Print this Article


අසමසම ගුණ මහිම:  සුඛුමච්ඡවිලක්ඛණං

සුඛුමච්ඡවිලක්ඛණං

12 වන මහා පුරුෂ ලක්ෂණය -  3 කොටස

“කතමා හාසපඤ්ඤා” සමහර පුද්ගලයෙකුට සතුට බහුල, සිනහව උපදවා ගන්න පුළුවන් ඥානයක් පවතිනවා. “සීලං පරිපූරෙති” යමෙක් මේ ප්‍රීතියෙන් අෂ්ටාංග සීලය සමාදන් වෙනවා. සීලය පිළිබඳව ශ්‍රද්ධාවක් ඇති තැනැත්තා සිල් රකින්නේ සතුටින්.

සිල් කඩාගන්නා විට දන්නවා ඊළඟ ජීවිතවල දී ලබන විපාකය ගැන. නියමාකාරයෙන් සිල් රකිනා තැනැත්තා දන්නවා මේ සීලය හරියට රැකීමෙන් අනාගත ජීවිතයේ දී කුමක් ලබන්න පුළුවන් ද කියා. භාග්‍යවතුන් වහන්සේ මෙතන දී පෙන්වා දෙන්නේ පංච සීලය, අෂ්ඨාංගික සීලය, දසාංග සීලය, සාමණේර සීලය, උපසම්පදා සීලය, සමහරු සීලයේ ප්‍රමාණය ඇසූ විට බියට පත්වෙනවා. නමුත් අසතුටට පත්වන්නේ නැහැ. සිල් රකින කෙනා සතුටෙන් සිල් රකිනවා. ඒ වගේ ම සතුටෙන් යුතුව හැම කටයුත්තක් ම සිදු කරනවා.

“ඉන්ද්‍රියසංවරං පරිපූරෙති” හැම මොහොතකම සංවර වූ ඉන්ද්‍රියයෙන් යුතුව කටයුතු කරනවා. “භොජනෙ මත්තඤ්ඤුතං” ප්‍රමාණය දැන ආහාර අනුභව කරනවා. උදේට, දවල්ට වළඳන කෙනෙකුට රාත්‍රියට වැළඳීමෙන් වළකින්න බැහැ. රාත්‍රියට වැළඳීමෙන් වළකින්න බැරිවෙන විට සමහර විට දුකට පත්වෙනවා. නමුත් “හාසපඤ්ඤා” ඇති කෙනාට එහෙම දෙයක් නැහැ. ආහාරයෙන් වැළකීමෙන් පවා සතුටෙන් සිටිය හැකියි. “ජාගරියාන්යොගං” සතුටින් නිදිවරන්න පුළුවන්. සීලක්ඛන්ධං, සමාධික්ඛණ්ධං, පඤ්ඤාක්ඛන්ධං, විමුත්තික්ඛන්ධං, විමුත්තිඤාණදස්සනක්ඛන්ධං මේ හැම දෙයක් ම සතුටින් සිදු කරන්න පුළුවන්. මෙය සතුට බහුල ප්‍රඤාවක්. යමෙකුට නිදිවරාගෙන ඉන්නා විට කේන්ති එනවා. සීලය ආරක්ෂා කරන විට මැසි මදුරුවෙක් වැසුවත් කේන්ති එනවා. නමුත් “හාසපඤ්ඤාව“ පවතින කෙනාට කිසියම් වූ මොහොතක හෝ එවැන්නක් සිදු වන්නේ නැහැ. සෑම දෙයක් ම බොහෝම සතුටින් විඳිනවා. එයයි හාසපඤ්ඤාවේ ස්වභාවය. භාග්‍යවතුන් වහන්සේට මේ ප්‍රඥාව ඒ ආකාරයෙන් ම පිහිටා පවතිනවා.

“ජවනපඤ්ඤාව“ නම් අතීත, අනාගත, වර්තමාන කියන රූපයක් ඇතිවෙනවා නම්, ඒ රූපයේ අනිත්‍ය, දුක්ඛ , අනාත්ම ස්වභාවය ඉතාමත් ම වේගයෙන් අවබෝධ වෙනවා. අප දුකට පත්වෙන කාරණාවක් තියෙනවා නම්, ඒ දුකට පත්වෙන කාරණාව පිළිබඳව දුක ඇතිවෙන්නේ කාලයක් ගිය පසුවය. නමුත් “ජවනපඤ්ඤාව“ පවතින කෙනා ට වැඩිවෙලාවක් ගතවන්නේ නැහැ දුක ඇති කරගන්න. ඒ දේ, ඒ මොහොතෙ ම දුටු ගමන් මේ දුක කියා වැටහෙනවා. ඒ වගේ ම අනිත්‍ය, අනාත්ම දෙයක් කියා වැටහෙනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් හැම දෙයක් ම දකිනවා. දරුවෙක් ඉපදුණා. ඒ දරුවා පිරිමි දරුවෙක් නම් ඉංජිනේරුවෙක් කරනවා. එතැන් සිට අනාගතය ගැන සිතනවා. කොහොමද සැප විඳින්නේ, කොහොම ද දියුණු වෙන්නෙ කියා බොහෝ දුර දකිනවා. හැබැයි මේ ඉපදීම අනිත්‍යයයි, දුකයි, අනාත්මයි යන කාරණාව සිතන්නේ නැහැ. නමුත් ‘ජවනපඤ්ඤාව“ තියෙන කෙනා දන්නවා මේ ළමයා කවදා හරි දවසක මරණයටයි ළංවෙන්නේ. දුකයි, අනිත්‍යයයි. ක්ෂය වෙනවා. ස්ථිරව පවතින්නේ නැහැ. ඒ නිසා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දැක ගැනීමේ හැකියාවක් පවතිනවා.

“තික්ඛපඤ්ඤා” නම් තීක්ෂණ පඤ්ඤාවයි. අපට ද්වේෂයක් ඇතිවෙනවා. ඒ ද්වේෂය හට ගන්නා විට ම දන්නවා, මට ද්වේෂයක් ආවා කියා. සමහර පුද්ගලයන් කේන්ති ගත් පසුව ගේ දොර උපකරණ පොළොවේ ගසා, ගහගෙන, බැණගෙන ආදී වශයෙන් සෑහෙන කාලයක් ගත වූ පසුවයි, මේ කේන්තිය පාලනය වන්නේ. කෙනෙකුට දොස් කියන විට බැන්නා කියා තේරුම් යන්නේ ඒ දේ සිදුවී බොහෝ කාලයක් ගත වූ පසුවයි. නමුත් මේ ‘තික්ඛපඤ්ඤාව’ පවතින කෙනා ද්වේෂයක් සිතට එන විට ම ද්වේෂය නතර කරගන්නවා. තමන් දැන ගන්නවා දැන් මට ද්වේෂයක් ආවා. මේ ද්වේෂය සමඟ ගැටෙන්න හොඳ නැහැ . සිතට ආ ද්වේෂය ඒ මොහොතෙම පාලනය කර ගන්නවා. “උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති” උපන්නා වූ කාම සිතිවිල්ල ඉවසන්නේ නැහැ. “උප්පන්නං ව්‍යාපාදවිතක්කං” උපන්නා වූ ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය, අකුසල ධර්මය, පව්කාර අකුසල කර්මයක් පවතිනවා නම් ඒ හැම දෙයක් ම ඒ හටගත් මොහොතෙ ම නසා දමනවා. එනම් උපන්නා වූ රාගය, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකු බව, ඊර්ෂ්‍යාව, මසුරු බව, මායාව හෙවත් නැතිගුණ පෙන්වීම, සඨ භාවය හෙවත් කපටි ස්වාභාවය. ‘තම්බ’ එනම් ධර්ම දේශනා කරන විටවත් නම්‍ය ස්වභාවයක් නැති කණුවක් සේ නොනැමෙන ස්වභාවය. ‘සාරම්භ’ එනම් එකට දෙකක් කිරීම. මානය, අතිමානය, පුහුමානය, මත්වීම, ප්‍රමාදය එනම්, කුසල්හි නොයෙදීම. මෙවැනි සිතිවිල්ලක් සිතට පැමිණි විට ම “තික්ඛපඤ්ඤාව“ පවතින කෙනා ඒ මොහොතෙම අකුසල ධර්මය නතර කරනවා.

එලෙස ම සියලු දුෂ්චරිත, සියලු සංස්කාර, සියලු භවගාමී කර්ම මේ සියල්ලක් ම ‘තීක්ෂණ පඤ්ඤාව‘ තියෙන පුද්ගලයා ඒ මොහොතෙම නතර කරනවා. තීක්ෂණ පඤ්ඤාව තියෙන පුද්ගලයාගේ ස්වභාවය එයයි. මේවා ඉවත් කරන ක්‍රමයක් ද පවතිනවා. එනම් ‘නාධිවාසෙති’ ඉවසන්නේ නැහැ. ‘පජහති’ විශේෂයෙන් ඉවත් කරනවා. ‘විනොදෙති’ දුරින් දුරු කරනවා. ‘ඛ්‍යන්තී කරොති’ විනාශ කරනවා. ‘අනභාවං ගමෙතීති’ නැවත උපදින්න බැරි ආකාරයට පත් කරනවා. මේ සියල්ලක් ම නතර කරන ප්‍රඥාව තීක්ෂණ ප්‍රඥාවයි.

“නිබ්බෙධිකපඤ්ඤා” නම් මේ ලෝකයේ පවතින සියලුම සංස්කාරයන් පළිබඳව උබ්බේග භය, උත්ත්‍රාස භය යන ස්වභාවයන් දකිනවා. උබ්බේග භය සංස්කාර ධර්මයන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනවා. සංස්කාරයන්ගේ තිබෙන්නා වූ අනිත්‍යතාව පිළිබඳව මෙන්ම තමන් කැමති අකැමැති හැම දෙයක් පිළිබඳව ද අනිත්‍ය ස්වභාවය මේ ‘නිබ්බෙධිකපඤ්ඤාව තිබෙන උත්තමයන් වහන්සේට අවබෝධ වන්නේ ය. ‘අරතිබහුලො’ නොඇල්ම බහුලයි. එනම් ඇලෙන්නේ නැහැ. ‘අනභිරතිබහුලො’ දැඩි නොඇල්ම බහුලයි. ‘බහුමුඛො න රමති සබ්බසඩ්ඛාරෙසු’ භවගාමී කර්ම දෙස බලන්නේ නැහැ. එම භවගාමී කර්මවලින් ඉවත බලාගෙන එනම්, නිවන දෙස බලාගෙන සිටිනවා. ‘අනිබ්බිද්ධපුබ්බං අපදාලිතපුබ්බං’ පෙර සංසාරේ කවදාවත් ඇතිවෙලා නැති කළකිරුණු ස්වභාවයක් පවතිනවා. ලෝභ ස්කන්ධය පිළිබඳව කළකිරෙනවා. සුණුවිසුණු කරනවා. ඒ වගේ ම ආර්ය කළකිරීම් ස්වභාවයට පත්වෙනවා. රහතන් වහන්සේ නමකට පවතින්නේ ආර්ය කළකිරීමක්. ලෞකික කළකිරීමකින් තොරව මේ ලෝකයේ පවතින සියල්ලක් පිළිබඳව කළකිරීමක් ඇතිකර ගන්නවා. කළකිරෙනවා යැයි පවසන්නේ කළකිරීම ඇති කර ගන්නා පුද්ගලයා හැම මොහොතකම සතුටින් ජීවත් වෙනවා. මේ ලෝකයේ සත්‍ය තමන් දැක තියෙනවා යැයි කියා. නිබ්බෙධිකපඤ්ඤා යැයි සඳහන් කරන්නේ මේ නිසයි.

මෙම පඤ්ඤා වර්ග පහ සම්මා සම්බුද්ධත්වයට පත් වූ පසුව ලැබෙන්නකි.