් මුතු බෙල්ලාගේ කටුව තුළට ඇතුළු වුවහොත් කටුව තුළ තැවි, තැවී කාලයක් පැවතුණහොත් වටේ ඇති කැල්සියම් නිසා ලස්සන මුතු ඇටයක් බවට පරිවර්තනය වෙයි, මේ අයුරින්ම අපේ යටිහිත තුළ පවතින සිහින සිතිවිල්ල නිරන්තරව ඔප දමන විට එය ජයග්‍රාහී ඉලක්කයක් කරා යොමුවනු ඇත.මෙය ඕනෑම කෙනෙකුට කළ හැකි කාර්යයකි. ඒ සඳහා කළයුතු මූලික ම දෙය යටිහිත තුළ තම අධිෂ්ඨානය තැන්පත් කර ගැනීම යි. මෙම අධිෂ්ඨානය ඉටුවීම සඳහා කාලයක් ගතවිය හැකි ය. අප සිතන තරම් ඉක්මනින් ප්‍රතිඵල දැක ගන්නට නොහැකි විය හැකි ය. අප තුළ ඇති අධිෂ්ඨානය වැඩෙන්නට, පෝෂණය වන්නට, මෝරන්නට කාලයක් ගතවනු ඇත. බුද්ධත්වය ප්‍රාර්ථනා කළ බෝසතාණන් වහන්සේගේ අධිෂ්ඨානය, ප්‍රාර්ථනය ඉටුවන්නට කෙතරම් කාලයක් ගත වුණා ද? සමහරු බලාපොරොත්තු වන්නේ ඉක්මන් ප්‍රතිඵලයකි. අපගේ ජීවන ගමනේ යටිසිත තුළ පවතින අධිෂ්ඨානය මල්ඵල ගැන්වීම සඳහා ඊට අදාළ අනෙකුත් අවශ්‍යතා ද සමගාමීව සපුරාලිය යුතු ය. එසේ නොවුණහොත් සිහිනය සිහිනයක් ම වනු මිස යථාර්ථයක් බවට පත් නොවනු ඇත.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළයුතු කාරණයක් ඇත. එනම් ළමා ලෝකය තුළ හොඳ අධිෂ්ඨාන පූර්වක සිතිවිලි, ඉලක්ක ඔවුන්ගේ යටිසිත තුළ තැන්පත් කරලීම යි. මෙය මව්පියන්ගේ හා ගුරුවරුන්ගේ වගකීමකි, තමා අනාගතයේ කෙබඳු ආකාරයක කෙනෙකු විය යුතු ද? යන්න පිළිබඳව අදහස් යටිහිතේ තැන්පත් කර, ඒ අරමුණු කරා ගමන් කරන දරුවෙකු ලෝකයාට දායාද කිරීම මව්පියන්ගේත්, ගුරුවරුන්ගෙත් වගකීමකි.

වර්තමාන සමාජය දෙස බලන විට සදාචාරවත් ජීවිතයක් පිළිබඳව සිතීම මෙහිදී අත්‍යවශ්‍ය ය. මට බැහැ කියන සිතිවිල්ල අයින්කර මට පුළුවන්. හැකියාව තිබෙනවා යන හැඟීම ඇතිකර ගැනීම වැදගත් වනු ඇත. කෙසේ වුව ද දරුවාගේ හැකියාව හා කැමැත්ත තේරුම් ගැනීම මෙහිදී අත්‍යවශ්‍ය ය. යටිසිත බැටරියක් වැනි යැයි සිතුවොත් එය අක්‍රීයවන්නට නොදී ක්‍රියාත්මක අයුරින් තබා ගැනීම ආලෝකවත් ගමනකට මං පෙත් විවර වීමක් වනු ඇත.

අද ලෝකය දෙස බලන විට බොහෝ දෙනෙක් දුවන්නන් වාලේ දුවන පිරිසක් බවට පත්ව ඇත. තම හැකියාවන් හා කුසලතාවයන් ගැන සිතන පිරිස අඩු ය. ඉලක්කගත ව වටිනා අරමුණක් කරා දිවීමට සූදානම් චරිත අඩු ය. බොහෝ දෙනා තමා තුළ ඇති ‘විභව‘ ශක්තියෙන් නිසි ඵල නොලබති. මෙහි ප්‍රතිඵලය කුමක් ද? දෙලොවටම වැඩක් නැති, සමාජයට වධදෙන ළමා පිරිසක්, තරුණ පිරිසක් ලොවට බිහිවීම යි.

එක් අතකින් බලනවිට අපාය හා දිව්‍ය ලෝකය පවතින්නේ අප තුළ ම ය. සිතට දුකක්, කරදරයක්, ශෝකයක් ඇති වූ විට එය අපායකි. සිතට සතුටක්, පී‍්‍රතියක්, සැනසිල්ලක් ඇති වූ විට එය දිව්‍ය ලෝකයකි. හැම දෙනාගේ ම සිත් පිරිසුදුව පවත්වාගත හැකිනම්, මේ ලෝකය ලස්සන ය. පිවිතුරු ය. සුවඳවත් ය. අපිරිසුදු මනසකින් අප ජීවත් වන්නේ නම් මුළු ලෝකයම අපිරිසුදු ය. අපි‍්‍රය ජනක ය. වේදනාත්මක ය. රවාගත් මුහුණෙන් යුක්තව කණ්ණාඩිය දෙස බලන විට අපි‍්‍රය මුහුණක් ඔබට දැක ගන්නට පුළුවන. සිනහවකින් යුත් මුහුණකින් කණ්ණාඩිය දෙස බැලුවහොත් පි‍්‍රයංකර ප්‍රසන්න මුහුණක් ඔබට දැකගත හැකි ය. මේ අයුරින් ම ලෝකයා සමඟ කටයුතු කරනවිට ඒ ලෝකය අපායක් හෝ දිව්‍ය ලෝකයක් බවට පත්කර ගැනීමේ හැකියාව ඔබ සතු වනු ඇත. නුග ඇටය කුඩා බීජයක් වුවත්, පැළවීමට අවශ්‍ය සාධක එකතුවීමෙන් විශාල වෘක්ෂයක් බවට පත්වන්නා සේ අප උත්සාහවත් ව ක්‍රියා කරන්නේ නම්, ඒ සඳහා අවශ්‍ය සත්පුරුෂ ආශ්‍රය ඇත්නම්, බුද්ධත්වය ලබාගන්නට පවා උපකාර වේ. මේ අයුරින්ම සිත නිවැරැදිව හසුරුවමින්, ඒ සඳහා බුද්ධියත්, උත්සාහයත් යෙදවීම තුළින් ප්‍රමුඛ පෙළේ ධනවතකු වුවද විය හැකි බව සමාජගත ජයග්‍රාහී චරිත අධ්‍යයනය කිරීම තුළින් දැකගන්නට පුළුවන. ගින්නට ඇති ශක්තිය හා බලය අපි දනිමු. එය වැරැදි අයුරින් භාවිත කළහොත් සිදුවිය හැකි භයානක ප්‍රතිඵලත්, නිවැරැදි ක්‍රමයට යෙදවීමෙන් ඇතිවිය හැකි වටිනා ප්‍රතිඵලත් අපි දකිමු. පරමාණුව කෙරතම් බලසම්පන්න වුව ද, එයින් ලෝකයට ඵලදායී වටිනාකමක් ලබාගත හැකි වන්නේ එය පාලනයකින් යුතුව හසුරුවා ගැනීම තුළිනි. මේ අයුරින් ඔබේ සිතද නිවැරැදිව ම පාලනය කරගන්න.

ඔබේ සිත ගෙවත්තක් යැයි සිතන්න. එහි ඇති නරක සිතිවිලි නමැති වල් පැළ ඉවත් කරන්න. සැමදෙනාටම ප්‍රයෝජනවත් මල්, ගෙඩි හටගන්නා පැළ රෝපණය කරන්න. ජලය, පොහොර යොදමින් ඒ වටිනා පැළ පෝෂණය කරන්න. ඔබේ සිත නමැති ගෙවත්ත ඉතා වටිනා භූමියක් වනු නොඅනුමාන ය. මේ අයුරින් අසහනකාරී වධදෙන සිතිවිලිවලින් තොර සුවදායක සිතිවිලිවලින් අලංකෘත මනස කෙතරම් වැදගත් ද?

කෙනෙකුට දුප්පත් වන්නට හෝ පොහොසත් වන්නට එක්තරා මට්ටමකට කර්ම ශක්තිය බලපාන්නට පුළුවන. නමුත් කර්මයට ම ඉඩ දී පැත්තකට වී අක්‍රීයව සිටීමෙන් ධනවතෙකු වන්නේ නැත. ධනවත් වීමේ චේතනාව අධිෂ්ඨානය මෙහි දී ප්‍රමුඛ සාධකයක් වනු ඇත. ධනවත් වීමට බලාපොරොත්තු වන අය අනුන්ගේ ධනයට ඊර්ෂ්‍යා නොකළ යුතු ය. එසේ වෛරී සිතිවිලි ඇතිකර ගැනීම ඔබගේ ජීවන ගමනට බාධකයකි. අන් අය වැරැදි විදියට ධනය උපයාගෙන ඇතිනම් එහි විපාකය ඔහු සතු ය. නරක සිතිවිලි ඇතිකර ගැනීමෙන් අපගේ දියුණුව වළක්වා නොගත යුතු ය. මානසික පීඩනය හා අසහනය තේරුම්ගෙන අවබෝධයෙන් යුක්තව කටයුතු කිරීම තුළින් තමන්ටත්, අනුන්ටත් අහිතකර සිතිවිලි ඇති නොවන අයුරින්, පවිත්‍ර වූ මනසක් ගොඩනගා ගැනීමට කටයුතු කරන්නේ නම් මේ සමාජය කෙතරම් ලස්සන ද?