Print this Article


නාගසේන තෙරුන්ගේ අසිරිමත් ප්‍රතිභානය

නාගසේන තෙරුන්ගේ අසිරිමත් ප්‍රතිභානය

ඒ මොහොතේ නාගසේන තෙරණුවෝ අසූ දහසක් භික්ෂූන් පිරිවරාගෙන විහාරයේ වට මළුවේ වැඩහුන් සේක. මිළිඳු රජතුමා ඒ සඟ පිරිස දැක ‘දේවමන්ත්‍රීයෙනි, මේ මහණ පිරිස කවුරුන් වහන්සේ දැයි විචාළේය.

නාගසේන මහ තෙරුන් වහන්සේ ගේ මහණ පිරිස යැයි කී කල්හී කාශ්‍යප බුදු සසුනේ දී ඉදල් මිටෙන් පහර කෑ දවසටත් වඩා තැති ගත්තේ ය. එනමුත් ඒ බවක් නො හඟවා ඔබ මේ සඟ පිරිසේ නාගසේන තෙරුන් කවුද කියා මට හඳුන්වා නොදෙනු. මම හැඳිනගන්නෙමි. පවසා දේවමන්ත්‍රියෙනි, සතළිස් දහසක් භික්ෂූන්ට පසුව, සතළිස් දහසක් භික්ෂූන්ට පෙරාතුව අර වැඩ ඉන්නේ නාගසේන තෙරුන් වහන්සේ නේදැයි විමසුවේ ය. එවිට දේවමන්ත්‍රී ඇමැතිතුමා, “ඔබතුමා තෙරුන් වහන්සේ නිවැරැදිව හඳුනා ගත්තා.” කියා පිළිතුරු දුන්නේ ය. එවිට රජතුමා “මා විසින් ම තෙරුන් වහන්සේ හඳුනාගත්තා” යැයි සිත සතුටු වූ නිසා බිය, තැති ගැනීම් පහව ගියේ ය. ඉන්පසු රජතුමාට මෙවැනි සිතිවිල්ලක් පහළ විය. වාද විවාද ආරම්භ කළ කාලයේ පටන් බොහෝ මහණ බමුණන් දැක ඇතත්, මුන්වහන්සේ හා පිරිස දැක උපන් බියක් කිසිදා ඇති නො වී ය. මෙවර නම් මා ඒකාන්තයෙන් ම පරාජය වන්නේ ම ය. දිනන සේක් නාගසේන තෙරුන් වහන්සේය කියා ය. එමනිසා අනුන් ඇමදු කසළ සැදැහැයෙනුත් නොව පෙළඹවීමෙන් අස්කොට මිළිඳු රජතුමා ලද යස තෙදත්, සැදැහැයෙන් මළු පෙත්මං ඇමද නාගසේන තෙරුන් වහන්සේට ලැබුණු ප්‍රඥා සම්පත්තියත් වටහාගෙන පින් කරමින් වත් පිළිවෙත්වළ නියැළෙමින් අකුසල් දුරුකොට කුසල් වඩන්නට උත්සාහවත් විය යුතු ය.

මිළිඳු රජතුමා නාගසේන තෙරුන්ට වාද නංවයි

එකල්හී මිළිඳු රජතුමා නාගසේන තෙරුන් වහන්සේ වෙත පැමිණ පිළිසඳර කතාබස් කොට එකත්පස්ව වාඩි වූයේ ය. නාගසේනයන් වහන්සේ ද පිළිසඳර කතාබහෙන් මිළිඳු රජුගේ සිත සතුටු කළ සේක. එවිට මිළිඳු රජතුමා නාගසේනයන් වහන්සේගෙන් මෙසේ විමසී ය. ‘පින්වත් භවතාණන් ප්‍රසිද්ධ කවර අයුරින් ද? ස්වාමීනි, ඔබවහන්සේ කවර නමකින් හඳුන්වන්නහු ද? එවිට තෙරුන් වහන්සේ මෙසේ වදාළ සේක. මහරජාණෙනි, මම නාගසේන නමින් ප්‍රසිද්ධ කෙනෙක්මි. මහරජාණෙනි, සබ්‍රහ්මචාරීන් වහන්සේලා මට නාගසේන යන නමින් ආමන්ත්‍රණය කරත්, තව ද, මව්පියෝ මට නාගසේන යනුවෙනුත්, සුරසේන යනුවෙනුත්, වීරසේන යනුවෙනුත්, සිහසේන යනුවෙනුත් නම තබා තිබෙත්. එසේ නමුත් මහරජ, මේ නාගසේන යන නාමය හුදෙක් ව්‍යවහාර මාත්‍රයකි. පැණවීමෙකි. හැඟවීමකි. නාම මාත්‍රයකි. මෙහිලා පුද්ගලයකු ගත නො හැකි ය.

එවිට මිළිඳු රජු වටපිට බලා මෙසේ පැවසුවේ ය. “තවත් පන්සියයක් ගී‍්‍රකවරුනුත්,මේ අසූ දහසක් භික්ෂූන් වහන්සේලාත් මට සවන් දෙත්වා.මේ නාගසේනයන් වහන්සේ මෙසේ පවසති. මෙහිලා පුද්ගලයකු ගත නො හැකි ය කියා මේ කතාව පිළිගත හැකි දෙයක් ද?

මිළිඳු රජු ප්‍රති ප්‍රශ්න නඟයි

එසේ පැවසූ මිළිඳු රජතුමා නාගසේනයන් වහන්සේට මෙසේ පැවසී ය. ‘ඉදින් ස්වාමීනි, නාගසේනයන් වහන්ස, මෙහිලා පුද්ගලයකු ගත නොහැකි නම් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර සොයා හැසුරුණේ කවරෙක් ද? ඒවා පූජා කළේ කවුරුන් ද? ඒවා පරිභෝග කළේ කවරෙක් ද? සිල් රකින්නේ කවුුරුන් ද? භාවනා කරන්නේ කවුරුන් ද? මගඵල නිවන් සාක්ෂාත් කරන්නේ කවුරුන් ද? සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, වැරැදි කාමයේ හැසිරෙන්නේ, බොරු කියන්නේ, මද්‍යපාන කරන්නේ කවුරුන් ද? පංචානන්තරීය කර්ම කරන්නේ කවුරුන් ද? එසේ නම් කුසලයක් ද නැත්තේ ය. අකුසලයකුත් නැත්තේ ය. කුසලාකුසල කර්මයන් කරන්නෙක්වත්, කරවන්නෙක්වත් නැත්තේ ය. කුසලාකුසල කර්මයන්ගේ ඵලවිපාකත් නැත්තේ ය. එසේනම් ස්වාමීනි නාගසේනයන් වහන්ස, යමෙක් ඔබවහන්සේ මරණයට පත් කළොත් ඔහුට ප්‍රාණඝාතය සිදු නො වන්නේ ය. ස්වාමීනි, නාගසේනයන් වහන්ස, මෙසේ ඇති කල්හි ඔබවහන්සේට ගුරුවරයෙකුත් නැත්තේ ය. උපාධ්‍යායන් වහන්සේ නමකුªත් නැත්තේ ය. උපසම්පදාවකුත් නැත්තේ ය.

නාගසේන තෙරුන්ගේ ප්‍රතිභානය

මිළිඳු රජතුමා එසේ පැවසූ විට නාගසේන මහරහතන් වහන්සේ රජතුමා පැමිණි රාජකීය රථය උපමා කර ගනිමින් එම කාරණය පහදා දුන්නේ මෙසේ ය. මහරජාණෙනි, අලවංගුව, රෝද, මැදිරිය, රථ දණ්ඩ, විය දණ්ඩ, රැහැන, කෙවිටිලිය යන මේවා හේතු කරගෙන රථය යන

පිළිගැනීම, සම්මුතිය, පැණවීම, ව්‍යවහාරය නාමමාත්‍රිකව පවතී. එමෙන්ම මගේත් කෙස්, ලොම්, නිය, දත්, සම ආදී දෙ තිස් කුණප කොට්ඨාසයන් නිසාත් රූපය, වේදනාව, සඤ්ඤාව, සංස්කාර, විඤ්ඤාණය නිසාත් ‘නාගසේන’ යන පිළි ගැනීම සම්මුතිය පැනවීම, ව්‍යවහාරය නාම මාත්‍රිකව පවතී. මෙහිලා නො වෙනස් වන දෙයක් වශයෙන්, ජීවයක් වශයෙන් පුද්ගලයෙක් නොලැබේ. එසේ වදාළ නාගසේන තෙරුන් රජතුමාට තවදුරටත් කරුණු පහදා දෙමින් මෙසේ වදාළ සේක. ‘මහරජාණනි, වජිරා භික්ෂුණිය විසින් මාරයා හට පවසන ලද කරුණ අප භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි මෙලෙසින් පවසා තිබේ.

යම් සේ රථයකට අදාළ අංගෝපාංගයන් එක්වූ කල්හි ‘රථය’ යන ව්‍යවහාරය ඇතිවෙයි. ඒ අයුරින් ම උපාදානස්කන්ධයන් ඇති කල්හී ‘සත්වයා’ යන පිළිගැනීම ඇතිවේ.

මිළිඳු රජුගේ පැහැදීම

නාගසේන මහරහතන් වහන්සේ, එලෙසින් පහදා දුන් විට අතිශයින් ම පැහැදීමට පත් වූ මිළිඳු රජතුමා මෙසේ පැවසුවේ ය. ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඉතා අද්භූත ය. ප්‍රශ්නය විග්‍රහ කොට විසඳූ අයුරු අති විචිත්‍ර ය. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සේක් නම්, සාධු නාද පවත්වන සේක් ම ය. සාධු සාධු නාගසේනයන් වහන්ස, ප්‍රශ්නය විග්‍රහ කළ ප්‍රතිභානය නම් අතිවිචිත්‍ර ය. එසේ නාගසේන මහරහතන් වහන්සේට බලවත් සේ ප්‍රශංසා කළ මිළිඳු රජතුමා යළිත් මෙසේ විමසුවේ ය. “ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඔබ වහන්සේ උපසම්පදාව ලබා වස් කීයකින් යුක්ත ද? මහරජාණෙනි, මම වස් සතකින් යුක්ත වෙමි. කියා පිළිතුරු දුන්විට යළිත් හේ මෙසේ ඇසුවේ ය. ඒ කියන්නේ ස්වාමීනි, කවර සතක්ද? ඔබ වහන්සේ සත? එසේ නැතිනම් ගණන් කිරීමෙන් ලැබූ දෙයක් සත? ඒ අවස්ථාවේ දී සර්වාභරණයෙන් අලංකාර වී සිටි මිළිඳු රජතුමාගේ ඡායාව පොළොවෙහි ද, දිය බඳුනෙහි ද දිස් විය. එවිට නාගසේනයන් වහන්සේ මෙසේ පැවසූ සේක. ‘මහරජාණෙනි, ඔබගේ ඡායාව පොළොවෙහි ද, දිය බඳුනෙහි ද දිස්වෙයි. කිම මහරජාණනි, ඔබද රජු නැතහොත් සෙවණැල්ල ද රජු?

“ස්වාමීනී නාගසේනයන් වහන්ස, රජු වනාහී මම වෙමි. මේ සෙවණැල්ල රජු නොවෙයි. සෙවණැල්ල පවතින්නේ මා නිසා ය.” කියා රජු පිළිතුරු දුන්නේ ය. එවිට තෙරුන් වහන්සේ මෙසේ පහදා දුන් සේක. මහරජාණෙනි, ඔය අයුරුම ගණන් කිරීමෙන් උපසම්පදාවෙන් ලත් වස්සාන සත ලැබෙන්නේ. නමුත් මා සත නොවෙයි. ඒ සත් වසර පවතින්නේ මා නිසා ය. මහරජාණනි, සෙවණැල්ල උපමා කොට පැවසුවේ මෙ කරුණ යි. එම පිළිතුරෙන් ද අතිශය සතුටට පත් මිළිඳු රජතුමා මෙසේ පැවසීය. ‘ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඉතා අසිරිමත් ය. ඉතා අද්භූත ය. ප්‍රශ්නය විග්‍රහ කළ අයුරු නම් අති විචිත්‍ර ය යනුවෙනි.