Print this Article


පුද්ගල ස්වභාවය අනුව වෙනස්වන සිතිවිලි

පුද්ගල ස්වභාවය අනුව වෙනස්වන සිතිවිලි

"සමහර අයට කුසල් සිතිවිලි පමණක් පහළ වේ. තවත් සමහර අයට අකුසල සිතිවිලි පමණක් පහළ වේ. තවත් අයෙකුට කුසල් අකුසල් සිතිවිලි දෙක ම පහළ විය හැකි ය. එසේ නම්, අපට සිතිවිලි ගලා එනු ලබන්නේ අප දන්නා ප්‍රමාණයේ තරමට ය."

මනුෂ්‍යයෙකුගේ ජීවිත කාලය දෙස මොහොතක් සිතා බලන්න. දරුවෙකු අධ්‍යාපනය ලබන කාලයේ දී හෝ කවර ලෞකික අරමුණක දී වුවත්, ජීවිතය ආපසු අදින බලවේගය නතර කර ගැනීමට නම් අප කළ යුත්තේ කුමක්දැයි සිතා බැලීම වටී.

කඹයක් දෙපැත්තට ඇදීමේ දී වැඩි ශක්තිමත් දිසාව ට ඒ කඹය ඇදීයන බව සඳහන් කළෙමු. ඒ අනුව සිතිවිලි දෙකක් හට ගැනීමේ දී ශක්තිමත් වැඩි සිතිවිල්ල ක්‍රියාත්මක වේ. එක් එක් තැනැත්තාගේ සිතිවිලි ශක්තිමත් ව පවතින ආකාරය වෙනස් වේ. ඒ ඒ සිතිවිලි හට ගනු ලබන්නේ පුද්ගල ස්වභාවය අනුව වේ.

උදාහරණයක් ලෙස යම් ජනපි‍්‍රය පුද්ගලයෙකුගේ නමක් කියූ විට ඒ තැනැත්තා යහපත් අයෙක් ලෙස එක් අයෙකුට පෙනිය හැකි ය. එහෙත් තවත් අයෙකු ඔහු අයහපත් අයෙකු ලෙස දැකිය හැකි ය. එමෙන් ම තවත් අයෙකු ට ඔහු යහපත් අයහපත් යන දෙඅංශයේ ම ගති ලක්ෂණ ඇති තැනැත්තකු ලෙස දැකිය හැකි ය.

එබඳු තැනැත්තකු යහපත් යැයි පමණක් දන්නා තැනැත්තාට යහපත් විය හැකි අතර එමෙන් ම අයහපත් යැයි පමණක් දන්නා තැනැත්තාට අයහපත් අයෙකු ලෙස කල්පනාවට නැගේ. එමෙන් ම යහපත් සහ අයහපත් යන දෙ අංශයේ ම තොරතුරු දන්නා අය එබඳු තැනැත්තා දෙඅංශයට ම ඇතුලුවන සිතිවිලි පහළ වේ.

ඒ ආකාරයට බලන විට සමහර අයට කුසල් සිතිවිලි පමණක් පහළ වේ. තවත් සමහර අයට අකුසල සිතිවිලි පමණක් පහළ වේ. තවත් අයෙකුට කුසල් අකුසල් සිතිවිලි දෙක ම පහළ විය හැකි ය. එසේ නම්, අපට සිතිවිලි ගලා එනු ලබන්නේ අප දන්නා ප්‍රමාණයේ තරමට ය. අතීත දැනුම ලෙස සිතිවිලි ගලා ඒ. ප්‍රාණඝාත සිතිවිලි කෙනෙකුට නො පැමිණිය හැක්කේ එය වැරැදි සහගත අකුසල සිතිවිල්ලක් ලෙස අසා නොමැති විය හැකි බැවිනි. බුදුබණ නොඅසන මිථ්‍යාදෘෂ්ටික අයෙකු වන්නේ එවිට ය. බෞද්ධයා ඒ බව අසා සිටිය ද, ඇතැම්විට සාර්ථක නොවේ. සමහර අවස්ථාවක දී සාර්ථක වන අතර, ඇතැම් අවස්ථාවක දී එය අසාර්ථක විය හැකි ය. බණ ඇසීම වටිනා අතර, ඉන් එපිට කළ හැකි දෙයක් ඇසීමෙන් පමණක් සිදු නොවේ. ළමයෙකු ක්‍රීඩා කරන විට ඔබ මීළඟ ජයග්‍රහණය සඳහා කළ යුත්තේ මේ කරුණු යැයි යමක් පවසන විට එය ඉතා සාවධානව අසා සිටිනු ලැබේ. දුර පැනීමේ තරග ඉසව්වනම් ඊට සුදුසු ව්‍යායාම කළ යුතුව ඇත. එය සාවධානව අසා සිටිය ද පුහුණුවීමෙහි නොයෙදෙන්නේ නම්, ඔහු ගේ කාය සංවර්ධනය සිදු නොවේ.

බුදුරජාණන් වහන්සේ සිත දියුණු කර ගැනීම සඳහා

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධාන සාසනං

කරණීය මෙත්ත සූත්‍රයෙහි දී කරණීය මත්ථ කුසලෙන යන්තං සන්තං පදං අභිසමෙච්ච ...මේ උතුම් නිවන සඳහා කළ යුතු දේ සඳහන් වේ.

අප ධර්මය කියවීමෙන් ද කළ යුතු දේ නොකරන්නේ නම්, පෙර සිටි තැනම බව අමතක කළ යුතු නොවේ. දුර පැනීමට අපේක්ෂා කරන ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව උපදේශකගෙන් ඊට අදාළ සියලු දෑ විමසා ලියා දැන ගනු ලැබේ. එමෙන්ම තවත් අයෙකුට කියාදීමට ද හැකියාව ඇත. අදාළ පුහුණුව නොලැබුවත් උපදේශක විසින් කියාදුන් සියල්ල ලියා ගත් බැවින් තවත් අයෙකුට කියා දිය හැකි ය. එමෙන් ම හොඳින් ධර්මය අසා ගත් අයට ද ධර්මය කියාදීමට හැකි ය. එහෙත් පාපයෙන් ගැලවිය නොහැකි ය. ඒ කළ යුතු දේ නොකිරීම හේතුවෙනි. අප මේ වන විට යම් පීඩාවකින්, ඇබ්බැහිවීමකින් යමක් උදෙසා පසුතැවෙන්නේ නම් ඊට හේතුව කුමක්ද?

ඇතැම් අයෙකුට දිනකට අවම පැය අටක්වත් නිදා ගත යුතුයි. දිනකින් 1/3ක් ප්‍රමාණයක් නින්දට වැය කරන විට වයස අවුරුදු හැටක තැනැත්තකු කෙතරම් ප්‍රමාණයක් නින්දට කාලය වැය කරන්නේද? විසි වසරක් නින්දට වැය කළානම් ප්‍රයෝජනවත් දේට වැය කිරීමට කාලයක් ඉතිරිව පවතීද?