Print this Article


පාපයෙන් මිදී දහමට යොමු වෙමු

පාපයෙන් මිදී දහමට යොමු වෙමු

පාපය, අකුසලය පිළිබඳ ඇසූ ක්ෂණයකින් ඔබේ සිතට ඇතුළුවනුයේ කුමන හැඟීමක් ද? කෙනෙකුට ඒ වදන ඇසීමත් සමඟ බියක් , චකිතයක් ඇතිවිය හැකි ය. තවකෙනෙකුට කිසිම විශේෂ හැඟීමක් ඇති නොවනු ඇත. ඇතැමුන්ට එය විහිළුවක් ද විය හැකි ය.

ඒ සෑම හැඟීමක් ම තීරණය කරන්නේ පුද්ගලයාගේ ප්‍රබුද්ධ භාවය මතයි. පුද්ගලයෙකුගේ ජීවිතය වාසනාවන්ත භාවයට පත් කරගැනීමට, දියුණුවට මූලික ලෙස බලපාන්නේ පුද්ගල මනසයි. ‘න චිත්තයන්තො පුරිසො විසේසමධිගච්ඡති” යනුවෙන් සුවිශේෂ හැඟීමකින් යුක්ත නොවන්නාගෙන්, විශේෂ යමක් අපේක්ෂා කළ නොහැකි බව කියයි. විශේෂ යමක් වශයෙන් දක්වන්නේ අන් කිසිවක් නොව තමන් ගත කරන ජීවිතයේ සාර්ථක භාවය ළඟා කරගැනීමේ පිළිවෙතයි. අප මිනිසත් බවෙහි ඉපදුණු නිසාම අපට සෑම දෙයින්ම සමෘද්ධත්වයක් උදාවන්නේ නැත. අප ඒ සැම දේ ම උපදවා ගත යුතු ය. ඒ සඳහා බුද්ධිමත් බව තිබිය යුතු ය. පිනෙන් පෝසත් වීමටත්, පාපයෙන් මිදීමටත්, කුසල් රැස් කිරීමටත්, අකුසලින් දුරුවීමටත් බුද්ධිය තිබිය යුතු ය.

ආරති විරති පාපා - මජ්ජපානා ච සඤ්ඤමො

අප්පමාදො ච ධම්මෙසු - ඒතං මංගලමුත්තමං

මෙම ගාථාවේ සරල අදහස වන්නේ ‘සියලු පාපධර්මයන්ගෙන් වැළකීමත් , සුරාපානයෙන් වැළකීමත් , ධර්මයෙහි අප්‍රමාදීව හැසිරීමත් යන කරුණු තුන උතුම් මංගල කාරණා වෙයි.” යන්නයි. අපගේ දිවියේ ආලෝකය උදා කරගැනීම සඳහා බෙහෙවින් වැදගත් වන කරුණු තුනකි, මෙමගින් කියැවෙන්නේ. මෙහි මුලින්ම කියැවෙන කරුණ වන්නේ සියලු පාප ධර්මයෙන් මිදෙන්න යන්නයි. සියලු පාප ධර්ම යනු මොනවාද? බුදු දහමේ පව, පින, කුසල අකුසල නිවැරැදි අන්තර්ගතයක්, නිවැරැදි පැහැදිලි කිරීමක් කර ඇත. ඔබ කරන දෙයින් ඔබටත්, අනෙකාටත් සැප පිණිස හේතු වූයේ නම්, කළ ක්‍රියාව යහපත් ලෙස ධර්මයට අනුව සිටී නම් අපි එයට කුසල, පින යැයි කියමු. ඔබ කළ යම් දෙයක් ඔබගේත් අනෙකාගේත් අයහපත, දුක පිණිස පැවතියේ නම් එය අකුසලය, පව යනාදි නම්වලින් හැඳින්විය හැකි අතර එකී ක්‍රියාවෙහි විපාක මතු ආත්මයේ අනෙකාටත් ඔබටත් අයහපත පිණිස පැවතී ඇත.

ඒ නිසා ඔබ කරන ක්‍රියාව පිළිබඳ ඔබ වගකීමක් ගත යුතු ය. ඔබ කළ ක්‍රියාවක් නිසා කෙදිනක හෝ ඔබට පසුතැවීමට සිදුවන්නේ නම් සැබැවින් ම ඔබ සිදුකොට ඇත්තේ අකුසලයකි, පවකි. එකී අකුසල්, පව් ප්‍රධාන අංශ තුනක් මූලිකත්වයේ තබාගෙන අප විසින් සිදු කරනු ලැබේ. ඒ අන් කවරක් වත් නොව සිත, කය, වචනය යන ද්වාරත්‍රය යි. අප කරන සැමදේම මෙම එක් දොරකින් සිදු කරනු ලබයි. අකුසල් ගත් කල්හි කයෙන් තුනක් ද, වචනයෙන් හතරක් ද , සිතෙන් තුනක් ද ආදී වශයෙන් අකුසල් සිදු කරයි. මේවා දස අකුසල් යන නාමයෙන් හඳුන්වනු ලබයි. මෙහිදී සිත මූලිකව සිදු කෙරෙන අකුසලකර්ම නිසා අපගේ දිවිය අප බලා සිටිය දී ම පරිහානියට පත්වන බව පෙනේ. ඒ අනුව සිතින් සිදු කෙරෙන අකුසල කර්ම වන්නේ දැඩි ලෝභය, ව්‍යාපාදය හෙවත් දැඩි ඊර්ෂ්‍යාව, මිථ්‍යාදෘෂ්ටිය හෙවත් මෝඩකමයි.

මෙකී හැඟීමක් ඇති වූ ක්ෂණයක් පාසාම සිතෙහි ඒකාග්‍රතාව පවත්වා ගැනීම අපහසු වන අතර, එමඟින් සිදු කරනු ලබන ක්‍රියාවලින් යහපතක් ද, වැදගත්කමක් ද අපේක්ෂා කළ නොහැකි ය.

බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම, වචනයෙන් සිදුවන අකුසල් ය. මෙකී වදන් නිසා මිනිසාගේ භාෂණය අනෙකා පිළිකුල් කරයි. අනෙකා භීතියට, අවිශ්වාසයට පත් කරයි. කෙටියෙන්ම කිවහොත් එය අනෙකාගේ ද අයහපත පිණිස හේතු වේ. වචනය මූලිකව සිදුකරන අකුසල කර්ම නිසා සමාජයට ද උදාවන්නේ අමිහිරි කල දසාවකි.

ප්‍රාණඝාතය, අනුන්ගේ දෑ සොරකම් කිරීම, කාම මිථ්‍යාචාරය කයින් සිදුවන අකුසල් 03 යි. මේ සැම මඟින් ම මිනිසා පාරිශුද්ධත්වයෙන් මිදෙයි. පව් රැස් කරයි. අපවිත්‍ර වෙයි. මිනිසාගේ නොමිනිස් ගති ඉදිරියට පැමිණේ. එමගින් ඔහු දිනෙන් දින විනාශයට පත්වෙයි. ඒ නිසා දැන හෝ නොදැන, එළිපිට හෝ රහසින් කුමන ආකාරයකින් හෝ පව්කම් නොකළ යුතු ය. පවෙන් දුරින් ම දුරුවිය යුතු ය. පවෙන් ඈත් වී පින කරා යොමුවන්නේ නම්, එය මහත් ආශිර්වාදයකි.

මංගල සූත්‍රයේ ඉහතින් දැක් වූ ගාථාවේ දෙවැනි පාඨයෙන් කියැවෙන්නේ ‘මජ්ජපානා ච සඤ්ඤමො යන්නයි. මජ්ජපාන යනු මදයට හේතුවන පානයන් ය. එනම් මත්පැන් ය. මේ නිසා මුලා ගතිය ඇති වේ. සිහිය මඳ වේ. එය මිනිසාගේ පරිහානියේ මූලික ආරම්භයක් සනිටුහන් කරයි. මත්ද්‍රව්‍ය භාවිත කිරීම නිසා මේ සමාජය කෙතරම් විනාශ භාවයට පත්ව ඇද්ද? ළමා කාලයේ පවුල තුළ ගැටුම් වැටුම්, රණ්ඩු සරුවල්, සාමය සෞභාග්‍ය දිනෙන් දින අවරට යන්නේ පිරිමි පාර්ශ්වය මත්පැනට යොමු වීම මතයි. වර්තමානයේ සමහර කාන්තාවන් ද මත්පැනට යොමු වීම නිසා පවුලේ සුන්දරත්වය බිඳ වැටී ඇත. ඒ නිසා මත්පැන් භාවිතය තමාගේ සෞඛ්‍ය තත්ත්වයට හානි කරන්නක් බව දැන, එයින් තමාටත්, පවුලටත්, මුළු මහත් සමාජයටත් මහත් සේ අනිසි බලපෑමක් කරන බව මනාව හඳුනාගෙන ඉන් වැළකිය යුතු ය.

‘අප්පමාදො ච ධම්මෙසු’ යනුවෙන් පැවසෙන ඉහතින් දැක් වූ ගාථාවේ අවසන් මංගල කරුණ ගැන දක්වන්නේ නම් ධාර්මිකත්වයෙන් යුතුව ජීවත් වීමයි. ඔබ මෙතෙක් දුරට කරගෙන ආ යහපත් ධර්මයට අනුගත ක්‍රියාකාරකම් නැවත නැවත ඔබ කරගෙන යා යුතු ය. කිසිම හේතුවක් නිසා ඒවා අතරමග නතර කොට නොදැමිය යුතු ය. සිතට දිරිගෙන යහපතේ යෙදිය යුතු ය. අප්‍රමාදීව ධර්මයේ හැසිරිය යුතු ය. අප්‍රමාදී බවේ අනුසස් බුදුන් වහන්සේ ‘අප්පමාදො අමතපදං’ ගාථාව මූලික කොටගෙන දේශනා කර ඇත. අප්‍රමාදීව කටයුතු කිරීම ඔබගේ දිවිය ආලෝකවත් කිරීම පිණිස නිතැතින්ම බලපාන්නේ ය. ලෞකික ජීවිතය සුන්දර ලෙස ගත කිරීමට හා අධ්‍යාත්මික සුවය ලබාගැනීමටත් අප්‍රමාදී විය යුතු ය.

ලෝවැඩ සඟරාවේ ‘අද අද එයි මරු පින්කරගන්නේ කෙලෙස ද සෙට මරු නේති සිතන්නේ’ යන පාඨය ඔබට හොඳට මතක ඇති. ඒ නිසා හෙට ගැන නොසිතා අද අදම පිනට නැඹුරු විය යුතු ය. ධර්මයට අනුගතව ක්‍රියා කිරීම ආරම්භ කළ යුතු ය. ධාර්මික දිවි පැවැත්මේ ඇති වටිනාකම මනාව අවබෝධ කොටගෙන ධාර්මික ජීවිතයක් තුළින් ලැබෙන ප්‍රතිඵල ගැන යළි යළිත් සිතා එවැනි ජීවිතයක් සඳහා ඔබත් වෙහෙසිය යුතු ය. ඒ අනුව මේ ගාථා ධර්මයට අනුකූල ලෙස , ජීවත් වන්නේ නම් නිතැතින් ම ඔබේ ජීවිතයේ සුන්දරත්වය උදාවනු නොඅනුමාන ය. එහි ප්‍රතිවිපාක ඔබ පමණක් නොව මුළුමහත් සමාජය ම පී‍්‍රතියෙන් භුක්ති විඳිනු ඇත.