Print this Article


කඩවත සූරිගම නිකිණි පෙරහර

කඩවත සූරිගම නිකිණි පෙරහර

කඩවත සූරිගම ශ්‍රී සුධර්මාරාම ශ්‍රී නාගාර්ජුන විද්‍යාපීඨ මහ පිරිවෙනේ නිකිණි මහා පෙරහර සහ වාර්ෂික මහා පින්කම අටවැනි වරටත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ජූලි 29 වැනිදා ආරම්භ වූ පින්කම් මාලාවේ අවසානය සනිටුහන් කරමින් සැප්තැම්බර් 07 වැනි දා පෙරහර ග්‍රාම ප්‍රදක්ෂිණා කිරීමට නියමිත ය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
සූරිගම ශ්‍රී සුධර්මාරාමය, නැදුන්ගහහේන
කිරිකිත්ත ශ්‍රී සුධර්මාරාමය යන
උභය විහාරාධිපති පුහුරියේ
ශ්‍රී රතනජෝති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ
සූරිගම
ශ්‍රී සුධර්මාරාමාධිපති
නාරංවල
ශ්‍රී සීලවංශ
මහා ස්වාමීන්ද්‍රයන්
වහන්සේ

 

ශ්‍රී නාගාර්ජුන විද්‍යාපීඨ මහ පිරිවෙනේ
ආරම්භක පරිවේනාධිපති
පරකන්දෙණියේ චන්ද්‍ර කීර්ති ශ්‍රී
නාගාර්ජුන ධම්මවංශ ශාස්ත්‍රී නා හිමි

කඩවත, සූරිගම ශ්‍රී සුධර්මාරාම ශ්‍රී නාගාර්ජුන විද්‍යාපීඨ මහ පිරිවෙන් විහාරස්ථානය නූතනය වන විට සකලවිධ විහාරාංගයන්ගෙන් පරිපූර්ණ විහාරස්ථානයකි. එසේම දෙස් විදෙස් හි ප්‍රචලිත බොහෝ වියතුන් බිහිකළ හා බිහි කරමින් ඉදිරියට ගමන් කරන මෙරට ප්‍රමුඛ පෙළේ විද්‍යස්ථානය කි. පුහුරියේ ශ්‍රී රතනජෝති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් ඇරැඹි සූරිගම ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ ද්විතීය විහාරාධිපති බවට පත්වූයේ නාරංවල සිරි සීලවංශ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවරයා වූයේ පරකන්දෙණියේ ශ්‍රී ධම්මවංශ ශාස්ත්‍රී නාහිමිපාණන් වහන්සේ වන අතර දෙවැනි ශිෂ්‍යවරයා ලෙව්දෙණියේ ධම්මරතන හිටපු විහාරාධිපති හිමිපාණන් වහන්සේ ය.

1860 දී පමණ කුඩා පොල්අතු මඩුවකින් ආරම්භ කළ මෙම පුණ්‍යභූමිය අද වන විට ඉතා දියුණූු විහාරාංගයන්ගෙන් සමලංකෘතව, පැමිණෙන සැමගේ සිත් පහන් කරවන පුණ්‍ය භූමියකි. මෙහි විශේෂ හැරවුම් ලක්ෂය බවට පත්වන්නේ ලෝක ප්‍රකට යතීන්ද්‍රයන් වහන්සේ නමක වූ ආචාර්ය පරකන්දෙණියේ ශ්‍රී ධම්මවංශ ශාස්ත්‍රී නායක ස්වාමීන්වහන්සේ ය.

උන්වහන්සේ පුරා වසර 18 ට වැඩි කාලයක් භාරත දේශයේ සිට තම මාතෘ භූමියට වැඩම කරන විට කපිලවස්තු පුරයේ සිට වැඩම වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ විශාල කරඬුවක තැන්පත් කර ධාතු මන්දිරයේ තැන්පත් කළහ. එහි ආශීර්වාදය ලබමින් උන්වහන්සේ 1975 ජනවාරි 12 වැනි දා ආරම්භ කළ ශ්‍රී සීලවංශ ධර්ම විද්‍යාලය අද වන විට සිසුන් 1800 ට අධික ප්‍රමාණයක් දහම් අධ්‍යාපනය ලබන කීර්තිමත් ධර්ම විද්‍යාලයක් බවට පත්ව තිබේ.

ඊට සමගාමීව 1975 පෙබරවාරි 13 වැනි දා ශ්‍රී නාගාර්ජුන විද්‍යාපීඨ මහ පිරිවෙන ආරම්භ කර ලෝකයට මහත් සේවයක් සිදු කළහ. පිරිවෙන් විහාරස්ථානයේ මෙන්ම ධර්ම විද්‍යාලය තුළින් අධ්‍යාපනය ලද ස්වාමීන් වහන්සේලා මෙරටට පමණක් නොව විදේශයන්හි පවා ධර්ම ප්‍රචාරක කටයුතු මෙන්ම අධ්‍යාපන, ශාස්ත්‍රීය කටයුතු හා සමාජ සුබ සාධන කාර්යයන්හි දක්වන කැපවීම හා අනලස් බව මේ උතුම් පින් බිමට ගෞරවයක් වේ.
ශ්‍රී සුධර්මාරාමාධිපති
ශ්‍රී නාගාර්ජුන විද්‍යාපීඨ මහා පිරිවෙන්
අධ්‍යක්ෂ සිව්වැනි විහාරාධිපති
ලෙව්දෙනියේ ශ්‍රී ධම්මරතන 
මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ

 

වත්මන් විහාරාධිපති ශ්‍රී නාගාර්ජුන
විද්‍යාපීඨ මහ පිරිවෙනේ පරිවේනාධ්‍යක්ෂ
සියනෑ අලුත්කූරු දෙකෝරළයේ
උප ප්‍රධාන අධිකරණ සංඝ නායක ධර්ම කීර්ති ශ්‍රී නාගාර්ජුන ධම්මවංශ
පරකන්දෙණියේ ආර්ය ශ්‍රී මනෝරථ නා හිමි

මෙම කාල වකවානුවේ දී පරකන්දෙණියේ ධම්මවංශ ශාස්ත්‍රී නාහිමිපාණන් වහන්සේ විසින් පින්කම් මාලාවක් ආරම්භ කෙරිණි. ඒ සූවිසි බුදුවරයන් වහන්සේ වෙනුවෙන් පැවැත් වූ වාර්ෂික විවරණ පූජාව යි. ඊට සමගාමීව සර්වඥ ධාතූන් වහන්සේ වෙනුවෙන් පුද පූජා හා මල් පෙරහරක් ද පවත්වා උපහාර දැක්විණි. නූතනය වන විට එම පින්කම් මාලාව මහ පෙරහරක් දක්වා වර්ධනය වී ඇත. විචිත්‍රාකාරයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරයේ සර්වඥ ධාතූන් වහන්සේ වෙනුවෙන් දෛනිකව පූජාවන් මෙන්ම තේවා කටයුතු සිදු කෙරෙන අතරම පසළොස්වක පොහෝ දිනයන්හි විශේෂ තේවාවන් සිදු කරනු ලබන්නේ සුගන්ධ කුටියෙහි වැඩ සිටින ජීවමාන බුදුරජාණන් වහන්සේට දක්වන උපස්ථාන හා සමාන අයුරිනි. යථෝක්ත සියලු තේවා කටයුතු සිදු කිරීමත්, වාර්ෂික මහා පෙරහර උත්කර්ෂයෙන් පැවැත්වීමත් ආදී සියලු කටයුතු සිදු කිරීමේ පුරෝගාමීත්වය දරන්නේ නූතන විහාරාධිපති, පරිවේනාධ්‍යක්ෂ, සියනෑ අලුත්කූරු දෙකෝරළයේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක මහර විහාරාධිපති සංගමයේ නියෝජ්‍ය සභාපති පරකන්දෙණියේ ආර්ය ශ්‍රී මනෝරථ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. ඒ පිළිබඳ අදහස් දැක් වූ උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

තුන්සිත පහදාගෙන ත්‍රිවිධ රත්නය විෂයෙහි බුද්ධෝපස්ථාන පුද පිළිවෙත් පැවැත්වීමෙන් කලට වැසි වසිනවා. ගමට, රටට සමෘද්ධිය, සෞභාග්‍යය උදාවෙනවා. එම කරුණු පෙරදැරිව මගේ ගුරුදේවෝත්තමයන් වහන්සේ විසින් පැවැත් වූ පින්කම් මාලාව මා විහාරාධිපති පදවියට පත් වූ පසුව වඩාත් සැදැහැවත් අයුරින්, ලක්දිව සංස්කෘතියේ අභිවර්ධනයට හේතුවන අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධානය කළා. දීර්ඝ ඉතිහාසයක් ඇති ගෞරවනීය වූ මෙම පූජා චාරිත්‍රය සිදුකිරීම අභියෝගාත්මක කාර්යයක්. දුෂ්කරතා මධ්‍යයේ වුවද, පසුගිය වසර කිහිපය පුරාවට ඉතා සාර්ථක ලෙස ඉටු කිරීමට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය නොමදව මා වෙත ලැබීම සතුටට කරුණක්. මෙවර එය පැවැත්වෙන්නේ අටවැනි වරටයි. පෙරහර ආරම්භයට පෙර පින්කම් මාලාවක් පවත්වනවා. පසුගිය ජූලි 29 වැනිදා සිට අගෝස්තු 11 වැනිදා දක්වා අසූමහා ශ්‍රාවක පුජා පැවැත්වූවා. අගෝස්තු 12 වැනි දා සිට සැප්තැම්බර් 04 වැනිදා දක්වා ධර්ම දේශනා මාලාවක් ද පැවැත්වූවා. සැප්තැම්බර් 05 වැනිදා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා පසුදින දවල් මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරි නමනවා.

සැප්තැම්බර් 07 වැනි දා රාත්‍රී 08.00 ට මහ පෙරහර ග්‍රාම ප්‍රදක්ෂිණා කිරීමට නියමිත ය.

පෙරහර මංගලෝත්සවයේ චමත්කාරය හා අසිරිමත් බව ඉස්මතු කොට දැක්වීමට දක්ෂ උඩරට, පහතරට, සබරගමු, නැටුම් කණ්ඩායම් 45 ක් පමණ සහභාගි වෙනවා. පෙරහර ආරම්භයට දින කිහිපයකට පෙරාතුව පෙර පුහුණුවීම්, පෙරහුරු පැවැත්වීම් තුළින් කලාකරුවන්ගේ කුසලතා වර්ධනය කරගැනීමට මෙන්ම පෙරහරේ ගුණාත්මක අගය වර්ධනය කර ගැනීමට පියවර ගන්නවා. අලි අතුන් 20ට අධික ප්‍රමාණයක් සහභාගි කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. මෙවර කරඬුව වැඩම වන්නේ නැදුන්ගමුවේ රාජ ඇතා විසින්. පෙරහරේ නර්තනය මෙන්ම වාදනය ඉදිරිපත් කරන කුසලතා පූර්ණ සෑම කලාකරුවකුම පෙරහරේ උත්කර්ෂවත් බව වඩාත් වර්ධනය කර ගැනීමට සිය දායකත්වය ලබා දෙනවා. ආරම්භක යුගයට වඩා වැඩි පිරිසක් මේ වන විට පෙරහරට සම්බන්ධ කර ගැනීමට හැකි වී තිබෙනවා. එය අපට සතුටට කරුණක්. මෙහි සියලු බරපැන දරන්නේ ගම්වාසීන් හා ප්‍රදේශවාසී පින්වතුන් විසින්. ඔවුන්ගේ සහයෝගය අපට විශාල ශක්තියක්.

මෙවර පෙරහරේ ගමන් මාර්ගය වන්නේ ගණේමුල්ල - කඩවත පාර, 2 කණුව අසලින් සූරියපාළුව පාර, ඇල්දෙණිය පාර, ශීලවංශ මාවතට පැමිණ නැවතත් විහාරස්ථානයට පිවිසෙනවා.

මහ පෙරහරට සමගාමීව පෙරහරට පෙරදින එනම් සැප්තැම්බර් 06 වැනි දා සවස මල් පෙරහරක් ද පැවැත්වෙනවා. ඒ සඳහා දායකත්වය දරන්නේ නාගාර්ජුන පෙර පාසල හා ශ්‍රී සීලවංශ ධර්ම විද්‍යාලයේ ප්‍රාථමික අංශය යි.

පෙරහර සඳහා වත්මනෙහි හීලෑ අලි ඇතුන් සොයා ගැනීම දුෂ්කර කාර්යයකි. එමෙන්ම අලි ඇතුන් ප්‍රවාහනය, ආහාර ප්‍රශ්නය ද පහසුවෙන් විසඳිය හැකි කටයුත්තක් නොවේ. එහෙත් මේ සියලු අවහිරතා මැඩගෙන කිසිදු අඩුපාඩුවක් ඇති නොවන අයුරින් පෙරහර සංවිධානය කිරීමට මහෝරථ නාහිමියන් සමත් වී ඇත.

පෙරහර නැරැඹීමට එදින ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පැමිණේ. එදින පැමිණෙන සියලු සැදැහැවතුන් සංවර ඇඳුමකින් සැරසී පැමිණෙන ලෙසද පෙරහර නැරැඹීමේ දී තවත් අයෙකුට බාධාවක් නොවන ආකාරයට හැසිරෙන ලෙස ද සංවිධායක මණ්ඩලය සැමගෙන් ඉල්ලා සිටිති.

කෘතවේදීත්වය යනු බෞද්ධ සාරධර්මයකි. මේ උතුම් පෙරහර මංගල්‍යය, පෞරාණික සිරිත් විරිත්වලට අනුව අඛණ්ඩව පවත්වාගෙන යාමට දායක වන පිරිස් බොහෝ ය. විහාරස්ථ කුලඟන සමිතිය, තරුණ බෞද්ධ සංගමය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, කමාන්ඩෝ රෙජිමේන්තුව, පොලීසිය, මහර බන්ධනාගාරය ඇතුළු විහාරස්ථානයට සම්බන්ධ සියලු සංවිධානවල සහ ප්‍රදේශවාසීන්ගේ සහාය මෙහිදී අගය කළ යුතු ය.