Print this Article


ඒහි පස්සික 27: සාරගත ජීවිතයටම සැලසුමක් ඕනෑ

සාරගත ජීවිතයටම සැලසුමක් ඕනෑ

අපගේ ජීවිතය යහපත් අයුරින් ගත කිරීමට නම් ඉතා කල්පනාකාරී විය යුතු යි. ඇතැම් විට මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අයෙක් නම් ඔහු කල්පනා කළ යුත්තේ එය නොකළ යුතු දෙයක් ලෙස යි.

අයහපත් යමක් පුරුදු වී සිටිය දී, එය නතර කිරීමට නම් එබඳු තැනැත්තා කළ යුත්තේ කුමක් ද? අපහසුවෙන්, අමාරුවෙන් හෝ එබඳු අයහපත් දෑ නතර කර ගැනීමට නම් උදාහරණයක් ලෙස මත්වතුර පානයෙන් ඇති වන්නා වූ ආදීනවයන් ගැන අසා දැනගත යුතු යි.

මත් වතුර පානයේ දී යහපත, අයහපත හොඳ, නරක නොතේරෙන, හැඟීම් වැඩි, පහත් දේවලින් සතුටු වන ස්වභාවයක් ඇති වේ. එබඳු මොහොතක පසු වන්නේ තිරිසන් ගත මානසික මට්ටමක ය.

උදාහරණයක් ලෙස සුරතල් බලු පැටවුන් දෙදෙනෙකු එකට සිටියත්, මස් කටුවක් වැනි දෙයක් ඔවුන්ට ලැබුණු විට ඔවුන් ළඟ පෙර පැවැති, ගති ඉවත් වී ඔවුනොවුන් සපා කන තත්ත්වයකට පත් වේ. එහෙත් නැවතත් එම මස් කටුව කෑමෙන් පසු නැවත පෙර සිටි සුරතල් තත්ත්වයට එක් වනු ලැබේ. වෛරය සිතෙහි නොපවතින හෙයින්, සුළු වෙලාවකින් සපා කන තත්ත්වය දුරු වී සුරතල් වනු ලැබේ. සපා කන ස්වභාවයට ඒ සුරතල් බලු පැටවුන් දෙදෙනාගේ හැඟීම් ප්‍රබල ය. හොඳ නරක නොතේරේ. තැන නොතැන ද නොතේරේ.

බලු පැටියාගේ ස්වාමියා සිටින තැනක වුව ද, හැසිරීම හා ශබ්දය වෙනස් වේ. ආදරය තදින් ඉපදුන ද, හොඳ නරක නොතේරේ.

තමා ඇති දැඩි කරන සුරතල් සතෙකු තමාට තදින් ම ආදරය කරනවා යැයි සිතනු ලැබේ. එහෙත් කවර හේතුවක් නිසා හෝ ඒ සුරතල් සතා වෙත මාස දෙක තුනකින් ආහාර දීමට නොලැබුණහොත් එහි දී ඉතා අයහපත් අයෙකු ලෙසින් වුව ද ඔහුට ආහාර ලබාදුනහොත් ඒ සුරතල් සතා ඒ දෙසට යනු ලැබේ.

යම් ස්ථානයකට ගිය විට එහිදී කතා කළ යුතු ආකාරය, හැසිරිය යුතු ආකාරය හෝ ක්‍රියා කළ යුතු ආකාරය ඇතැම් විට නොතේරී යන ස්වභාවයක් පවතී. ඒ තිරිසන් සත්ත්වයෙකුගේ මානසික තත්ත්වය යි.

මත් වතුර පානය කර, කරට අත දාගෙන යන අය සමහර විට බොහොම සමීප වී කටයුතු කරනු ලැබේ. තවත් මොහොතක් ගතවන විට බහින් බස්වීම් ඇති කර ගෙන, දෝෂාරෝපණය කරමින් අවලාද නගනු ලැබේ. නැවත කවදා හෝ කතා බහ නොකරයි කියා අන්‍යයන් සිතුවත්, තව සුළු මොහොතකින් ඉහත තත්ත්වයන් අමතක වී ඉතා සහෘදයන් බවට එබඳු අය පත් වේ. එහෙත් නැවත අරගල ඇති කර ගනී.

හැඟීම් වැඩි, හොඳ නරක නොතේරෙන මානසික මට්ටමට පත්වේ. එහි පහසුවක් ඇත. තමන් තුළ පැවැති යහපත් ගති ගුණ සියල්ල අමතක වී, පහත් හැඟීම් තුළින් සතුටු වන ස්වභාවයක් පවතී. එවිට තිරිසන් ගත මානසික තත්ත්වයකට පත්වේ.

එබඳු තිරිසන්ගත මානසික තත්ත්වයක් ජීවිතයේ වරින්වර පුරුදු පුහුණු කළොත් වැඩිපුර පුරුදු පුහුණු කළේ යම් දෙයක් ද?, ඒ පුරුදු පුහුණු කළ දේ මරණ සිහියේ දී ආචින්ත කර්මයක්, චේතනාවක් ලෙස පැමිණීමට ඉඩ ඇත. එබඳු අවස්ථාවකට ඇති ඉඩකඩ ඉතා වැඩි වේ. මත්වතුරට ඇබ්බැහි වී එක දිගට පානය කරන අය මියගියාට පසු, තිරිසන් ගත ජීවිතවල ඉපදිය හැකි අවස්ථා වැඩි විය හැකි ය.

මේ කරුණු ටික මත්වතුර පානය කරන අයෙකු කියවා, අසා සිටියා යැයි සිතමු. වෙනදාට වඩා ඒ තැනැත්තා තුළ මත්වතුර පානයෙන් වැළකිය යුතු යැයි සිතිවිලි වර්ධනය වීමට ඉඩ ඇත. ඉන් වැළකිය යුතු යැයි හැඟීමක් ඇති වුවත්, හැඟීම ප්‍රබල නොවන නිසා වළක්වා ගැනීමට නොහැකි ය. එසේ නම් කළ යුත්තේ මෙහි සඳහන් කළ ආකාරයට නැවත නැවත මෙය අත්හළ යුතුයැයි යන හැඟීම ප්‍රබල කර ගැනීම ය. මත්වතුර පානය කරන්නට ඕනෑය යන හැඟීමට වඩා එය පානය නතර කළ යුතු යැයි යන හැඟීම එවිට ප්‍රබල වේ. එසේ මෙනෙහි කළහොත් එය නිරන්තරයෙන් සිදු වේ.

අප දෙස හැරී තීරණ ගත යුතුයි. එය සිදුවන වනුයේ පැහැදිලිව අප මනසේ ක්‍රියාකාරීත්වය එසේ සිදුවන හෙයිනි.

අපගේ ජීවිතයේ යම් දියුණුවකට පා තැබීමට අධ්‍යාපනය ලබන දරුවෙකුට වේවා, නැතහොත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටින අයෙකු වේවා අරමුණු නැති අය ජීවිතයේ අරමුණු ඇතිකරගත යුතුව ඇත. ඒ අරමුණ යහපත් අරමුණක් බවට පත් කර ගත යුතු ය.

සමහර කෙනකුගේ අරමුණු දීර්ඝ කාලීන වේ. තවත් කෙනෙකුගේ අරමුණ ඉතා කෙටි කාලීන වේ. අද කීයක් හෝ මුදලක් හරිහම්බ කර ගෙන, කා බී ජීවත්වීමෙන් ඵලක් ලැබේද? නුවණ ඇති අය අඩු තරමින් තම ජීවිතය ඉදිරි මාසයකටවත් සැලසුම් කර ගනු ලැබේ. ඊටත් වඩා නුවණැති අය ජීවිතය ඉදිරි වසරකට, දෙකකට සැලසුම් කරනු ලැබේ.

ගෙවී ගිය වසරවල දී මෙන් ජීවත් වනවාද? නැති නම් ඉදිරි ජීවිතය සැලසුම් කරනවාදැයි යහපත් තීරණ සැලසුම් කරනු ලබන අය අප අතර නැත්තේ නොවේ. තවත් සමහර අයෙක් සිය ජීවිතයම සැලසුම් කරනු ලැබේ. තවත් සමහර අය මේ ජීවිතය පමණක් නොව, සංසාරගත ජීවිතය ම සැලසුම් සහගතව ක්‍රියාත්මක කරනු ලැබේ.

දීර්ඝ කාලයක් ලොවෙහි ළඟාවිය හැකි අමාරුම ඉලක්කය වූ සම්මා සම්බුද්ධත්වය නම් වූ ඉතා උතුම් ඉලක්කයට සසර ම සැලසුම් සහගතව රැගෙන ගිය උතුමන් වහන්සේ නම් ගෞතම බෝධි සත්ත්වයන් වහන්සේ ය.