Print this Article


මාකන්දන සංකල්ප විහාරය

මාකන්දන සංකල්ප විහාරය

බොදු ජන හදවත් සදහම් සිසිලෙන් සනසවන්නට දහම් රස බෙදා හරින පිළියන්දල මාකන්දන සංකල්ප විහාරස්ථානයේ සාමාජික ආගමික මෙහෙවර අගනේ ය.

කොළඹ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිළියන්දල මාකන්දන වැලිතොටුව වත්ත සුන්දර ගම්පියස මධ්‍යයෙහි රමණීය පරිසරයක මෙම පුදබිම පිහිටා තිබේ.


විහාරාධිපති
උග්ගොඩ ධම්මින්ද හිමි

පිළියන්දල මඩපාත ප්‍රධාන මාර්ගයේ එල්.එස්.වත්ත මංසන්ධියෙන් නැගෙනහිර දිසාවට දිවෙන බටුවන්දරපාරේ කිලෝමීටර් 2 ක් පමණ දුර ගෙවූ විට සංකල්ප පාරේ මීටර් කිහිපයක් යාමෙන් හෝ කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේ මාකන්දනින් දකුණු දිසාවට දිවෙන සුදර්ශන මාවත ඔස්සේ බටුවන්දර මාර්ගයට පිවිස එතැන් සිට එල්.එස්.මංසන්දිය දෙසට මීටර් 150 ක පමණ දුරක් ගමන් කරන විට හමුවන සංකල්ප පාරෙන් විහාරස්ථානයට පිවිසිය හැකි ය.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා 1986 දී කැළෑවෙන්, රූස්ස රබර් වතු යායකින් , අතරින් පතර වෙල්යායකින් වටවී තිබුණු මෙම භූමිය සම්බුදු සසුනට පරිත්‍යාග කරමින් එහි භාරකාරත්වය වත්මන් විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වෙත පවරා ඇත.

වැලිතොටුවවත්ත ප්‍රදේශවාසීන්ගේ ජීවිත දහමෙන් ස්වයංපෝෂිත කරමින් ප්‍රදේශයට ම ආලෝකයක් ලබාදීම සඳහා 1987 උග්ගොඩ ධම්මින්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ එම භූමියෙහි කුඩා ආවාසයක් තනාගෙන එහි වැඩ වාසය සඳහා වැඩම කර ඇත. 1987 වසරේ උන්වහන්සේ ආරම්භ කළ සංකල්ප විහාරස්ථානය මේ වන විට සියලු විහාරාංගවලින් සමන්විත කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ තිබෙන විහාරස්ථාන අතුරින් අද්විතීය විහාරස්ථානයක් බවට පත්ව තිබේ.

සංකල්ප පාර ඔස්සේ සංකල්ප පුදබිම සමීපයට පැමිණෙන විට ඉදිරියෙන් අවුකන අනුරූ බුද්ධ ප්‍රතිමා වහන්සේ ද, මද සුළගේ ලෙළදෙන බෝධීන් වහන්සේ ද සුදෝ සුදුවට බබළන චෛත්‍ය රාජයාණන් වහන්සේද නෙත ගැටේ.

විහාරස්ථ පරිශ්‍රයට පිවිසුණු මොහොතේ දී ම වම් පසින් අලංකාර ශ්‍රී සම්බුද්ධ ප්‍රතිමා මන්දිරය ද බෝධි ප්‍රාකාරයට සම්බන්ධකර ඇති සූවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා ද දකුණු පසින් ධාතු මන්දිරය ද, ශෛලමය ඝණ්ඨා කුලුණ ද, අලංකාර පිළිරූවලින් සමන්විත සතර මහා දේවාලයන්ද , බෝධිරාජයාණන් වහන්සේට වම් පසින් අවුකන අනුරූ බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියසින් සදහම් සුවඳ පතුරුවන ධර්ම ශාලාව ද, ධාතු මන්දිරයට දකුණු පසින් දෙමහල් සංඝාරාමය ද දිස්වේ.

සංකල්ප විහාරස්ථ සංකල්ප දහම් පාසල තුළින් වසරින් වසර රට දැය, සමයට දායාද කරන ගුණ නුවණින් පිරිපුන් පුරවැසියන් සංඛ්‍යාව අති විශාල ය.

මේ නිසා මාකන්දන සංකල්ප විහාරස්ථානය පින්බර සිද්ධස්ථානයක් මෙන්ම වත්මන් තරුණ පරපුරට දැනුම ලබාදෙන අධ්‍යාපනික ආයතනයක් ලෙස ද හැඳින්විය හැකිය.