Print this Article


සතිපට්ඨාන භාවනාව 64: සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා සති: සසර සැඩ පහර තරණයට ...

සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා සති:

සසර සැඩ පහර තරණයට ...


සම්මා සති මාර්ගාංගය බුද්ධොත්පාද කාලයක අසන්න ලැබීමත් වාසනාවක්. අබුද්ධෝත්පාද කාලවලදී ආගම, දහමක් ගැන, පැහැදිලි නිවන් මඟක් ගැන , නිවැරැදි දර්ශනයක් පිළිබඳව දැක ගන්න, අසන්න ක්‍රමයක් නැහැ. සම්මා සතිය පැහැදිලි කරන්නේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නමක් විසින්ම ය.

ආනාපාන සති භාවනාව, එනම් හුස්ම ඇතුළුවීම පිටවීම හොඳින් බලාගෙන යාමෙන් සම්මා සතිය හොඳින් තහවුරු වෙයි. මෛත්‍රී භාවනා, බුදු ගුණ භාවනා ආදියෙන් ද සම්මා සතිය දියුණු කර ගන්න පුළුවන්. නිවැරැදි සිහිය තිබුණොත් පමණක්, තම ගුණ දියුණුවෙන් ඉදිරියට යා හැකි යි. පාඩම් කරන්න, පොත පත කියවන්න, බණ, භාවනා කරගන්න සම්මා සතිය අවශ්‍යම යි. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! යනුවෙන් සිය, දහස්වර, මෙනෙහි කිරීමෙන් සිහි කල්පනාව දියුණු වෙයි. මේවා හැකිතාක් පුරුදු, පුහුණු කරගත යුතු යි. සම්මා සතියෙන් මේ ගමන යන්නේ සතර සතිපට්ඨාන දියුණු කරගන්න යි. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ආදී සතර සතිපට්ඨාන දියුණු කර ගැනීම සම්මා සති නම් වෙයි. එනම්, කය අනුව, වේදනාව අනුව, සිත අනුව සහ ධර්මය අනුව බැලීම යි. මෙවැනි ගැඹුරු පාඩම් ඔස්සේ කටයුතු කරගෙන යාමෙන් නිවැරැදි සිහිය පිහිටුවා ගන්න පුළුවන්. සක්මන් භාවනාවේ දී ද හොඳ සිහි කල්පනාවෙන් ‘ඔසවනවා, තබනවා’ යනුවෙන් සිතමින් සක්මන් කළ යුතු යි. ඊළඟට ‘ඔසවනවා , තබනවා, ඔසවනවා, යවනවා, තබනවා’ යනුවෙන් භාවනා කළ යුතු යි. ‘ඔසවනවා, නවනවා, දිග හරිනවා, තබනවා’ යනුවෙන් කරුණු හතරකින් සක්මන් කළ යුතු යි. ‘ඔසවනවා, නවනවා, දිග හරිනවා, යවනවා, තබනවා’ යනුවෙන් ද සක්මන් කළ යුතු යි. ‘ඔසවනවා, නවනවා, දිග හරිනවා, යවනවා, තබනවා, තද කරනවා’ මේ කරුණු හයම සිතමින් ද සක්මන් කළ යුතු යි. මේ සඳහා සම්මා සතිය අවශ්‍ය වෙයි.

‘ආනන්ද, ස්වාමීන් වහන්සේ ට පුදුම ලෙසින් සම්මා සතිය පිහිටියා. එක වචනයක් අසන්නේ එකම වතාව යි. දෙවතාවක් කියන්නට අවශ්‍ය නැහැ. හොඳින් මතක සිටිනවා. එතරම්ම සිහි කල්පනාව හොඳයි. අතීත සංසාරයේ දී ද හොඳින් බණ භාවනා කර, සිහිය දියුණු කළ නිසා උන්වහන්සේට සති සම්පජඤඤය හොඳින් පිහිටියා. මේවා සංසාරයෙන් ගෙනෙන ,අනන්ත ජාතිවල කළ පින්කම්වල විපාක යි. එසේනම්, කවුරු වුණත්, සම්මා සතිය හොඳින් දියුණු කළ යුතු යි. ‘මම කායානුපස්නාව දියුණු කරන්නෙමි, මම වේදනානුපස්සනාව දියුණු කරන්නෙමි, මම චිත්තානුපස්සනාව දියුණු කරන්නෙමි, මම ධම්මානුපස්සනාව දියුණු කරන්නෙමි යනුවෙන් නිතර අධිෂ්ඨාන කළ යුතු යි. ‘මම සම්මා සතියෙන් වැඩ කරමි යනුවෙන් නිතර සිතමින් ද මෙනෙහි කළ යුතු යි. එවිට සම්මා සතිය හොඳින් තහවුරු වෙයි. එවිට බෝධිපාක්ෂික ධර්මයන් ද, සිහි නුවණ ද හොඳින් වැඩෙයි.

බුද්ධාදී උතුමෝ නිවන් සුව අවබෝධ කළේ, සම්මා සතිය මුල් කරගෙන යි. සම්මා සතිය ඇත්තෙක්, මරණයට පත් වුණොත්, දෙව්ලොවට, බඹ ලොවට යා හැකි යි. සම්මා සතියෙන් තොර නම්, අපාගත වෙනවා ම යි. ඒ නිසා හොඳින් මතක තබා ගන්න. නිබඳවම සිහි කල්පනාව, දියුණු කළ යුතු යි. සතර ඉරියව්වේ ම යම් භාවනාවක් මෙනෙහි කරන්නට පුරුදු වන්න. වාහනයක ගමන් කරනවා නම්, ගමන ආරම්භයේ පටන් ගමනාන්තය දක්වාම යම් අරමුණක් මෙනෙහි කළොත්, සිහිය හොඳින් පවත්වාගත හැකි යි. මේවා බුදු දහමට අනුව ඉගෙන ගෙන, වැඩිදියුණු කරගනු ලැබුවානම්, කාටවත් කරදර, පීඩාවක් නොමැතිව පැහැදිලිව, ඉදිරියට යන්නට පුළුවන්.

බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ සිහි කල්පනාවෙන් ම යි වැඩ කළේ. සම්මා සතිය හොඳින් තිබුණා. ඒ නිසා අපට නිවැරැදි සිහියෙන්, සම්මා සතියෙන් වැඩ කරන්නැ’යි උන්වහන්සේ නිතර උපදෙස් ලබා දුන්නා. තණ්හාව, තරහව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව , පළිගැනීම, මාන්නය උඩඟුකම ආදී පහත් සිතිවිලි සිඳ බිඳ දැමීමට අවශ්‍ය කරන්නේ සම්මා සතිය යි. නිවැරැදි සිහිය තිබුණොත්, හොඳින් සිහිය පිහිටුවාගෙන භාවනා කළොත්, තමන්ගේ පාපී සිතිවිලි විනාශ කර දමන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා කවුරුත් සම්බුද්ධ ශාසනය වැළඳගෙන කළ යුතු ගුණ ධර්ම වඩා වර්ධනය කළොත්, කාටවත් කුමන දෙයකින්වත්, කරදරයක් , පීඩාවක් නැතිව ඉදිරියටම යන්න පුළුවන්කම තියෙනවා.

කායානුපස්සනාවේ භාවනා ක්‍රම දාහතරක් ද, වේදනානුපස්සනාවේ භාවනා ක්‍රම එකක් වශයෙන් ද, චිත්තානුපස්සනාවේ භාවනා ක්‍රම එකක් වශයෙන් ද ප්‍රභේද වශයෙන් දාසයක් ද , ධම්මානුපස්සනාවේ ප්‍රධාන භාවනා ක්‍රම පහක් ද වශයෙන් සිහිය දියුණු කරන ක්‍රම විසි එකක් මහා සතිපට්ඨාන සූත්‍රයෙන් පැහැදිලි කළා. සතිපට්ඨාන සූත්‍රය ඉගෙන ගැනීමෙන් සියලු භාවනා ක්‍රම දැන කියාගන්න පුළුවන්කම තියෙනවා. දරුවන්ගේ සිහි නුවණ දියුණු කර ගැනීම සඳහා යම් භාවනාවක් කියා දිය යුතු යි. ‘සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා’ යනුවෙන් සිය දහස්වර මෙනෙහි කළොත් දරුවාගේ සිහි කල්පනාව , පාඩම් ආදිය හොඳින් මතක තබාගෙන ඉහළම ප්‍රගතියකට යා හැකි යි. එසේනම් කවුරුත් නිවැරැදි සිහිය දියුණු කරගත යුතු යි. එවිට සම්මා සතියෙන් වැඩ කටයුතු කළා වෙයි.