Print this Article


ව්‍යසනයට ඔරොත්තු දීම

ව්‍යසනයට ඔරොත්තු දීම


අජාන් බ්‍රහ්මවංසෝ හිමි

ව්‍යසන, විපත් අපට කියාදෙන පාඩම කුමක් ද? එය සිදු වූයේ සුමාත්‍රාවේ ද? වෙනයම් තැනක ද? කොතැනක සිදු වූවත් අන්‍යොන්‍ය උපකාරී සමාජ ජාලයක් පවතිනවා නම්, විපතට පත් ජනයා බොහෝම ඉක්මනට පෙර සිටි තත්ත්වයට පත්වෙනවා.

උදව්වෙන කණ්ඩායම්, පවුල්, මිත්‍රයන්, ඔබ රස්සාව කළ තැන්වලින් ලැබෙන කරුණාව හා පරිත්‍යාගශීලි බව හරිම බලවත්. එවැනි දෑ පවතින සමාජවල විපතට පත් ජනයා විපතින් නැගී සිටිනවා.

ඒත් බෙදුණු සමාජයක, උනුන් අතර සබඳතා විරල සමාජයක අල්ලපු ගෙදර සිදුවන්නේ කුමක්දැයි ජනයා දන්නේ නැහැ. එවැනි සමාජ, අධ්‍යාත්මික රක්ෂණ ඔප්පු නැති සමාජයි. ඒ වගේ සමාජයක වෙසෙන ජනයාට ආදරයක්, මිත්‍රශීලීකමක්, එකිනෙකා රැක බලා ගැනීමක් ලැබෙන්නේ නැහැ. ව්‍යසන මගින් තදට ම පහර වදින්නේ ඒ වගේ සමාජ සංස්ථා පවතින රටවලයි. ඒ වගේ සමාජ පවතින විට පෙර සිටි තත්ත්වයට එන එකත් ලෙහෙසි නැහැ.

මා බොහෝ වතාවක් ඉන්දුනීසියාවට ගොස් තිබෙනවා. ව්‍යසනයන්ට ගොදුරු වූවත්, ඒ සමාජවල පවතින කරුණාව, දයාව නිසා ඔවුන් බොහෝම ඉක්මනට පෙර සිටි තත්ත්වයට එනවා. සුනාමියෙන් පසු මම ශ්‍රී ලංකාවටත්, තායිලන්තයටත් ගියා. අන්තිම සැරේ මා ද අනුග්‍රාහකත්වය දරන සිංගප්පූරුවේ අනාථ ළමයින් සඳහා පවත්වන නිවාසයකට ගිය ගමන මට මතක් වෙනවා. අපේ බෞද්ධ සංගමය ද එම නිවාසයට උදව් වෙනවා. මව්පියන් මියගිය දරුවන් එහි පවුලක්, ප්‍රීතිමත් පවුලක් ලෙස සතුටෙන් ජීවත් වෙනවා.

ජනතාව උනුන් රැක බලා ගන්නවා. එවිට ව්‍යසනයන්ගෙන් සිදුවන විපත් ඉක්මවා යන්නට හැකි වෙනවා. විශාල ධනයක් නැතත්, විශාල සතුටක් තිබෙනවා. විශාල බලාපොරොත්තු තිබෙනවා.

සමහර විට, සමහර දේ අපට පාලනය කරන්නට බැරි වෙනවා. සුනාමියක් නැතිනම් භූමිකම්පාවක් සිදුවෙන විට ඔබ කොහේ ද ඉන්නේ? කියන එක ගැන ඔබට සහිතක වෙන්න බැහැ. ඔබට පිළිකාවක් වැළෙඳන්නේ නැතැයි කියා ඔබට සහතික වෙන්න අමාරුයි. අනිත් ව්‍යසන ගැන වුණත් එහෙමයි. මක්නිසා ද යත් ඒවා ජීවිතයේ ම කොටසක්. ඒ නිසා ඒවා ගැන බිය වෙන්න එපා. ඒ වෙනුවට එවැන්නක් සිදු වූ විට අප එයට ප්‍රතිචාර දක්වන්නේ කොහොමදැයි කල්පනා කිරීම වඩා සුදුසුයි. අධ්‍යාත්මික ජීවිතයට ඔබට දෙන්නට පුළුවන් එක් දෙයක් තමයි එය.

ත්‍යාගශීලිව, ඒවගේ ම සුන්දර විදිහට ප්‍රතික්‍රියා දැක්වීමේ හැකියාව තමයි වැදගත් වෙන්නේ. එමගින් විපතක දී ඊට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද? යන්න ඉගෙන ගනියි. ඒ පිළිබඳ පුහුණුවක් ලබයි. ව්‍යසනයකින් පහර වැදුණ විට ඒ ගැන අසුභවාදීව නැත්නම් නිෂේධාත්මකව කටයුතු කරන්නේ නැතිව දැන් අපි කළ යුත්තේ කුමක්දැයි කල්පනා කිරීම වැදගත්.