Print this Article


සිරිලක සුපතල බෙල්ලන්විල රාජමහා විහාරය

සිරිලක සුපතල බෙල්ලන්විල රාජමහා විහාරය


බෙල්ලන්විල රාජමහා විහාරයෙහි වංශ කතාව ආරම්භ වන්නේ දෙවනපෑතිස් රජ දවස ශ්‍රී මහා බෝධියෙහි අංකුරයක් මෙම පුණ්‍ය භූමියෙහි රෝපණය කිරීමෙන් පසුව යි. නමුත් ශ්‍රී ලාංකේය ජනතාවගේ පමණක් නොව විදේශීයයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වන විහාරස්ථානයක් බවට පත් වන්නේ අපවත් වී වදාළ බෙල්ලන්විල සෝමරතන නා හිමියන් 1946 විහාරාධිපති ධූරයට පත්වීමත් සමඟ ය. එතැන් සිට වර්තමානය දක්වා ම අතිපූජනීය විහාරස්ථානයක් වශයෙන් මෙම විහාරය චිර ප්‍රසිද්ධියට පත්ව ඇත.

බෙල්ලන්විල රාජමහා විහාර වංශ කතාව ආවර්ජනය කරන විට එහි යුග තුනක් දක්නට ලැබේ. දෙවන පෑතිස් යුගය යුගයෙහි විහාරස්ථානය පිහිටුවීම, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුගයේ 6 වැනි පැරකුම්බා රජදවස විහාරය නගා සිටුවීම සහ 19 වන සියවසේ මැද භාගයේ දී තෙන්ගොඩගෙදර තෙරුන් වහන්සේ නැවතත් මෙම විහාරය සොයා ගැනීම යි. ඒවගේම වර්තමානයේ බෙල්ලන්විල විහාරස්ථානයෙහි පුනරුදයට ද යුග පුරුෂයන් හෙවත් යතිවරු තිදෙනෙක් මුල්වී ඇති බව නොරහසකි. මෙම විහාරස්ථානය ලෝ සුපතළ කරනු වස් දිවා රෑ නොබලා කටයුතු කළ වර්තමාන විහාරස්ථානයෙහි නිර්මාතෘ අපවත් වී වදාළ බෙල්ලන්විල සෝමරතන නාහිමි යුගය යි. උන්වහන්සේ බෙල්ලන්විල පන්සලට පමණක් නොව බොරැලැස්ගමුව, අත්තිඩිය හා බෙල්ලන්විල යන ග්‍රාමයන්ට සිදුකළ ජාතික හා ආගමික සේවාව අද පමණක් නොව තවත් වසර දහස් ගණන් බොදු ජනතාවගේ හදවත් තුළ සටහන් වනු නො අනුමාන ය. සෝමරතන නා හිමියන්ගේ අපවත්වීමෙන් පසුව විහාරාධිපති ධුරයට පත්වන්නේ ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් ය. සෝමරතන නා හිමියන්ගේ යුග මෙහෙවර තවදුරටත් එලෙසම පවත්වාගෙන යාම උදෙසා උන්වහන්සේ ඇප කැපවීම නිසා ම අද වන විටත් මෙම විහාරස්ථානය තවදුරටත් ජාත්‍යන්තරයෙහි බබළවන්නට හැකියාව ලැබී තිබේ. එනමුත් උන්වහන්සේ සිංගප්පූරුවේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙහි වැඩවාසය කරන හෙයින් මෙම විහාරස්ථානයේ විහාරාධිකාරි වශයෙන් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියන් පත්කරමින් විහාරස්ථානයෙහි සියලුම කටයුතු පවරන ලදී. ඒ අනුව මහාචාර්ය විමලරතන අනු නාහිමියන් දෙවැනි යුග පුරුෂයා වශයෙන් හඳුන්වා දීම වරදක් නොවේ. 2018 පෙබරවාරි මස 04 වන දින අපවත් වනතුරු දශක කිහිපයක් පුරාවට උන්වහන්සේගෙන් බෙල්ලන්විල රාජමහා විහාරයට පමණක් නොව බෞද්ධ ලෝකයට ම සිදු කරනු ලැබුවේ අනූපමේය සේවයකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවයට එක් වූ උන්වහන්සේ අධ්‍යයනාංශ ප්‍රධාන මෙන්ම විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන් ද සේවය කරනු ලැබූ අතරම බෞද්ධ පොත්පත් රාශියක් ලියා පළ කරමින් බුදු දහමෙහි හරය බෞද්ධයන්ට වටහා දෙන්නට ක්‍රියා කළ යතිවරයෙකි.

විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියන්ගේ අපවත්වීමෙන් පසුව විහාරාධිපති වශයෙන් විහාරස්ථානයෙහි සියලු වගකීම් භාරගනිමින් කටයුතු කරන්නේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නා හිමිපාණන් වහන්සේ ය. ආචාර්ය ධම්මරතන නා හිමියන් අපවත්වී වදාළ බෙල්ලන්විල සෝමරතන නාහිමිපාණන් වහන්සේගේ අඩි පාරේ යමින් බෙල්ලන්විල විහාරවංශය එලෙසම ආරක්ෂා කරගැනීම උදෙසා උරදෙන යතිවරයාණන් වහන්සේ නමක් වශයෙන් හඳුන්වාදීම අතිශයෝක්තියක් නොවේ. බොහෝ කාලයක් සිංගප්පූරුවේ වැඩවාසය කරනු ලැබූවත්, බෙල්ලන්විල සම්ප්‍රදාය මැනවින් අවබෝධ කොට ගෙන ඇති උන්වහන්සේ එය මැනවින් පවත්වාගෙන යාම උදෙසා කටයුතු කරනු ලැබේ. එනිසාම ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නා හිමියන් වර්තමාන බෙල්ලන්විල පුනරුදයෙහි තෙවැනි යතිවරයා වශයෙන් හැඳින්වීම වඩාත්ම නිවැරැදි ය. 1984 වර්ෂයේ අගෝස්තු මස සෝමරතන නා හිමියන් අපවත්වීමෙන් පසුව විහාරස්ථානයෙහි නායකත්වය භාරගත් උන් වහන්සේ එතැන් සිට මෙම වර්ෂය දක්වා ම සෑම වසරක ම බෙල්ලන්විල ඇසළ පෙරහරට සහභාගිවීම සඳහා සිංගප්පුරුවේ සිට වැඩම කළ බව සඳහන් කළ යුතු ම ය. විහාරාධිකාරි අපවත්වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන් පෙරහර කටයුතු මැනවින් සංවිධානය කරමින් විහාරස්ථානයෙහි සියලු කටයුතු සොයා බැලුවත් විහාරාධිපති වශයෙන් ආචාර්ය ධම්මරතන හිමියන් ඒ සඳහා අනුශාසනා ලබාදීමට අමතක නොකළ හ. එසේ ම විමලරතන නාහිමියන් ද එම අනුශාසනා පිළිපදිමින් කටයුතු කිරීමට ද යුහුසුළු වු යතිවරයාණන් වහන්සේ නමකි.

කළගුණ සැලකීම බුදු දහමේ උත්තරීතර මිනිස් ගුණාංගයක් ලෙස ඉගැන්වෙන අතර ම මියගිය තම මව්පියන් හා ගුරුවරුන්ට පින්පෙත් දීම ද උතුම් ගුණාංගයකි. එකී ගුණය උතුම් මිනිස් ගුණයක් බවට ප්‍රකට කරනු වස් බෙල්ලන්විල රාජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නා හිමියන් අපවත් වී වදාළ තම ගුරුදේවෝත්තම බෙල්ලන්විල සෝමරතන නා හිමියන් සහ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියන් සදානුස්මරණය කිරීම උදෙසා ගුණානුස්මරණ මන්දිරයක් ඉදි කොට තිබේ. ගුණානුස්මරණ මන්දිරයෙහි බෙල්ලන්විල සෝමරතන නා හිමියන් පරිහරණය කරන ලද දෑ සහ මහාචාර්ය විමලරතන හිමියන් පරිහරණය කරන ලද භාණ්ඩ මෙන් ම උන්වහන්සේ විසින් රචනා කරන ලද සියලුම ශාස්ත්‍රීය ග්‍රන්ථ ද තැන්පත් කර ඇත. අපවත් වී වදාළ බෙල්ලන්විල සෝමරතන නාහිමියන් වෙනුවෙන් සහ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියන් වෙනුවෙන් සංඝගත දක්ෂිණාවක් පවත්වනු ලැබී ය. අනතුරුව අගෝස්තු මස 8 ,9, සහ 10 වන දින බෙල්ලන්විල සෝමරතන නා හිමියන් වෙනුවෙන් සහ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන් සිහිපත් කරනු වස් ධර්ම දේශනා මාලාවක් විහාරස්ථානයෙහි පවත්වනු ලැබිණි.

බෙල්ලන්විල ඇසළ මහා පෙරහරේ වැඩකටයුතු ආරම්භ වන්නේ ඉන් අනතුරුව ය. 2019 වර්ෂය වෙනුවෙන් ඇසළ පෙරහරෙහි කටයුතු ආරම්භ වන්නේ අගෝස්තු මස 11 දින සති පිරිත් ආරම්භ කිරීමෙනි. ඇසළ පෙරහරේ කටයුතු නිමා වන්නේ අගෝස්තු මස 25 වන දින ය. මෙම විහාරස්ථානයේ නිර්මාතෘ අපවත් වී වදාළ බෙල්ලන්විල සෝමරතන නා හිමියන් විසින් 1950 දී පමණ මෙම ඇසළ උත්සවය ආරම්භ කරනු ලැබූ අතර, එලෙස ඇසළ උත්සවයක් පැවැත්වීමට බලපෑ හේතු සාධක ද උන් වහන්සේ අපවත්වීමට පෙර බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ කර තිබේ. බෙල්ලන්විල බොරැලැස්ගමුව සහ ඒ අවට ගම්වල වසංගත රෝගයක් පැතිර ගොස් තිබෙන අතර එහිදී බොහෝ ගවයින්ට මෙම රෝගය වැළදුණු බව එවකට සිටි ජනතාව ද ප්‍රකාශ කරයි. කෘෂිකාර්මික ජීවනෝපායක් ගෙන ගිය ජනතාවගේ ගවයන්ට මෙම වසංගත රෝගය පැතිර යාම නිසා ජීවනෝපායන් කරගෙනයාමට නො හැකි තත්ත්වයක් ද උදා වී තිබිණි. මෙම අවස්ථාවේ දී බෙල්ලන්විල සෝමරතන නාහිමියන් විසින් පුරා සතියක් පිරිත් සජ්ඣායනා කිරීමෙන් අනතුරුව ඇසළ උත්සවයක් පවත්වා තිබෙන අතර එයින් පසුව මෙම වසංගත රෝගයෙන් පීඩා විඳින්නට නොවුණු බව අද ද බෙල්ලන්විල සහ ඒ අවට ජනතාව ඉතා ගෞරවයෙන් යුතුව මෙම ඇසළ උත්සවයට සහභාගිවීමෙන් සනාථ වේ.

ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් බොහෝ දෙනෙක් බෙල්ලන්විල බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලැබුවන් බව සඳහන් කළ හැකි ය. විශේෂයෙන් ම ගර්භනී අවස්ථාවේ දී බොහෝ මව්වරුන් මෙම බෝධීන් වහන්සේට වැඳ නමස්කාර කිරීමට කැමැත්තක් දක්වනවා පමණක් නොව දරුවා මෙලොවට බිහි වූ පසුව, පළමුව රැගෙන එන්නේ ද, මෙම විහාරස්ථානයට ය. ඒ බව සතියේ සෑම බදාදා දිනකම උදේ වරුවේ දැක ගැනීමට අවකාශ තිබේ. මෙම විහාරස්ථානයේ ඇසුර ලද බොහෝ දෙනෙක් වර්තමානය වන විට ජීවිතය ඉතාමත්ම සාර්ථකත්වයට පත්කරගෙන සිටින බව නො රහසකි. මෙහිදී විශේෂයෙන් ම සඳහන් කළ යුතු වන්නේ මෙම ලිපිය ලියන මා ද මහණවීමට පෙර මෙම බෝධීන් වහන්සේගේ සෙවණ මත පිහිටි බෙල්ලන්විල ශ්‍රී බෝධිරාජ දහම් පාසලේ අධ්‍යාපනය ලද සිසුවෙකු වීමයි. ඒ බව මෙම අවස්ථාවේ දී ඉතාමත් ම ගෞරවයෙන් සහ ආඩම්බරයෙන් සටහන් කරමි.

බෙල්ලන්විල ඇසළ පෙරහර ශ්‍රී ලංකාවේ සංස්කෘතිකාංග ආරක්ෂා කරන, පෝෂණය කරන තෝතැන්නක් ලෙස ද සඳහන් කළ හැකි ය. ඇසළ පෙරහර වර්ණවත් කරන්නේ උඩරට පහතරට සහ සබරගමු යන දේශීය නර්තන, වාදන හා ගායනා වලිනි. එවැනි අංග වාර්ෂිකව පැවැත්වෙන පෙරහරට දායක කරගැනීමෙන් ශ්‍රී ලංකාවේ සංස්කෘතිකාංග ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට දායකවීමක් ලෙස සැලකිය හැකි ය. ඒ අනුව බෙල්ලන්විල ඇසළ පෙරහර බෞද්ධාගමික වත්පිළිවෙත් මුල් තැනක් ගැනීම සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතිකාංග යන අංශ දෙකකින් ශ්‍රී ලංකාවාසී ජනතාවට වැදගත් වන පෙරහරක් ලෙස ඇගයීමට ලක් කළ හැකි ය.

මේ අයුරින් සකස් වන බෙල්ලන්විල රාජමහා විහාරයේ 69 වන වාර්ෂික ඇසළ පෙරහරේ වැදගත් ම අංශය වන සති පිරිත් දේශනය, සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවගේ ආරක්ෂාව සෞභාග්‍ය හා සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කරමින් අගෝස්තු මස 11 වන දින සිට 17 වන දින පවත්වන ලද අතර කුඹල් පෙරහර 17 දිනත් මල් පෙරහර 18 වන දින සිට 21 වන දින දක්වාත් 22 වන දින පාවාඩ පෙරහරත් 23 දින රන්සිවිලි පෙරහර පැවැත්විණි. රන්දෝලි මහා පෙරහර 24 වන දින රාත්‍රී වීථි සංචාරය කිරීමට නියමිත ය.

අගෝස්තු මස 25 වන දින බොරැලැස්ගමුව තොටුපොළේ දී ය. දිය කැපීමෙන් පසුව දේවාදානය පිළිගැන්වීමෙන් අනතුරුව 2019 වසරේ බෙල්ලන්විල ඇසළ පෙරහර නිමාවට පත් වෙයි.