Print this Article


යුතුකම් ගිලිහුණොත් විනාශය බරපතළයි

යුතුකම් ගිලිහුණොත් විනාශය බරපතළයි

රටක, ජාතියක,අනාගතය දරුවන් ය. අනාගතයේ කොඳු නාරටිය දරුවන් ය. ඒ කොඳු නාරටිය ශක්තිමත් වන්නේ ළමයින් කයින්, මනසින් ශක්තිමත් වූ තරමට ය. ගුණ නැණ බෙලෙන් යුතු වූ තරමට ය. එය තීරණය වන්නේ, මව්පියන් තම දරුවන් කෙරෙහි දක්වන ආකල්පයන් අනුව ය. මව්පිය දූ දරු සම්බන්ධතාවයේ විධිමත් බව අනුව ය.

‘අංශ භංග‘ යනු එක අංශයක බිඳී යාම ය. අද විශේෂයෙන් ඇතැම් තරුණ දූ දරුවන් වෙතින් අප දකින්නේ ද අංශ භංග වූ ස්වභාවයකි. මව්පියන් දරුවන් වෙනුවෙන් විය යුතු යුතුකම් වගකීම් නිවැරැදිව හඳුනා නොගැනීම ඊට ප්‍රධාන හේතුව බව පෙනේ. දීඝ නිකායේ, සිඟාලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මව්පියන් වෙතින් දරුවන්ට විය යුතු යුතුකම් ඉතා පැහැදිලිව හඳුන්වා දී තිබේ. එහිදී ප්‍රධාන වශයෙන් මව්පියන් තම දරුවන් ‘පාපා නිවාරෙන්ති’ පාපකාරී ක්‍රියාවන්ගෙන් වැළැක්විය යුතුය.

‘කල්‍යාණෙ නිවෙසෙන්ති’ යහපත් කටයුතුවල යෙදවිය යුතු ය.

‘සික්ඛං සික්ඛාපෙන්ති’ ශිල්ප ඉගැන්විය යුතු ය.

‘පතිරූපෙන දාරෙන සංයෝජෙනේති’ සුදුසු කාලයෙහි ආවාහ විවාහ කටයුතු කරවිය යුතු ය.

‘දායජ්ජං පටිපාදෙන්ති’ ධන සම්පත් දායාද කළ යුතු ය. .

මව්පියන් තම දරුවන් වෙනුවෙන් නිවැරැදිව යුතුකම් ඉටු කරනවා යනු මේ සියලු අංග සම්පූර්ණ වීම ය. එහෙත් මෑත කාලීනව ඇතැම් මව්පියන් හැකි උපරිමයෙන් ළමයින්ට ඉගැන්වීමටත්, ආහාරපාන සැපයීමටත් පමණක් අරුම පුදුම උත්සාහයක නියැළෙනු පෙනේ. සමාජයක් අංශ භංග‘ තත්ත්වයට පත්වීමට ප්‍රධානතම හේතුව එය යි.

තථාගත ධර්මය අනුව ප්‍රධානත්වය දිය යුතු දරුවන් පාපයෙන් මුදා ගැනීමට ය. අපගේ ගිහි ප්‍රතිපදාව පංච ශීලයයි. තමන් සම්මතයෙහි පිහිටා සිට දරුවන් පවින් මුදවා ගත යුතු ය. එහෙත් අද සමහර මව්පියන් දරුවන් ඉදිරියේ ම බොරු කියති. බොරු කරති. ඒ දරුවා පාසලකට ඇතුළත් කිරීමේ සිටම ය. විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අද නිරන්තරයෙන් ඇස ගැටෙන්නේ දුරාචාර ය ඒවා සාමාන්‍ය කරණය කරමින් සිටී. ඇතැම් ටෙලිනාට්‍ය දිව යන්නේ පරදාර සේවනය ඉස්මතු කරමිනි. මෙවැනි අවිචාරවත් දේ, සොරකම, බොරුව සියල්ල සාමාන්‍යකරණය වූ පවුලක් තුළ හැදෙන වැඩෙන දරුවා ද අවිචාරවත් ය. අදූර දර්ශී ය.

දරුවාට යහපත්ව හැදෙන්නට නිවැරැදි පරිසරයක් ඇවැසි ය. එහි දී ඇස ගැටිය යුතු, යහපත් දේ මය . අද දරුවාට දෙන ආහාර වේලේ සිටම බොහෝ මව්වරු වරදවා ගනිති. දරුවා ඉල්ලන දේ, පහසු දේ, ලබා දෙනවා මිස ශරීර වර්ධනයට, බුද්ධි වර්ධනයට අදාළ දේ ලබා නොදේ. ඒ තුළ වැඩි වශයෙන් දරුවාගේ ශරීරගත වන්නේ වස විෂ ය.

දිනක් එක් පියෙකුට දුරකථන ඇමතුමක් ලැබුණේ ය. දුරකථනයෙහි දිස්වූයේ තම පුතාගේ දුරකථන අංකයයි. ඒ පියා ‘පුතේ’ යැයි ආමන්ත්‍රණය කළත් කටහඬ වෙන කෙනෙකුගේ ය. ලැබුණු ආරංචියට පියා වහාම රෝහලට දිව ගියේ ය. පුතා වාට්ටුවේ නොවී ය. හෙදියක කීවේ පුතා මිය ගිය බව ය. හඬමින් වැළපෙමින් පුතුගේ නිසල සිරුර මල් ශාලාවට ගෙන ගොස් සරසවා ගෙදර ගෙන ගියේ ය. නිවසට ගිය මේ පියා පුතුගේ දේහය ළඟ වැඳවැටුණේ ය. “පුතේ මට සමාවෙන්න’ මා කළ ලොකුම වරද පුතා ඉල්ලූ දේ දීමයි. මට එය නොකර ඉන්නට තිබුණා.’ යි හඬමින් කීවේ ය.