Print this Article


උපදේශනාත්මක බණ කතා සාහිත්‍යය: සද්පුරුෂ ස්වභාවය

සද්පුරුෂ ස්වභාවය

“මිනිසා” යනු උසස් මනසක් ඇති පුද්ගලයෙකි. මිනිසා හා සතුන් අතර වෙනසක් පවතින බව ඕනෑම ශිෂ්ටසම්පන්න සමාජයක පිළිගැනේ. මිනිසා සතුනට වඩා ශ්‍රේෂ්ටය. උසස් ය. එහෙත් ඇතැම් අවස්ථාවල නමින් මිනිසෙකු වුවත්, ඔවුන් තුළ මිනිස් ගති තුරන් වී පවතී. සතුන් තුළ මිනිසුනට වඩා පහත් ගති ලක්ෂණ පැවතියත්, ඇතැම් අවස්ථාවල ඇතැම් මිනිසුන්ට වඩා උතුම් ගති ලක්ෂණ සතුන් තුළින් විද්‍යාමාන වේ.

අද්‍යතන සමාජයේ වුව ද, ප්‍රධාන ස්ථානය හිමිවන්නේ මිනිසාට ය. එහෙත් ඇතැම් අවස්ථාවල දී මිනිසා විසින් සිදුකරන පහත් ක්‍රියාකාරකම් නිසා සතුන්ගේ හැසිරීම උසස් නිසාත්, මිනිසා පිළිබඳ පිළිගැනීම පහත් මට්ටමක පවතී. ජාතක පොත හා විශේෂයෙන් වෙනත් බෞද්ධ ග්‍රන්ථ තුළ තිරිසනුන් පිළිබඳව ආදර්ශ සම්පන්න කථා වස්තු බෙහෙවින් අපට හමු වේ. සද්ධර්මාලංකාරයෙහි අන්තර්ගත ඇතැම් කථා වස්තු තුළ සතුන්ගේ වටිනාකම් පිළිබඳව ද තොරතුරු හමු වේ. අද සමාජයට ආදර්ශ සම්පන්න කතා පුවත් එම කථා මගින් උපයාගත හැකි ය. සද්ධර්මාලංකාර ග්‍රන්ථයේ අන්තර්ගත තිරිසනුන් තිදෙනෙකුගේත්, එක්තරා මිනිසකුගේත් ස්වරූපය තුන් යහළු කතා පුවතින් විමසා බලමු. එක් කලෙක ඉන්දියාවේ දඹදිව මහා නියඟයක් ඇතිවිය. වැව් අමුණු , ඇළ දොළ සිඳී ගියේ ය. මිනිසුන්ටත්, සතුන්ටත්, ජලය අතිශයින් ම හිඟ විය. සත්තු සිය දහස් ගණනක් අකාලයේ මිය ගියහ. ගස් කොළන් පවා අකාලයේ මිය යන්නට පටන් ගත්තේ ය. සත්වයෝ සහ සිවුපාවෝ ජල පිපාසාවෙන් එහා මෙහා දිවයන්නට පටන් ගත්හ.

මේ අතර බඩගින්නෙන් හා ජල පිපාසාවෙන් පෙළුණු එක්තරා ගිරා පෝතකයෙක් අසල වනයේ දිරාගිය වෘක්ෂයක් ළඟ තිබූ වතුර වළක හෝඩුවාව දැනගෙන ජල පිපාසය සන්සිඳුවා ගත්තේ ය. එහෙත් ගිරවාට වළෙන් එළියට යෑමට අපහසු විය.

මේ අතර බඩගින්නෙන් පෙළුණු දිව්‍ය නාග රාජයෙකු ද දියට බැස පිපාසය සන්සිඳුවා ගත්තත් එළියට යෑමට අපහසුව එහිම නැවතී සිටියේ ය. වනයට ගිය අසරණ මිනිසකු එම වළට වැටී ගියෙන් එම තිදෙනාම දුක්ඛිතව කල් ගෙව්වේ ය. දිව්‍ය නාගරාජයාට වෙස් වලාගෙන එළියට යා හැකි වුවත්, නාගයාද එහිම සිටියේ ය. තිදෙනාම මරණ බයෙන් පෙළෙන්නට වූහ. ටික දිනක් ගත විය. බරණැස් නුවර තවත් සද්පුරුෂ මනුෂ්‍යයකු කිසියම් කටයුත්තකට වනයට ගොස් දිය පරීක්ෂාවෙන් වළ විමර්ෂණය කළේ ය. පුදුමයට පත් විය. දුක්විඳින තිදෙනා කෙරෙහි කරුණාව උපදවාගත් ඔහු විශාල වැල් ආධාරයෙන් කූඩයක් නිර්මාණය කරගෙන ඔවුන් වළෙන් එළියට ගත්තේ ය.

සද්පුරුෂයාගේ විශාල උපකාරය අතිමහත් ය. තිදෙනාම තමන් ලත් අස්වැසිල්ල නිසා ලොකු සතුටක් උපදවාගෙන සද්පුරුෂ මිනිසාට ප්‍රශංසා කොට ජීවිත දානය ලැබූ නිසා මිත්‍රකමක් ඇතිකරගෙන තමනට අවශ්‍ය වූ අවස්ථාවක ඕනෑම උපකාරයක් ඉල්ලා ලෙසත් තිදෙනාම සමීප ස්ථානයක වාසය කරන බවත් සඳහන් කළහ. තිදෙනාගෙන් පළමුව ගිරා පෝතකයා ඉදිරිපත් විය. බරණැස දකුණු වාහල් දොර නුග ගසක වාසය කරන බවත්, අවශ්‍ය වූ විටෙක කතා කරන ලෙසත්, ඉල්ලා සිටියේ ය. ගිරා පෝතකයා, යනුවෙන් අමතන ලෙස ද දන්වා සිටියේ ය. දෙවනුව ඉදිරිපත් වූ දිව්‍ය නාගරාජයා තමා එම නුගරුක ආසන්නයේ තුඹසක වාසය කරන බවත් අවශ්‍ය වූ විටක තමා අමතන ලෙසත් සුහද ලීලාවෙන් කීය. උපකාර ලැබූ මිනිසා ද, තෙවනුව ඉදිරිපත් වී ස්වාමීනි, අපට උපකාර කළ ඔබට අවශ්‍ය වූ කළ බරණැස්නුවර අසවල් වීදියට අවුත් කතා කරන ලෙස කීය. අනතුරුව තිදෙනාම සතුටු සිතින් එම ස්ථානයෙන් ඉවත් විය. අනතුරුව ටික කලකින් සද්පුරුෂ පුද්ගලයාට අවශ්‍යතාවයක් ඇති වූයෙන් පළමුව ගිරා පෝතකයා ජීවත් වූ නුගරුක සමීපයට ගොස් ගිරවාණෙනි යනුවෙන් ඇමතීය. එම හඬ ඇසුන ගිරා පෝතකයා වහා අවුත් සද්පුරුෂයාගෙන් සුහදව සුවදුක් විචාරා අවශ්‍යයව කුමක්දැයි විමසීය. උපකාර කළ සද්පුරුෂයා තමා අසරණව සිටින බව නිර්භයව පැවසීය. එම අවස්ථාවේ වහා උනන්දු වූ ගිරවා උපකාරකළ පුද්ගලයා සතුටු කිරීමට ක්‍රියා කළේ ය. එම අවස්ථාවේදීම බරණැස් රජතුමා ද අසිරිමත් උද්‍යානයෙහි සිරි නරඹා විනෝද වී උයන්කෙළි සඳහා තම අභරණ ගලවා ස්නානය කිරීමට පටන් ගත්තේ ය.

මෙම ලිපියෙහි ඉතිරි කොටස පුර අටවක පෝදා(සැප්තැම්බර් 06) පත්‍රයේ පළ වේ.