Print this Article


පූජාච පූජනියනං

මහරගම ධම්මසිරි නා හිමි

“මිනිසා නොහදා රට හදන්න බැහැ. මිනිසාත් හදාගනිමින් රටත් හදා ගනිමු” යන අදහස නිතැනින් ක්‍රියාවට නංවන්නට උත්සාහවත් වූ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමිපාණන් වහන්සේ ගිය මග යමින් ලෝක ශාසනික සේවා ඉමහත් කැපවීමෙන් සිදු කරනු ලබන ඇමරිකාවේ වොෂින්ටන් බෞද්ධ විහාරාධිපති හා මහරගම සිරි වජිරඥාන ධර්මායතනාධිකාරී උතුරු අමරිකාවේ ප්‍රධාන සංඝ නායක මහරගම ධම්මසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හැත්තෑ වන ජන්ම දිනය මෙම මස 25 වන දිනට යෙදී ඇත.

මහරගම ගුරු විද්‍යාලය අසල නිවසක දිවි ගෙවූ දේශීය සර්වාංග වෛද්‍යවරයකු මෙන් ම ගොවියෙකු වූ හබරගමු රාළලාගේ බස්තියන් දරණියගල මහතා හා හබරගමුරාළලාගේ ජොසලින් පීරිස් යන දම්පතීන්ට දාව 1949 අගෝස්තු 25 වන දින ගුණදාස දැරණියගල නම් වූ පින්වත් කුමරුවා මෙලොව උපත ලබනුයේ දරුවන් හත්දෙනෙකුගේ පවුලේ බාලයා ලෙසිනි.

ගුණදාස දරුවා උපත ලැබීම ට දෙමසක ට පෙර තම පියතුමන් පරලොව සැපත් වුව ද, එම අඩුව නොදැනෙන්නට තම මව්තුමිය හා සහෝදර සහෝදරියන් පිරිස වග බලා ගත්හ. මහරගම බුවනෙකබා විදුහලේ මුල් ගුරුතුමන් වූ ඩයස් මහතා හා පන්තිභාර වූ සුගුණපාල මහතාගේ සෙවනේ අකුරු කළ ගුණදාස දරුවා කුඩා අවධියේ සිට මනා ස්මෘති ශක්තියකින් යුතු විය. එයට හේතු පාදක වූ තවත් කරුණක් නම් පාසල මෙන් ම නිවස ද පත පොත පරිශීලනය කරන අධ්‍යාපන පරිසරයකින් යුතු වීම ය. පාසලෙන් ඉගෙන ගන්නා දෙයට අමතරව පන්සල් පොත් ද තම මවගේ මග පෙන්වීම යටතේ වාචෝද්ගත කිරීමට හැකියාවක් ඔහුට ලැබිණ. කුඩා කල සිට ම ඉංගී‍්‍රසි අධ්‍යාපනයටද ඇල්මක් ඔහු තුළින් ප්‍රකට විය. රත්නා පියදාස පවුල පහන්කුඹුර පවුල,දෙගම්බඩ පවුල හා අමරතුංග පවුල යන පවුල්වල සාමාජිකයින්ගේ හා ඥාතීන්ගේ ඇසුර ද ඔහු වෙත නොඅඩුව ලැබිණ. මේ හේතුව නිසා කුඩා කල සිට ම සමාජශීලී අයෙකු බවට පත්විය.

බහ තෝරන වයසේ සිට බුදු දහමට නැඹුරු වූ ස්වභාවය ක්‍රමයෙන් ඔහු තුළින් පිළිබිඹු විය. තම නිවස අසල වූ විහාරස්ථානයේ මංගල හිමියන්ගෙන් දහම් පාසල් අධ්‍යාපනය ලද මෙම දරුවා සෑම ඉරුදිනක ම පවුලේ සැම සමග මහරගම ධර්මායතනයේ පැවැත්වෙන සවස මල් පූජාවට හා දහම් දෙසුමට සහභාගී වීම පුරුද්දක් කර ගත්තේ ය. විහාරස්ථානයට පැමිණෙන සෑම අවස්ථාවක දී ම චීවරය තම ජීවිතයට සමීප බවක් ද පිරිත් හඬ සංසාරගත පුරුදු මුදුන්පත් වීම නිසා පෙර ඇසූ පුරුදු ස්වභාවයක් ද ගෙන දුන්නේ ය. මේ සියල්ලෙහි අවසන් ඵලය වූයේ පැවිදි වීම ට සිත්වීම යි. මෙසේ දහවන වියට ළඟාවන විට ඔහු ගිහිගෙදර තවදුරටත් රඳවා ගත නොහැකි බවක් මතුවන්නට විය. කිසිවෙකුටත් නොදන්වා ගෙදරින් නික්මීමට කිහිපවිටක් උත්සාහ දැරීමේ ප්‍රතිඵලය මත තම දරුවා සසුනට පූජා කිරීමට මව තම හිත හදා ගත්තා ය.

1959 වසරේ අවසන් දිනය ගුණදාස දරුවාට මහත් අස්වැසිල්ලක් ගෙනදුන් දිනයක් විය. ඒ ඔහු විහාරස්ථානයට භාරදුන් දිනය යි. චාලි නම් වලව්ව සසුනට පූජා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ මහරගම ධර්මායතනය එවකට භාරව වැඩ සිටියේ අම්පිටියේ රාහුල හිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේ භාරයේ සිටි මෙම දරුවා පුරා හය මසක කාලයක් පැවිදි වීමට සුදුසුකම් ලබනු පිණිස පිරිය යුතු වත් පිළිවෙත් හා උගතමනා බණ දහම් ඉතා සතුටින් ප්‍රගුණ කරන ලද්දේ ය. වළස්ගල පුණ්ණජී මයුරවංශ, ගල්වැවේ ඥානතිලක, වැලිගම ඥානරතන යන මහ තෙරවරුන් වහන්සේලාගේ ධර්ම ශාස්ත්‍රඥානය හා ජයසේන ද සිල්වා මහතාගේ ඉංගී‍්‍රසි ඥානය ද ස්වකීය වර්ධනයට ඉවහල් විය.

මෙම කුමරුවා සැමගේ ආශීර්වාදය මත 1960 ජූනි හයවන දින අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහාභිධාන මහා නාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන්, අම්පිටියේ රාහුල නාහිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් වැලිගම ඥානරතන නා හිමිපාණන් වහන්සේ මඟින් මහරගම ධම්මසිරි නාමයෙන් උතුම් වූ ප්‍රවෘජ්ජා භූමියට ඇතුළත් විය. මෙම සාමණේරයන් වහන්සේ විහාරයේ, පිරිවෙනෙහි පැවිද්දෙකු විසින් උගත යුතු ධර්ම ශාස්ත්‍රය මැනවින් ප්‍රගුණ කළ අතර කවිකලාවට ද ඇල්මක් දැක්වීය. පිරිවෙන් පටිපාටියෙන් වූ සියලු විභාග උසස් අයුරින් සමත් වූ අතර ධර්මායතනය මගින් පිරිනමනු ලබන ඉංගී‍්‍රසි භාෂාව වෙනුවෙන් වූ ත්‍යාගයට ද හිමිකම් දැරීය. බණ දහම් කීමෙහි දක්ෂ පක්ෂකම් දැරූ මුන්වහන්සේ 1971 දී වැලිගම පැලෑන උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදා සීලයේ පිහිටු වීය.

උපසම්පදාව සමග තම ගුරු හිමියන්ගේ උපදෙස් මත මහරගම ධම්මසිරි හිමිපාණෝ අනුරාධපුර වජිරඥාන විහාරයේ භාරකාරත්වයට පත්ව, තත් ප්‍රාදේශීය දායක කාරකාදීන්ගේ ලෞකික ලෝකෝත්තර සැප සාධනයෙහිලා උත්සාහවත් විය. දුෂ්කර වූ පළාතක, තම ආගමික කාර්යභාරය නොපිරිහෙළා ඉටු කිරීමට උන්වහන්සේ දිනපතා වන්දනාමාන කිරීමට පුරුදු වූ අනුරාධපුර විජය ශ්‍රී ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිට හා ආශිර්වාදය නිතැතින් හේතු වීය. එම යුගයේ දී උන්වහන්සේට රාජකීය පණ්ඩිත වැයිහේනේ පඤ්ඤාලෝක නාහිමියන්ගේ ඇසුර නිතර ලැබීම තම ධර්ම ශාස්ත්‍රීය කටයුතු මනාව කරගැනීමට රුකුලක් වීය.

වසර කිහිපයක් අනුරාධපුර වැඩ සිටි මහරගම ධම්ම සිරි හිමියන් හට නැවත මහරගම ධර්මායතනයට වැඩම කරන්නට සිදුවිය. ඒ සඳහා හේතු පාදක වන්නේ එහි විහාරාධිකාරීත්වය දැරූ අම්පිටියේ රාහුලාභිධාන ගුරු හිමියන් බවුන් වැඩීම සඳහා වනගත වීම නිසා විහාරස්ථානයේ පරිපාලන කටයුතු භාර ගැනීම ට සිදුවීම ය. ගුරුහිමියන් වනගත වීමට පෙර තමා හට පැවසූ දෙය අදවනවිටත් උන්වහන්සේ ගරු කරන, සිත්හි රඳා පවතින හා අනුගමනය කරන ඔවදනක් ව පවතී.එනම් ‘දායකයින් නොපෙළා සිව්පසය ලබාගෙන ඔවුන්ගේ දෙලොව වැඩ පිණිස කටයුතු කළ යුතු ය.” යන්නයි. එය තරයේ සිත්හි රඳවා මඩිහේ මහ නාහිමිගේ උපදෙස් මත මහරගම ධර්මායතනය වසර දොළහක් පුරාවට පරිපාලනය කළ අතර එම සේවාව ප්‍රශස්ථ විය. තත් පාරිවේණික අවශ්‍යතා සම්පූර්ණ කිරීම දායක කාරකාදීන්ගේ කුදුමහත් ආගමික කටයුතු සිදුකර දීම, මහරගම ගුරු විද්‍යාල සිසුන් සඳහා බුද්ධ ධර්මය ඉගැන්වීම ආදිය එහිලා වැදගත්කොට සැලකිය හැකි ය.

ඇමරිකාවේ වොෂින්ටන් අගනුවර 1966 දී පැවැත් වූ වෙසක් පොහොය ආගමික වැඩසටහනින් පසුව මඩිහේ මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් ආරම්භ කරන්නට යෙදුන ඇමරිකාවේ පළමු ශ්‍රී ලාංකික විහාරස්ථානය වූ වොෂින්ටන් බෞද්ධ විහාරයට වැඩම කරවීමේ භාග්‍ය 1987 දී ධම්මසිරි හිමියන්ට උදාවීය. එහිදී එම විහාරයේ පළමුව ලේකම් ධූරය හොබවමින් වැඩ සිටි උන්වහන්සේ එවක එහි විහාරාධිපතිව වැඩ සිටි හේනේපොල ගුණරතන නා හිමියන් බටහිර වර්ජිනියාවේ බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ පූර්ණකාලීන සේවය සඳහා නික්ම වැඩි හෙයින් 1988 දී වොෂින්ටන් බෞද්ධ විහාරයේ විහාරාධිපතිත්වයට පත්විය.

බටහිර රටක ධර්ම ප්‍රචාරය සිදු කිරීම ඉතා පහසු කාර්යයක් නොවන්නේ ඒ සඳහා මනා භාෂාමය හා ධර්ම ශාස්ත්‍රීය දැනුමත් සේම මනා ආකල්ප සංවර්ධනයක් තිබිය යුතු නිසාවෙනි. ඉහත කී සුදුසුකම් කුඩා අවධියේ සිටම සපුරා තිබූ මහරගම ධම්මසිරි නාහිමියෝ එදා සිට මේ දක්වා උසස් කාර්යභාරය ඉටු කරමින් පවතී. ශ්‍රී ලාංකික හා ඇමරිකානු ජාතිකයින් ඇතුළත්ව දායක සාමාජික 900 කට අධික පිරිසකගේ ලෞකික ලෝකෝත්තර දියුණුව උදෙසා උන්වහන්සේගේ නායකත්වය සැලසේ. ශ්‍රී ලාංකික අනන්‍යතාවය හා ථේරවාදී සම්ප්‍රදාය රකිමින් ඒ කරනා සේවාව ප්‍රශස්ථය. බොහෝ විශ්ව විද්‍යාල හා පාසල් දරුවන් භාවනා වැඩසටහන් සඳහා තෝරා ගනුයේ වොෂින්ටන් බෞද්ධ විහාරය යි. වොෂින්ටන් නුවර වෙසෙන ශ්‍රී ලාංකික දරුවන් උදෙසා වත් සිරිත් පුහුණු කරමින් දහමට හුරුකරවීම සඳහා විහාරස්ථ දහම් පාසල මහඟු කාර්ය භාරයක් සිදු කරයි.

ලාංකික භික්ෂූන් වහන්සේලා බොහෝ පිරිසකට මේ වන තාක් ඇමරිකාවට වැඩමවීමට හා එරට ධර්මප්‍රචාර කටයුතු සඳහා ඉඩහසර ලබාදීමට උන්වහන්සේ ගත් උත්සාහය අමිල ය. ආගන්තුක සත්කාරයෙහි දක්වන නිහතමානී බවද කැපී පෙනෙන ලක්ෂණ අතර වේ. මහරගම ධර්මායතනයේ විහාරාධිකාරීත්වය දරමින් තමන්ගේ දැක්ම පවත්වාගෙන යාම සඳහා දක්ෂ පක්ෂත්වයෙන් යුතු පැවිදි ශිෂ්‍ය පිරිසක් ගුණ නැණ බෙලෙන් යුතුව නිර්මාණය කිරීම හා ඒ සඳහා මග පෙන්වීම ද අගය කළ යුත්තකි. මේ උතුම් සේවාවන් ඇගයීමක් ලෙස අමරපුර මහා නිකාය මඟින් 1994 දී උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක ධූරයෙන් ද උන්වහන්සේ පිදුම් ලැබූහ. චිරාත් කාලයක් සම්බුදු සසුන ලොව පුරා රඳවන්නට ශක්තිය හා ධෛර්යය තෙරුවන් සරණින් ලැබේවායි අපි පතමු.

****

මිරිහානේ නන්ද හිමි

‘සිරි ජිනවංස දේවානන්ද වංසාලංකාර සද්ධම්මකිත්ති සිරි සංඝ සෝභන ලෝකත්ථචාරී’ යන ගෞරව නාම සම්මුතිය නන්ද ස්වාමීන් වහන්සේ වෙත ප්‍රදානය කරනු ලබයි.

කොළඹ 07, බෞද්ධාලෝක මාවතෙහි ශ්‍රී කල්‍යාණධර්ම ආශ්‍රමාධිපති, බොරැල්ල ශාසනාරක්ෂක මණ්ඩලයෙහි සභාපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායාන්තර්ගත ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා සංඝ සභාවෙහි සම ලේඛකාධිකාරී මිරිහානේ නන්ද හිමිපාණන් වහන්සේ උපතින් සමසැත්තෑවසරක්ද, පැවිදි භූමියට පත් වී සම සැට වසරක් ද, උපසම්පදාවෙන් සමපණස් වසරක් ද සපුරති.

1949 ජූලි මස 17 වන දින, නුගේගොඩ, මිරිහාන ගම් පියසෙහි දී. එච්.ටී. අප්පුසිංඤ්ඤෝ හා කරලැයින් එදිරිසිංහ යන සැදැහැවත් මව්පිය දෙපළට දාව මෙලොව එළිය දුටු එච්.ටී. ආරියරත්න දරුවා වැඩිවිය පැමිණ ගංගොඩවිල රේවත විද්‍යාලයෙන් පස්වන පන්තිය දක්වා සිප්සතර හදාළේ ය.

1960 ජනවාරි මස 01 වන දින හෙවත් සිල්වා මහතාගේ ජන්ම දින, අතුරුගිරිය ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ දී රාජකීය පණ්ඩිත මුල්ලේගම ශ්‍රී ශීලාලංකාර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි අධිකරණ නායක හිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා ප්‍රධානාචාර්ය හා සමුත්පාදක රාජකීය පණ්ඩිත මාතර ශ්‍රී ඥානාරාම, රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංස යන මාහිමියන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් සිල්වා මහතා ‘කෝට්ටේ දේවානන්ද’ නමින් ද, දස හැවිරිදි ආරියරත්න දරුවා ‘මිරිහානේ නන්ද’ නමින් ද පැවිදි භූමියට පත්වූහ.

කඩවැද්දුවේ ජිනවංස මාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි දේවානන්ද ස්වාමීන් වහන්සේ හා නන්ද සමණුද්දේසයන් වහන්සේ 1964 දී කොළඹ 07, බෞද්ධාලෝක මාවතෙහි ශ්‍රී කල්‍යාණ ධර්ම ආශ්‍රම භූමියට වැඩම කොට මහත් වූ ශාසනික සේවාවක් ආරම්භ කළහ. මාතර, කිරින්ද සුදර්ශනාරාමස්ථ පරිවේණස්ථානයෙන් ද, මාතර, පුහුල්වැල්ල ශ්‍රී රෝහණ යෝගාශ්‍රමයෙන්ද, කොග්ගල ත්‍රිපිටක ධර්මායතනයෙන් ද අධ්‍යාපනය ලැබූ නන්ද ස්වාමීන් වහන්සේ කොළඹට වැඩම කිරීමෙන් පසුව රාජකීය පණ්ඩිත වරකාගොඩ සීලරතන, රාජකීය පණ්ඩිත මාපලගම සිරි සෝමිස්සර යන ස්වාමීන් වහන්සේලාගෙන් ද වැඩිදුර සිප් සතර හදාළේ ය. 1969 ජූලි 24 දින, දලුග්ගල ශ්‍රී බෝධිරාජාරාමය කේන්ද්‍රකොට මාඔය බතඹුරේ උදකුක්ඛේප සීමා මාලකයේ දී බැඹියේ ශ්‍රී විමලවංස නාහිමිපාණන් වහන්සේ උපාධ්‍යාය කොට ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමීය සංඝරත්නය වෙතින් උපසම්පදාව ලැබීය.

1990 අගෝස්තු මස 14 වන දින දේවානන්ද නාහිමිපාණන් ගේ අපවත්වීම සිදුවීමෙන් අනතුරුව ආශ්‍රමාධිපති ධූරයට පත් වූ මිරිහානේ නන්ද හිමිපාණෝ එම ලෝ සසුන් සේවාව තව තවත් ව්‍යාප්ත කළහ.