Print this Article


පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 36: බෞද්ධ වාස්තු විද්‍යාඥයන්ගේ විශිෂ්ට නිර්මාණයක් වූ නිශ්ශංක ලතා මණ්ඩපය

බෞද්ධ වාස්තු විද්‍යාඥයන්ගේ විශිෂ්ට නිර්මාණයක් වූ නිශ්ශංක ලතා මණ්ඩපය

හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

" නිශ්ශංකලතා මණ්ඩපය නමින් ප්‍රකට වී ඇති මෙම සුවිශේෂී නිර්මාණයට යොදාගෙන තිබෙන ගල් කණු, නෙලුම් දඬු ලෙසින් පමණක් නොව, ඒ සෑම එකක් ම තුන් තැනකින් නැමී ඇති ලෙසින් නෙළා ඇත. එයින් මෙම නිර්මාණයේ දී මූර්ති ශිල්පියාගේ නිර්මාණාත්මක දක්ෂතාවය මැනවින් ප්‍රකාශ වී ඇති බව කලා විචාරකයන්ගේ ද අදහස වන්නේ ය."

පුරාවිද්‍යාඥයන් සහ කලා විචාරකයන් විසින් හඳුන්වා දෙනු ලබන පොළොන්නරුවේ මල් ලියකම් ශාලාව, හෙවත් නිශ්ශංක ලතා මණ්ඩපය වැනි නිර්මාණයක් පුරාණ ලංකාවේ පමණක් නොව පුරාණ භාරතයේ වත් දක්නට නැත.

නිශ්ශංකමල්ල රජුගේ අනුග්‍රහයෙන් ඉදිකරවන ලද මෙම ලතා මණ්ඩපය ඒ නිසාම නිශ්ශංකලතා මණ්ඩපය නමින් ප්‍රකට වී ඇත.

මෙම ගොඩනැගිල්ල වේදිකාවක් මත පිහිටුවන ලද, කුලුනු හිස්, නෙලුම් මල් සහිත දඬුවක් පිළිබිඹුකරවන ආසාමාන්‍ය කුලුනු වර්ගයක් සහිත අද්විතීය වූ ගොඩනැගිල්ලකි. එහි මන්දිරය මධ්‍යයේ කුඩා දාගැබකි. නිශ්ශංකමල්ල රජු මෙම මන්දිරයේ හිඳ පිරිත් සජ්ඣායනාවලට සවන් දුන් බව කුලුනේ පහත කොටසේ ඇති ශිලා ලේඛනයක සඳහන් වේ. මෙම මන්දිරය හෝ මණ්ඩපය ශෛලමය ගරාදි වැටකින් වට වී ඇත. එය දැවවලින් සාදන ලද ගරාදි වැටකට සමාන ලෙසින් නිර්මාණය කර තිබේ. ශිලා වේදියෙන් වට වූ කුලුනු සහ හරස් දඬු කැටයම් හෝ විසිතුරුවලින් අලංකාර කර නැත. මෙම වට වූ භූමි ප්‍රමාණය දිග නැගෙනහිර සිට බටහිර දෙසට අඩි 43 යි. අඟල් 3 කි. පළල අඩි 28 අඟල් 6 කි. කැටයම් සහිත ශෛලමය වේදිකාවක් ද මෙහි ඇත. සෑම ශෛලමය කුලුනක් ම වේදිකාවේ සිට ඉහළට අඩි 8 අඟල් 4 උස ය.

(පොළොන්නරුව මධ්‍යකාලීන ලක්දිව අගනගරය. මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න. පි. 148 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි 1998)

නිශ්ශංකලතා මණ්ඩපය නමින් ප්‍රකට වී ඇති මෙම සුවිශේෂී නිර්මාණයට යොදාගෙන තිබෙන ගල් කණු ,නෙලුම් දඬු ලෙසින් පමණක් නොව, ඒ සෑම එකක් ම තුන් තැනකින් නැමී ඇති ලෙසින් නෙළා ඇත. එයින් මෙම නිර්මාණයේ දී මූර්ති ශිල්පියාගේ නිර්මාණාත්මක දක්ෂතාවය මැනවින් ප්‍රකාශ වී ඇති බව කලා විචාරකයන්ගේ ද අදහස වන්නේ ය.

පොළොන්නරුවේ විශිෂ්ට කලා නිර්මාණයක් වූ නිශ්ශංකලතා මණ්ඩපය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1910-11 වර්ෂයේ දී සිට රක්ෂණය කරන ලද ආකාරය මෙසේ සඳහන් වේ.

“පොළොන්නරුවේ කරන ලද පුරාවිද්‍යා සංරක්ෂණ වැඩවලින් ඉතා දුෂ්කර කාර්යයක් ලෙසින් මෙය සැලකිය හැකි ය. මෙම ස්මාරකයේ නෂ්ඨාවශේෂ මුළුමනින් ගලවා නැවත ගොඩනැගීමට සිදුවිය. ඒවා ගලවා ගෙන යන අතරතුර දී පැහැදිලි වූ කරුණක් නම් කුලුනු කීපයක් සහ බරාඳ කීපයක් ද එහි නොතිබූ බව ය. එසේම විශාල ප්‍රමාණයක් කැඩී තිබුණි. කැඩී ගිය ඒවා යකඩ ද යොදා ගනිමින් මූට්ටු කරන ලදී. නැති වූ ඇතැම් කොටස් වෙනුවට අලුත් කුලුනු සකස් කරන ලදී. බොරළු සහ කොන්ක්‍රීට් දැමීමෙන් අත්තිවාරම් ශක්තිමත් කරන ලදී. මෙහි දක්නට ඇති කලාත්මක කුලුනුවලින් රාශියක් සුන්බුන්වලට යටවී තිබී සොයාගන්නා ලදී. මෙහි ඇති කුලුනු අටෙන් හයක් මතුපිට දක්නට ලැබුණු අතර ඉතිරි දෙක පසට යට වී තිබුණි.

(පුරාවිද්‍යා පාලන වාර්තාව 1910-11 එච්.සී.පී. බෙල් පුරාවිද්‍යා කොමසාරිස් පිටු 514-515/ 38/39) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතිහාසය පණ්ඩිත ආචාර්ය නන්දදේව විජේසේකර පි. 69-1990)

සතරැස් ශෛලමය වේදිකාව මත ලතා මණ්ඩපය යන නාමය ප්‍රකට කරවමින් ඉතා දර්ශනීය ලෙසින් නෙලුම් දඬු හා ලියවැල්වල ස්වරූපය ගන්නා ඉතා කලාත්මක සියුම් කැටයම් සහිත ශිලා කණු අලංකාර ය. ඒවායේ ශීර්ෂවල ඇති කැපුම් ලකුණු අනුව මෙහි පියැස්සක් පැවැති බව පෙනේ. ලතා මණ්ඩපයේ ඇති ශෛලමය කැටයම් වැනි ශෛලමය කැටයම් භාරතයෙන් ද නොලැබෙන බව පර්ගියුසන් පැවසී ය. මුලසිට ඉහළට යන විට ක්‍රමානුකූල වෘත්තාකාර හා සිහින් ස්වරූපයක් ගන්නා ශෛලමය කණු අලංකාර ය. මේවායේ කැටයම් නොගැඹුරු අල්පෝන්නත කැටයම් ය. මෙහි මණ්ඩපයේ නෙලුම් දණ්ඩක් වැනි විශාල ශෛලමය ආසනයේ ශීර්ෂය පිපුණු නෙළුම් මලකි. ඒ මත කුඩා ශෛලමය දාගැබ ද (කරඬුව), තැන්පත් කර ඇති අතර, එය පාමුල වටා ඇඳිළි බැඳ ස්තූපයට නමස්කාර කරන මිනිස් රූප සමූහයක් තිබේ. ලතා මණ්ඩපයට ඇතුලුවීම සඳහා තිබෙන්නේ එකම දොරටුවකි.

(මධ්‍යකාලීන රාජධානිය – පොළොන්නරුව මහාචාර්ය ඒ.ලගමුව පි. 110 සරසවි ප්‍රකාශකයෝ – 1999)

බෙහෙවින් වැදගත් තවත් කුලුනු කීපයක් දක්නට ලැබෙන්නේ නිශ්ශංකලතා මණ්ඩපයේ ය. ශෛලමය කුලුනු සාදා තිබෙන්නේ තුන්පොළකින් වක් වූ අර්ධ කවාකාර නෙලුම් දණ්ඩක විලාසයෙනි. වක් වූ තැන්වල නොගැඹුරට නෙලූ පත්‍ර සැරසිල්ලකි. මේ කුලුනු කෙළවර වන්නේ අටපට්ටමට සකස් කළ පිපී ගෙන යන නෙළුම් මලකිනි.

(මූර්ති කලාව ශ්‍රී ලංකාවේ මූර්ති කලා ශිල්ප III මහාචාර්ය එච්.ටී. බස්නායක පි. 108 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි 1990)

වාස්තු විද්‍යාත්මකව ශෛලිගතවීමත් සමඟ ම ස්වභාව ධර්මය හා මුසුවීම නිසා මේ කුලුනු බෙහෙවින් ප්‍රසන්න ඒවා බවට පත් ව ඇත. මේ කුලුනු වටකොට තනා ඇති සැරසිලි වලින් තොර, සරල ගරාදි වැටක් සමඟ සසඳන විට මේවා සිත් ඇදගන්නා සුළු ය. සෞන්දර්යයත්, දෘශ්‍යයත්, උපයෝගිතාවත් එක්තැන් කළ කුලුනු, නිර්මාණය කිරීමේ අමුතු සංකලනයක් මේවායින් ඉදිරිපත් කෙරේ. රුවන්වැලිමහාසෑයේ හා තිරියායේ වටදාගෙයි දක්නට ලැබෙන, ගලින් නෙළා අති නෙලුම් මල්වල හැඩය තුළින් ආභාසයක් මේ කුලුනු තැනීමේ දී නිශ්ශංකමල්ල රජුගේ ශිල්පීන් ලබන්නට ඇත.

(ART AND ARCHITECTRURE CEYLON – POLONNARUVA PERIOD _ DR.SENARAT PARANAVITANA P.32-1954)