Print this Article


සැබැවින්ම ඔබ සත් පුරුෂයෙක් ද?

සැබැවින්ම ඔබ සත් පුරුෂයෙක් ද?

දසන් විදහා සිනහ පෑ පමණින් හෝ කර්ණ රසායන වදනින් ආමන්ත්‍රණය කළ පමණින් හෝ මිනිසා සත් පුරුෂයෙක් නොවේ. මොනම හේතුවකින් වත් වෙනස් නොවන ගුණ පිරි හදවතක් ඇති බව ම සත් පුරුෂයාගේ ලක්ෂණයකි.

එවැනි පුද්ගලයෝ මියැදුන ද වර්ෂ දහස් ගණනක් පුරා ඇසෙන සේ තම ශ්‍රී නාමය ජන සන්තානයෙහි සටහන් කරත් ම ය. යුගයෙන් යුගය ඇසෙන අපමණ පැසසුම් ඝෝෂා ඇති ලොව සැබෑම සත්පුරුෂයන් බිහි කළ මහා සත්පුරුෂයාණෝ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ය.

උපන් අයෙකුට ජීවිතය තුළ වරින් වර නොයෙක් දුක් පීඩා ඇතිවීම ස්වභාව සිද්ධ ය. එවන් මොහොතක උපකාරයක් ලබාගැනීමට සත්පුරුෂ මිතුරෙකු ඇති බව සැනසීමට කරුණක් බව බුදුරදුන් පෙන්වා වදාළ සේක. එම මිතුරා භික්ෂුවක් හෝ ගිහියෙකු විය හැකි ය. මව, පියා, සොයුරා, සොයුරිය, ස්වාමියා, භාර්යාව, ගුරුවරයා හෝ වෙන යම් අයෙකු විය හැකි ය. එහෙත් ඔහු තුළ අවශ්‍යයෙන්ම තිබිය යුතු ගුණ ධර්ම සමුදායක් වේ. සිල්වත්කම, ඉවසන සුලු බව, නුසුදුස්සෙහි නොයොදවනා බව, කළමනා දේ අනුකම්පාවෙන් පෙන්වා දීම, උදහස් නොවී අඩුපාඩු දෙස සානුකම්පිතව බලා ඒවා සකස්කර ගැනීමට මග පෙන්වන බව හා බුදුරදුන් වදාළ ධර්ම මාර්ගය පෙන්වා දෙන බව ඒ අතර ප්‍රධාන වේ.

එහෙත් එපමණකින් ම ඔහුගේ සත්පුරුෂ ධර්මය සම්පූර්ණ නොවේ. යටත් පිරිසෙයින් සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් හෝ නොවේ නම්, ඇතැම් කරුණු ඉදිරියේ අයහපත් හැසිරීම් මතුවීම බලාපොරොත්තු විය යුතු ය. එවැන්නෙකු විසින් ඉතා සැලකිල්ලෙන් ජීවිතය හසුරුවා නොගතහොත් බොහෝ පව්කම් සිදු වේ. ආර්ය උපවාදය වැනි අකුසල් සිදුවීමට ද්වේෂ මූල සිතකින් වචන මාත්‍රයක් බිනීම වුව ද ප්‍රමාණවත් ය. දැකීම් මාත්‍රයෙන් හෝ ඇසීම් පමණින් “මෙතෙමේ මෙවැන්නෙකියි” කියා නිගමනයන්ට බැසීම බොහෝ දෙනාගෙන් සිදුවන වැරැද්දකි. පරචිත්ත විජානන හැකියාව වත් නොමැතිව තවෙකෙකු ගැන කථා කිරීමට යෑම මගින් බොහෝ දුරට වන්නේ නූපන් අකුසල් වලට අඬ ගැසීමකි. ධර්මය දැනීම හෝ නොදැනීම අකුසල විපාකයෙන් බේරීමට හේතුවක් නොවන බව කිව යුතු ය. සියල්ල දන්නා බුදුරජාණන් වහන්සේ අංශු මාත්‍රයක නමුත් පාපයක් සිදුවීම අනුමත නොකළ සේක. එ නිසාම සත්පුරුෂයන් අතර පරම සත්පුරුෂයා වෙමින් මත්තෙහි දුක් නොවිඳීනු පිණිස අනුශාසනා කළ සේක.

අසප්පුරිස - වධුකා සූත්‍රයෙහි වදාරණ පරිදි අසත්පුරුෂයාගේ හැඳීනීම් ලක්ෂණ සතරකි. ඒ අනුව යමෙක් යමෙකුගේ යම් නුගුණයක් වේද එය කිසිවෙකු විසින් නොවිමසන ලදුවම ප්‍රකාශ කරයි ද, අසන ලදුව විස්තර සහිතව රස කරමින් කියයිද, එමගින් සතුටුවේද, මෙය අසත්පුරුෂයාගේ පළමු ලක්ෂණයයි. මෙලොව වෙසෙන යම් පුද්ගලයෙකුගේ ප්‍රකට වූ යම් යහපත් ගුණයක් වේද ඒ ගුණය ගැන නොදන්නා අයෙකුට තමා විසින් හිතා මතාම නොකියයිද, ඒ ගුණය ගැන විමසූ පසු නොකියා බැරි තැන යම්තම් වචන මාත්‍රයක ප්‍රකාශයක් කරයි ද අනෙකාගේ ඇති ගුණ කීමෙහි මකු වන්නාගේ ඒ ලාමක ගතිය දෙවන අසත්පුරුෂ ලක්ෂණය යි. තුන්වන අසත්පුරුෂ ලක්ෂණය නම් තමාගේ ඇති ගුණ නෑසූවිට හුවා දැක්වීම යි. අනෙකා විසින් ඇසූ විට වඩ වඩාත් තමා මතුකර දක්වා තමාගේම ගුණ කියා ගනියි නම් ඔහුද අසත්පුරුෂයෙකි. තමා සතු වැරැද්දක්, අඩුපාඩුවක් නුගුණයක් අසද්දී පවා ඒ ගැන ඇති ලෙස නොකියන බව සතරවන අසත්පුරුෂ ලක්ෂණය යි. බේරීමට නොහැකි තැන යන්තමින් ලිස්සා යන, වචනයක් කියා මගහැර තම නුගුණ සඟවාගන්නා පුද්ගලයා සත්පුරුෂයෙකු නොවන බව වදාරා ඇත.

මෙලෙසින් අසත්පුරුෂයාගේ හැඳීනීම් ලක්ෂණ උගන්වන බුදුරදුන් එවැන්නන් ඇසුරින් දුරුකළ යුතු බව වදාරණ සේක. නොඑසේ නම් ඔවුන්ගේ අසද්ධර්ම නපුරු ගතිලක්ෂණ තමාට ද බෝවිය හැකි ය. යමෙකුගේ ඇති ගුණයක් අනුමෝදන් විය නොහැකි පුද්ගලයාට මොනම යහපතක් හෝ සිදු නොවේ. වන්නේ ඊර්ෂ්‍යාව හා වෛරය වැඩි වීමයි. එමගින් ඔහු වඩ වඩාත් පරිහාණිය කරාම යොමු වේ. තමාගේ ගුණ - ඇතැම්විට නැති ගුණ මතුකොට දක්වා අඩුපාඩු සඟවා, අන් අයගේ ඇති නුගුණ - ඇතැම්විට නැති නුගුණ කියමින් විවේචනයට බැසගන්නා පුද්ගලයාට වැඩෙන සමාධියක් නැත. ඔහු නොබෝ කලකින් සීලයෙන් ද පිරිහී ගොස් මෙලොවින් ද, පරලොවින් ද දුකටම වැටෙන්නෙක් වේ.

එතෙකුදු වුවත් බුදුරදුන් ලොවට දායාද කළ මාර්ගඵල ලාභීන් නම් වූ සැබෑ සත්පුරුෂයන්ගේ ගුණ මිහිර පමණ නැත. එමෙන්ම පුහුදුන් පුද්ගලයන් විසින් ඔවුන් හඳුනා ගැනීම පහසු කටයුත්තක් නොවේ. මක්නිසා ද යත් ඔවුන්ට සංඥා - චිත්ත - දිට්ඨි විපරියාසයන් ප්‍රහාණය වී නැති නිසාත් මගඵල ලාභීන්ට ඉඳුරාම ප්‍රහාණය වී ඇති නිසාත් ය. විපරියාසයන් යනු අනිත්‍ය - දුක්ඛ - අනාත්ම - අසුභ දේ එසේ නොවේ කියා වරදවා ගැනීම යි. එවිට ඔවුන්ට මෝහය ම අධික වේ. තිලකුණු මෙනෙහි නොවේ. එවැන්නෙකුගේ ඇත්තා වූ ම යහ ගුණය පවා පිරිහී යා හැකි ය. අන් අයගේ ගුණ තේරුම් ගැනීම ගැන කිවයුත්තක් නැත.

අසප්පුරිස - වධුකා සූත්‍රයේ ම පෙන්වන පරිදි සත්පුරුෂයාගේ ද හැඳීනීම් ලක්ෂණ සතරකි. ඒ අනුව යමෙක් යමෙකුගේ යම් නුගුණයක් වේ ද, එය කිසිවෙකු විසින් අසන ලද්දේ නමුත් නොකිය යි. නොකියා බැරිතැනම පැමිණි පසු ඇති නුගුණය අල්ප වශයෙන් ප්‍රකාශ කරයි ද, එය සත්පුරුෂයා හඳුනා ගන්නා පළමු ලක්ෂණය යි. දෙවන සත්පුරුෂ ලක්ෂණය වන්නේ තමා ම අනෙකාගේ ඇති ගුණ රස කර කර කියනු කැමැති බවයි. කිසිවෙකු විසින් විමසූ විට තමා දක්නා ගුණය කුඩා වූයේ නමුත් උත්කර්ෂවත් ලෙස කියා සතුටු වෙයි. එහෙත් නැති ගුණ නොකියයි. තමාගේ වැරැදි - අඩුපාඩු, නුගුණ තත්වාකාරයෙන් හෙළි කරනා බව තුන්වන සත්පුරුෂ ලක්ෂණය යි. තමාගේ අඩුපාඩුවක් දැක, ඒ ගැන අසන්නා වූ කෙනෙකුට තත්වාකාරයෙන්ම හෙළි කරයි. අසන්නා ගැන කෝපයක් පහළ නොකරම වරදින් - නුගුණයෙන් මිදීමේ අපේක්ෂාවෙන් සුදුසු තැන ඒ ගැන මෙරමා සමඟ කියා සිටීම සත්පුරුෂ ධර්මයකි. සතරවන සත්පුරුෂ ධර්මය නම් තමාගේ ඇති ගුණ සඟවන ස්වභාවය යි. නොවිමසන ලදුව කිසිසේත් තමාගේ ගුණ හුවා නොදක්වන සත්පුරුෂයා විමසූ කල්හී පිළිතුරු නොදී ගැලවීමට නොහැකි තැන ඇති ගුණයෙන් ස්වල්පයක් වචන මාත්‍රයකින් ප්‍රකාශ කරයි. තමා විසින් තමා ගුණවතෙකු බව ලෝකයට කියා සිටීම සැබෑ සත්පුරුෂයාට අප්‍රිය දෙයකි.

අන් අයගේ යහපත දැක සතුටු වන්නා වූ සත්පුරුෂයා සියල්ලන්ගේම මිතුරෙකි. ලොව වෙසෙන ඕනෑම පාපතරයෙකුට නමුත් එකම යහ ගුණයක් හෝ තිබිය හැකි ය. ඒ ගැන කථා නොකර බොහෝ නුගුණ ගැනම සිතමින් ද්වේෂ සහගත වචන පිටකිරීම මගින් තමාටම මහත් අලාභයක් කරගන්නා උදවිය ලොව බහුල වේ. අනුන්ගේ නුගුණ තමාට බෝවීම යනු එය යි.

අනෙක් අතට තමාගේ යම් වටිනා ගුණ ධර්මයක් වේ නම්, එය අසත්පුරුෂ ලෝකයා විසින් දැන ගත්තත් , නොදැන ගත්තත් වන්නා වූ සෙතක් නැත. ගුණවතා හට අනෙකාගේ ගුණය කොහොමත් මිහිරි වේ. ගුණවතුන් ගැන අසා දැන සත්පුරුෂ වන අසත්පුරුෂයන් ලොව ඇත්තේ ස්වල්ප වශයෙනි. මෙවන් යුගයක නම් විශේෂ වශයෙන් කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා අනෙකාගේ දොස් - නුගුණ - අඩුපාඩු කථා කරමින් , විවේචනයට බැසගෙන, ඇතැම් විට බරපතල අකුසල ධර්ම සිදුකර ගනිමින්, තමනුත් වැනසී , අනුනුත් වනසා ගන්නෝ බහුල වෙති. එනිසාම සත්පුරුෂයා පවා මෙවන් යුගයක ප්‍රවේශම් විය යුතු ය. තමාගේ ඇති අවංක භාවය නිසා තමා තුළ ඇති අගුණයක් තමා ම ප්‍රකාශ කළ පසු එම නුගුණයම අල්ලා ගෙන නැවත නැවත තමාටම පීඩා කරනු ඇත. එහෙයින් වරද ප්‍රකාශ කොට නිවැරැදි වනු කැමැති ගුණවතා ද පෙරලා ද්වේෂ පරවශ වී අසත්පුරුෂයෙකු විය හැකි ය.

ලොව ගුණය පැතිර යන වේගයට වඩා වැඩි වේගයකින් නුගුණය පැතිර යන්නේ අසත්පුරුෂයන් බහුල නිසා ම ය. උදාර අදහස් ඇති , සාමකාමී මිනිස් ප්‍රජාවක් බිහිවන්නේ ඔවුනොවුන්ගේ ඇත්තා වූ ගුණය දෙස බලා අනුමෝදන් වීම හා ගුණයෙහි ඇති රසය තමා ද විඳීමින් , අන් අයට ද විඳවනු කැමති බව වැඩි වූ පමණට ය. සිල්වත් වූ පමණින් ම, ගුණවතෙකු නොවන බැවින් සෑම සිල්වතෙක්ම ගුණවතෙක් නොවේ. තමාගේ සිල්වත්කම හුවා දක්වා, අන් අයගේ දුස්සීලකම් අකුසල් සිතින් යුතුව විවේචනය කරයි නම්, හෙතෙම සිල්වත් වුව ද අසත්පුරුෂ සංඛ්‍යාවට වැටෙන්නෙකි. “ඔවුන් රක්නා සීලයක් නැතත් මිනිස් කම් ඇත”යැයි වහරක් ජන සමාජයෙන් ඇසෙන්නේ සිකපද සමාදන්වීම් වශයෙන් සිලයක නොපිහිටි නමුත් ආගන්තුක සත්කාරාදී ඇතැම් ගුණයන්හි පිහිටි මිනිසුන් දෙස බලා ය. නමුත් සිල්වතාගේ ගුණවත් වීම ලෝකයටම සුව එලවන සුලු යහපතකි. ඔහු සැබෑම සත්පුරුෂයෙක් වනු කැමැතිව බුදු මගම යන්නෙකි. අලුත ගෙනා මනමාලිය වාසනාවන්ත යුග දිවියක් බලාපොරොත්තුවෙන් තම නැන්දා හා මාමා ගැන ද, ස්වාමියා හා ඔහුගේ සොයුර සොයුරීන් , හිතවතුන් ගැන ද, මහත් ගෞරවයකින් හා ලජ්ජා බයකින් පසු වේ. කලට වේලාවට සියල්ල සිදුකොට ප්‍රියශීලීව හැමෝගේම ගෞරවය හා ආදරය දිනා ගනී. නමුත් පසු කලෙක ඇයට මාන්නය - අහංකාරකම ආදී නුගුණ ඇති වී ස්වාමී ආදීහු දොස් පවරා නිගා දෙති. මෙය උපමා කොට ගෙන බුදුරදුන් වදාරන්නේ පැවිදි වූ දා සිව්වනක් පිරිස ගැන භික්ෂුවකගේ සිතේ ඇති වන ලජ්ජා - බය සහගත ගෞරවනීය හැඟීම අපවත් වන හෝ පිරිනිවෙන මොහොත දක්වා ම පවත්වාගත යුතු බවයි.

නිවන් දැකීමේ අරමුණින් පැවිදි වූ දිනයේ තිබූ නැවුම් හා උසස් අදහස් මාලාව, යාවත්ජීව කරගැනීම එමගින් අපේක්ෂා කෙරේ. අනාදිමත් සසරක පටන් අසත්පුරුෂ ලෝ සතුන්ගේ අපමණ වූ ගැරහුම් - නින්දා - තාඩන - පීඩන, පාරමී නම් රන් දාමය සැරැසූ මිනිරුවන් මෙන් තකා සම්බුදු පදවි වැඩ නිවී සැනසුන බුදුරදුන් ලොවට බිහිකළ සත්පුරුෂයන්ගේ සිසිල් සෙවණෙහි ලැගුම් ගෙන සදා සැනසෙන සැබෑ සත්පුරුෂයෙක් වන්නට ඔබටත් වාසනාව ලැබේවා.