Print this Article


ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ 21 වන උපාධි ප්‍රදානෝත්සවය 23 වන දා


ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ 21 වන උපාධි ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී 23 වන දා පැවැත්වේ

 

Honorary Degrees

Dr. Ashin Nyanissara
Vise Sangha Raja
 
Master Jiqun

සම්මානිත මහාචාර්ය
වෝල්ටර් මාරසිංහ


සඟ සසුනට සවියක්

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙහි විසි එක් වැනි උපාධි ප්‍රදානෝත්සවය මෙම අගෝස්තු මස 23 වැනි දින සිදුකිරීමට නියමිතව ඇත. මෙරට විශේෂයෙන් මහා සංඝයා වහන්සේලාගේ අධ්‍යාපන තත්ත්වය දියුණු කරනු සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය පිහිටුවන ලද්දේ මතු බලාපොරොත්තු ඇතුව යි. පාලි භාෂාව බුද්ධ කාලයේ පටන් මේ දක්වා ප්‍රමුඛස්ථානය ක පැවැති භාෂාව කි. ත්‍රිපිටක ධර්මයට අයත් සියලු තථාගත දේශනාවෝ ලියැවී ඇත්තේ පාලි භාෂාවෙනි. එයිනුත් විනය පිටකයට අයත් පාලිය ප්‍රභාෂ්වර ය - වඩාත් පැහැදිලි ය. දැඩි රුචියකින් යුතුව කියවීමට කවුරුත් කැමැති ය. සූත්‍ර පිටකය ඊට වඩා තරමක් ගැඹුරු වුව ද , අභිධර්ම පිටකයෙහි කියැවෙන චිත්ත - චෛතසික ධර්මයන් පිළිබඳව කරුණු වඩාත් ම ගැඹුරු බව පෙනේ.

භික්ෂූන් වහන්සේලා වශයෙන් අපටත්, එයිනුත් ථෙරවාදී භික්ෂු පරපුරට මේ පාලි භාෂා දැනුම අතිශයින් ම ප්‍රයෝජනවත් ය. එබැවින් - එදා මෙදා තුර ලංකාව ඇතුළු ථෙරවාදි රටවල පාලි භාෂාව මහත ්වූ ලැදිකමකින් යුතුව ථෙරවාදි සඟ පරපුර විසින් භාවිතා කරන ලද හ. හෝමාගම - ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයක් පිහිටුවන ලද්දේ එම අරමුණ මුල්කර ගෙන ම ය. මේ පාලි භාෂාව ලංකාව - තායිලන්තය - බුරුමය - කාම්බෝජය - ලාඕසය යන රටවල මහා සංඝයා වහන්සේ නිසි පරිදි ඉගෙන කියාගෙන - තමන්ගේ ආගමික භාෂාව වශයෙන් “පාලිය” භාවිතා කරතොත් භික්ෂූන් වහන්සේලා වශයෙන් මේ රටවල් පහේ සඟ පිරිසට දැනුමක් වගේ ම දැඩි එකමුතුකමක් ඇති කර ගැනීම ට ද ඉමහත් ප්‍රයෝජනයක් වන්නේ ය.

මේ කරුණු සලකා බලන විට ඇදුරුවරුන් විසින් පාලි භාෂාව පිළිබඳව වැදගත් දැනුම් සම්භාරයක් අපේ තරුණ භික්ෂුන් වහන්සේලා ට ලබාදීම බෙහෙවින් ම අගය කළ යුතු ය. එබැවින් මෙහි අධ්‍යාපනය ලබන සියලු භික්ෂූන් වහන්සේලා පාලි භාෂාව පිළිබඳව වඩ වඩාත් ගැඹුරු ලෙස දැනගනිමින් කටයුතු කිරීමට උනන්දු වීම බෙහෙවින් ම ප්‍රශංසාත්මක ක්‍රියාවක් බව දක්වාලිය යුතු ය. ඒ අනුව, ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය තව තවත් දියුණුවට පත්වේවා. එසේම පෘථුල දැනුමක් ඇති සඟ පිරිසක් ඇතිවීමට මෙම ආයතනය ශක්තිමත් අනුබලයක් වේවා යි යන්න අපගේ නොවක් පැතුම යි.


උත්කර්ෂවත් සේවාවක් සිදු ක උත්කර්ෂවත් සේවාවක් සිදු කර ඇත ර ඇත

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ආරම්භ කොට 36 වසරක් ගත වන අතර එහි 21 වන උපාධි ප්‍රදානෝත්සවය 2019 අගෝස්තු මස 23 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත. එකී අභිමානවත් අවස්ථාව වෙනුවෙන් සුබාශිංසන පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම ගැන විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යායයන් වහන්සේ වශයෙන් මම අතිශයින් සතුටට පත් වෙමි.

මෙම උපාධි ප්‍රදානෝත්සවයේ දී දේශීය හා විදේශීය විද්වතුන් තිදෙනෙකුට ගෞරව උපාධි පිරිනැමීමට කටයුතු යොදා ඇත. බාහිර හා අභ්‍යන්තර ප්‍රථම උපාධිධාරින් 695 දෙනෙකුට උපාධි පිරිනැමීමට නියමිත අතර, ආචාර්ය උපාධිධාරීන් 7 දෙනෙකුට, දර්ශනපති උපාධිධාරීන් 7 දෙනෙකුට හා ශාස්ත්‍රපති උපාධිධාරීන් 103 දෙනෙකුට සහ සාහිත්‍ය චක්‍රවර්තී සම්මාන උපාධිධාරීන් 3 දෙනෙකුට උපාධි පිරිනැමීමට නියමිතව ඇත. එකී උපාධිධාරින් සියලු දෙනාට මාගේ ශුභාශිංසනය පිරිනමමි.

බුදු දහම හා තදානුබද්ධ විෂය ක්ෂේත්‍රයන් ඔස්සේ අධ්‍යයන හා පර්යේෂණ කටයුතුවලට විද්‍යාර්ථීන් යොමු කරවීම සහ ඒ තුළින් ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයට ජාති, ආගම්, කුල, ගෝත්‍ර ආදී සීමාවන් ඉක්මවා විපුල සේවාවක් සිදුකළ හැකි දැනුමෙන්, අවබෝධයෙන් සහ ආකල්ප සම්පත්තියෙන් යුක්ත විද්‍යාර්ථීන් බිහි කිරීම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මූලික අරමුණක් වේ. 36 වසරක අභිමානවත් ඉතිහාසය තුළ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය එකී අරමුණු සපුරනු වස් උත්කර්ෂවත් සේවාවක් සිදුකර ඇති බව අභිමානයෙන් යුතුව සිහිපත් කරනු කැමැත්තෙමි.

දශක තුනහමාරක ඉතිහාසය තුළ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපාධි හා පශ්චාද් උපාධි ලබා පිටව ගිය දහස් ගණන් ශාස්ත්‍රධරයන් ලොව පුරා විසිර ඇති අතර, ඔවුන්ගේ උත්කර්ෂවත් සේවාව තුළින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ලෝකයේ කීර්තියට පත්ව ඇති අතර, අද දින උපාධි ලබා පිටව යන ශාස්ත්‍රධරයන්ට ද උත්තුංග සේවාවක් සිදු කිරීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.

භෞතික හා මානව සම්පත් අසම්පූර්ණ පසුබිමක ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ආරම්භ වුවත් වර්තමානය වන විට එය සියලු මානව හා භෞතික සම්පත්වලින් පිරි විශ්ව විද්‍යාලයක් බවට පත් කරගැනීමට හැකි වූයේ මෙකී කාල පරාසය තුළ බලයට පත් වූ රජයන්ගෙන් ලැබුණු පූර්ණ අනුග්‍රහයත්, මහෝපාධ්‍යායයන් වහන්සේලාගේ හා අධ්‍යයන/අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ කැපවීම ත් නිසා බව සඳහන් කළ යුතු වේ.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලෝකයේ ද ප්‍රමුඛ ත ම විශ්ව විද්‍යාලය බවට පත්කරවීමට අප විසින් දරනු ලබන ප්‍රයත්නයට සියලු දෙනාගේ ආශිර්වාදය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි.


බුදුදහම ගැඹුරින් හැදෑරීමේ අවස්ථාව පුළුල් කොට ඇත

ථෙරවාදී බෞද්ධ චින්තනයේ චිරස්ථිතියට හා අභිවෘද්ධියට කැප ව සිටින ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ 21 වැනි උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් සුබාශිංසනය කිරීමට ලැබීම මාගේ ඉමහත් සංතෘෂ්ඨියට හේතු වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ව බුදු දහම සුරක්‍ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම පැවරී ඇත්තේ රාජ්‍ය තන්ත්‍රයට ය. ඊට අනුගත ව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයට අවැසි සියලු භෞතික අවශ්‍යතා සපුරාලමින් අප රජය ශ්‍රී ලාංකීය විද්‍යාර්ථීන් හට බුදු දහම ගැඹුරින් හැදෑරීමේ අවස්ථාව පුළුල් කොට ඇත. එමතු ද නොව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය අද වන විට අන්තර් ජාතික වශයෙන් ද දිනා සිටිනුයේ ප්‍රමාණික කීර්තියකි.

අතීතයේ සිට ම මෙරට ශාසනය හෙබ වූ ධර්මධර, ධර්මවාදී භික්ෂූන් වහන්සේලාට හිමි වූයේ අද්විතීය ස්ථානයකි. මෙබ ඳු විද්‍යස්ථානයක් මගින් ප්‍රදානය කරනු ලබන උපාධි වර්තමාන භික්ෂූන් වහන්සේලා අතුරෙහි ද එවැනි ම ධර්මධර, ධර්මකාමී භික්ෂු පරම්පරාවක් පහළ කිරීමට හේතු කාරක වේ.

මෙකී විශ්ව විද්‍යාලය ලොව ප්‍රබල දේශයන්හි අනුබද්ධ ආයතන පිහිටුවා ථෙරවාදී බෞද්ධ දර්ශනය අධ්‍යයනයට ලැදි විද්‍යාර්ථීන්ට ඒ සඳහා පුළුල් අවකාශ සලසමින් බෞද්ධ අධ්‍යාපනයේ අන්තර්ජාතික මධ්‍යස්ථානය බවට පත්වීම උදෙසා දරනුයේ අතිශය ප්‍රශස්ත ප්‍රයත්නයකි.

බෞද්ධ ඥාන මීමාංසාවේ උත්කෘෂ්ටත්වය හා පරිපෝෂණය වෙනුවෙන් ස්වකීය උදාර මෙහෙවරෙහි නියුතු ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ද මෙවර උපාධිලාභී සියලු විදාර්ථීන්ට ද පාලක මණ්ඩලයට ද මාගේ හෘදයාංගම ආශිර්වාදය පළ කරනු කැමැත්තෙමි.


සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන සරසවියකි

බුදුන් වහන්සේ විසින් දේශිත ධර්මය මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිතව පවත්වා ගැනීමේ සහ තවදුරටත් ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව පිහිටුවන ලද ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අතර සුවිශේෂ කාර්යභාරයක් ඉටුකරන සරසවිය කි.

මුළු මහත් මිනිස් සංහතියට කරුණාව, දයාව, මෛත්‍රීය දැක්වීමේ වැදගත්කම පසක් කරගත යුතු මෙවන් යුගයක එම ගුණධර්මවලින් පිරිපුන් විද්‍යාර්ථීන් පිරිසක් බිහිකිරීමට උරදෙමින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ඉටු කරනුයේ යුග මෙහෙවරකි. අප රට තුළ පමණක් නොව විදෙස් රටවල ද බුදු දහම ව්‍යාප්ත කිරීම සඳහා මෙම විශ්ව විද්‍යාලය දරන ප්‍රයත්නය අතිශය ප්‍රශංසනීය ය.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 21 වැනි උපාධි ප්‍රදානෝත්සවය තුළ උපාධිය ලබන ශාස්ත්‍රවේදී සහ පශ්චාත් උපාධිධාරී සැමදෙන, බුද්ධ ධර්මයේ ගැඹුරු හරය, මානුෂීය වටිනාකම් ස්වකීය ජීවිත තුළ ප්‍රායෝගිකව ජීවත් කරවමින්, යහපත්, ගුණගරුක සමාජයක් බිහිකිරීමට උරදෙනු ඇතැයි අපේක්ෂා කරමි.

ඉදිරියටත් මෙම විශ්ව විද්‍යාලය තුළින් ධර්මධර, විනයධර උගතුන් සමාජගත වේවායි පැතුමින්, උපාධි ප්‍රදානෝත්සවයට හෘදයාංගම සුබාශිංසන එක්කරමි.


ලොව ප්‍රමුඛ සහ විශිෂ්ටතම බෞද්ධ විශ්වවිද්‍යාලය වේවා

වසර 35ක පමණ ඉතිහාසයකට උරුමකම් ඇති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය බුද්ධ ධර්මය ප්‍රචාරය කිරීම, ශ්‍රී ලංකාවේ හා විදේශීය රටවල බෞද්ධ හා පාලි අධ්‍යයනය සංවර්ධනය කිරීම සහ එම ක්ෂේත්‍රයන්හි පර්යේෂණ සඳහා පහසුකම් සැලැස්වීම යන අරමුණු ප්‍රධාන කොට ගෙන උපාධි පාඨමාලා සහ පශ්චාත් උපාධි පාඨමාලා සංවර්ධනය කරමින් පවත්වා ගෙන යනු ලබන ජාතික විශ්ව විද්‍යාලයකි.

නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම විශ්ව විද්‍යාලයේ පිටිපන පිහිටි අභ්‍යන්තර අධ්‍යයන පරිශ්‍රය මගින් ද, කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි බාහිර අධ්‍යයන පරිශ්‍රය මගින් ද, දෙස් විදෙස් සිසුන්ට බෞද්ධ දර්ශනය සහ පාලි භාෂාවන් මෙන් ම දමිළ, ඉංග්‍රීසි, චීන හා ජපන් භාෂාවන් ද ඉගෙන ගැනීමට අවකාශ සලසා දීම එම විශ්වවිද්‍යාලය ජාත්‍යන්තරයට ගෙන යාම සඳහා මහෝපකාරී වේ. එමෙන් ම එම කාර්යය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් හා මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් පරිදි සැලසීම සඳහා අමාත්‍යාංශය විසින් නොමද සහයක් ලබා දෙනු ඇත.

ඒ අනුව බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය මගින් මෙහෙයවන ලද පාඨමාලාවන් සාර්ථක ව නිම කොට උපාධි ලබන දේශීය විද්‍යාර්ථින් 208 දෙනාටත්, විදේශීය විද්‍යාර්ථින් 43 දෙනාටත් සුබ පැතීම සඳහා මෙය අවස්ථාවක් කර ගතිමි. එම විද්‍යාර්ථින් විසින් ශ්‍රී ලංකාවේ නොනැසී පවත්නා සුපිරිසුදු ථෙරවාදී බුදු දහම ලොව පුරා ප්‍රචලිත කිරීම සඳහා නොමද දායකත්වයක් ලබා දෙනු ඇතැයි විශ්වාස කරමි.

මෙම විශ්ව විද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන පාඨමාලාවන් මෙන් ම ඊට අනුබද්ධ ව සිංගප්පූරුව, බංගලාදේශය, මැලේසියාව, ඔස්ට්‍රියාව, ජර්මනිය යන පෙර අපර දෙදිග පිහිටුවා ඇති අනුබද්ධ ආයතනවල බෞද්ධ දර්ශනය හා පාලි භාෂාවන් පිළිබඳ ව අධ්‍යයනය කටයුතුවල යෙදෙන විද්‍යාර්ථින්ගේ සංඛ්‍යාව වාර්ෂික ව වැඩි කර ගැනීම සඳහා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පාලක මණ්ඩලය ඇතුළු අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලය දරන උත්සාහය හා කැපවීම ද මෙහි දී අගය කළ යුතු ය.

උත්තරීතර බෞද්ධ දර්ශනය ශ්‍රී ලංකාවේ දේශ දේශාන්තරයන්හි ප්‍රචලිත කිරීම සඳහා ධර්මධර, විනයධර, සුපේෂල, ශික්ෂාකාමී පැවිදි මෙන් ම ගිහි විද්‍යාර්ථින් බිහි කරන, රාජ්‍ය අනුග්‍රහය මත සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ලෝකයේ ප්‍රමුඛ වූ ද, විශිෂ්ටතම වූ ද, බෞද්ධ විශ්ව විද්‍යාලය බවට පත් වේවායි එහි විසි එක් වන උපාධි ප්‍රදානෝත්සව අවස්ථාවේ දී මම ඉත සිතින් ප්‍රාර්ථනය කරමි.


දෙස් විදෙස් සිසුන්ගේ උසස් අධ්‍යාපන ආයතනයක්

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ 21 වන උපාධි ප්‍රදානෝත්සවය මහා මහෝපාධ්‍යායයන් වහන්සේ වන අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම අගෝස්තු මස 23 වන දින පෙරවරු. 9.00 ට කොළඹ 07 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

ඒ සඳහා සිය කාර්යය මණ්ඩලය සමඟ පණිවුඩයක් නිකුත් කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳ ව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී වශයෙන් අතිශය කෘතඥ වෙමි.

දේශීය මෙන් ම විදේශීය සිසුන්ගේ උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය පෙරමුණ ගෙන තිබීම ශ්‍රී ලංකාවාසී සැමට මහත් අභිමානයක් වේ. විදේශීය සිසුන් වැඩි ම ප්‍රමාණයක් උසස් අධ්‍යාපන කාර්යයෙහි නියැළෙන මෙම විශ්ව විද්‍යාලයෙහි විදේශීය අනුබද්ධායතන දොළහක් විදේශ රටවල පවතී. එම රටවල් නම් සිංගප්පූරුව, මැලේසියාව, ජර්මනිය, ස්කොට්ලන්තය, ඔස්ටි‍්‍රයාව, හොංකොං, බංගලාදේශය, දකුණු කොරියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ මහා බ්‍රිතාන්‍ය වේ. ජාත්‍යන්තර මට්ටමේ විශ්ව විද්‍යාලයක් සතු ගොඩනැගිලි ඉදි වී තිබෙන අතර ඒ සඳහා රජය ලබා දී ඇති අනුග්‍රහය ප්‍රශංසනීය යි.

මෙවර උපාධි ප්‍රදානෝත්සවයේ දී දේශීය උපාධිලාභීන් 737 ක් ද, විදේශීය උපාධිලාභීන් 76 ක් ද උපාධි ලැබීමට නියමිත ව ඇත. විදේශීය භාෂා දැනුම, නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් ලෝකවාසී ජනතාව අතර නිර්මල බුදු දහම ප්‍රචාරය කිරීමට සහ ශිෂ්ට සම්පන්න සමාජයක් ලොවට දායාද කිරීමට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් බිහිවන මෙම විද්‍යාර්ථීන්ගෙන් අපේක්ෂා කෙරේ.