Print this Article


දුක් කඳුළු සලන දේ කුමට කරනු ද ?

දුක් කඳුළු සලන දේ කුමට කරනු ද ?

"ඡන්න යනු අප බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා ලෙස සියලු රාජකීය සම්පත් අතහැර බුදුබව පතා ගමනට උදව් කළ අයෙකි. එදා සිදුහත් කුමාරයා තම රාජ මාලිගයේ උඩුමහලෙන් බැස පියගැටපෙළ පාමුල නිදන ඡන්න අමතා ඡන්නය, කන්ථක අසු සූදානම් කර රැගෙන එන්න. යැයි කී විට ස්වාමීනි, මේ මහ රෑ කොහි යන්නට දැයි ඡන්න ඇසී ය. "

මම ගිහිගෙය අතහැර පැවිදි වන්නට යන්නෙමි.’ යනුවෙන් බෝසතාණෝ පිළිතුරු දුන්හ. ස්වාමීනි, මේ මව්පියන්, නෑදෑයින් හැර දමා යන්න එපා. යනුවෙන් හඬමින් මේ ගමන වැළැක්වීමට ඡන්න උත්සාහ කළේ ය. බෝසතාණෝ නොයෙක් අයුරින් කරුණු කියා ඡන්න කැමැති කරවා ගත්හ. එසේ වුවත් යශෝධරාව නැගිට්ටවා මේ ගමන නැවැත්විය යුතු යැයි සිතා ඇය නින්දෙන් අවදි කරවනු සඳහා මහ හඬක් ද නැගීය.

එසේ කළත් යශෝධරාව නැගිටුවා ගන්නට නොහැකි විය. සිද්ධාර්ථ කුමාරයාගේ ඉල්ලීම ඉටු කළ යුතු නිසා කන්ථක අසු සරසා රැගෙන ආ විට බෝසතාණන් වහන්සේ කන්ථක අසුගේ හිසත්, මුහුණත් අතගා, ආදරය දක්වා අසුපිට නැගුණහ. ඡන්න ද පසුපසින් ඉඳ ගත්තේ ය. පසුදින එළිය වැටෙන විට අනෝමා ගංතෙරට පැමිණියහ. අසුපිටින් නොබැස ම නදියෙන් එගොඩට ගියහ. එහි දී තමන් හැඳ පැළඳ සිට ආභරණ ගලවා ඡන්නට දී 'මේ අශ්වයාත්, ආභරණත් රැගෙන කිඹුල්වත්පුරයට යන්න. මේ සියල්ල මගේ පියාට භාර දෙන්න. මා පැවිදි වූ බව පියරජතුමාටත්, යශෝධරාවටත් කියන්න'යි කීහ.

අනේ ස්වාමීනි, මටත් පැවිදි වන්නට ඕනෑ යයි ඡන්න කී විට 'ඔබ දැන්ම පැවිදි වන්න එපා. පසුව ඔබ පැවිදි කරන්නම්. දැන් රාජමාලිගයට ආපසු යන්න'.

යනුවෙන් බෝසතාණන් ප්‍රකාශ කළහ. මෙසේ කිඹුල්වත් නුවර බලා ගිය ඡන්න සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත් වූ පසු බුදුරදුන් වෙත පැවිදි විය. පැවිදි වූ ඡන්න භික්ෂුව බුදුරදුන්ට උදව් කරමින් කටයුතු කර ඇත.

ඡන්න යනු බුදුරදුන්ට හිතවත් වුව ද, රළු පරළු ගති පැවැතුම්වලින් යුක්ත අයෙකි. පැවිදි වුව ද ඒ දුර්වලතාවල අඩුවක් නොවිණි. නිතර දොඩමළු වූ අතර බොහෝ විට අන් අයගේ අඩුපාඩු කතා කරන, ඉවසීමෙන් තොර, නොසන්සුන් භික්ෂුවක ලෙස හැසිරිණි. බුදුරදුන් මහණ වීමට එන දවසේ පැමිණියේ මා සමග ය. එදා උදව්වට වෙනත් කිසිවෙකු සිටියේ නැත. දැන්නම් අපි අග්‍රශ්‍රාවකයෝ වෙමු, මහා ශ්‍රාවකයෝ වෙමු, යනුවෙන් කියන අය සිටිත් යනුවෙන් සැරියුත් මුගලන් දෙනම ට නිතර දොස් කියමින් කටයුතු කර ඇත.මේ අයුරින් ඡන්න භික්ෂුව සැරියුත් මුගලන් දෙනමට දොස් කියමින්, නිතරම අවලාද නගමින් සිටින බව ඇසූ බුදුරදුහු ඡන්න භික්ෂුව ගෙන්වා අවවාද කළහ. බුදුරදුන් ඉදිරිපිට අවවාදය පිළිගත් අයුරු පෙන්වා නිහඬව සිටිය ද දෝෂාරෝපණය කිරීම නතර නොකළේ ය. එය පුරුද්දක් ලෙස දිගට ම කරගෙන ගොස් ඇත.

තුන්වැනි වතාවේ දී ඡන්න භික්ෂුව කැඳවා 'ඡන්න අගසව් දෙනම යනු කල්‍යාණමිත්‍රයන් ය, උතුම් ගුණවත් තැනැත්තන් ය, ඔවුන් ආශ්‍රය කරන්න. ඔවුන් ඇසුර ඔබගේ සුවයට මගක් වනු ඇත' යනුවෙන් බුදුරදුහු පෙන්වා දුන්න ද, ඡන්න භික්ෂුවගේ දඩබ්බර හැසිරීම වෙනස් නොවී ය.

බුදුරදුන් පිරිනිවන් පාන්නට නිශ්චිත දින ආනන්ද හිමියන් ට මේ ඡන්න භික්ෂුවගේ දරදඬු හැසිරීම ගැන සිහිපත් වී බුදුරදුන් වෙත ගොස් බුදුරජාණන් වහන්ස, ඡන්න භික්ෂුව ට අප කෙබඳු ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු දැයි විමසී ය. ආනන්ද ඡන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩනය පනවන්න. බ්‍රහ්ම දණ්ඩය යනු මොන වරදක් දුටුවත් ඒ සඳහා අවවාදයක්, අනුශාසනාවක්, මග පෙන්වීමක් නොකොට භික්ෂූන්ගේ ආශ්‍රයෙන් ඉවත් කිරිම යි. කිසිම භික්ෂුවක් ඡන්න භික්ෂුව සමඟ කතාව ට නොයාමයි. තමාට බ්‍රහ්මදණ්ඩනය පැන වූ බව ඇසූ ඡන්න භික්ෂුව බලවත් දුකට, වේදනාවට, මානසික අසහනයට පත්ව, සිහිවිකල් වී බිම වැටී 'ස්වාමීනි, අනේ මා විනාශ කරන්න එපා' කියා බැගෑපත් වී ය. මෙයින් පසු තමා අතින් සිදු වී ඇති වැරැදි හදාගෙන නිවැරැදි පිළිවෙත් අනුගමනය කරමින් ධර්මානුකූලව හැසිරෙමින් භාවනා කර රහත් ඵලයට පත්වීමේ අවස්ථාව උදාකර ගත්තේ ය.

මේ ඡන්න භික්ෂුවගේ හැසිරීම් රටාව මුල්කර ගනිමින් බුදුරදුහු

න භජේ පාපකේ මිත්තේ
න භජේ පුරිසාධමේ
භජේථ මිත්තේ කල්‍යාණේ
භජේථ පුරිසුත්තමෙ

යන ගාථාව දේශනා කළහ. පාප මිතුරන් හා අධම පුරුෂයන් ඇසුරු නොකරන්න. කල්‍යාණ මිත්‍රයන් හා උතුම් පුරුෂයන් ඇසුරු කරන්න. යන්න මෙම ගාථාවෙන් පෙන්නුම් කරයි. අසත් පුරුෂ ගති ලක්ෂණ පෙන්නුම් කරමින් අකුසල ක්‍රියාවල යෙදෙන අය පාපී මිතුරන් ය. විවිධ ක්‍රම මගින් සොරකම් කරන, විවිධ අයුරින් මිනිස් ඝාතන හා වද හිංසා පමුණුවන, සමාජය බිය ගන්වා විවිධ වැරැදි වැඩ වල යෙදෙන, අය අධම පුරුෂයන් ය. අකුසලයෙන් වෙන් වී කුසල් දහම් හි යෙදෙන, අනුන්ගේ දුක, වේදනාව හඳුනාගෙන කාරුණිකව උදව් උපකාර කරන, අනුන්ගේ සුවය දෙස බලා සතුටු වන අය කලණ මිතුරන් ය. ලොවට සැනසිල්ල ලබා දෙන, අන්‍ය ජීවිතවලට විමුක්ති මග කියා දෙන ආදර්ශවත් චරිතාපදානයකින් යුත් අය උත්තම පුරුෂයන් ය.

ඡන්න භික්ෂුවගේ චරිතය දෙස බලන විට ප්‍රධාන දුර්වලතා දෙකක් පෙන්වා දෙන්නට පුළුවන. එනම් අවවාදයත්, උපදේශනයත් පිළිගැනීමට සූදානම් නොවීම හා තමා තුළ පැවැති අහංකාර ගති ලක්ෂණය යි. කරණීය මෙත්ත සුත්‍රයේ සඳහන් වන ‘සුවච’ කියන ගුණය දියුණුවන පුද්ගලයෙකු තුළ අනිවාර්යයෙන් ම තිබිය යුතු ය. තමාට අවවාදයක් වශයෙන් අනෙකෙකු දෙනු ලබන උපදේශයට, මඟ පෙන්වීමට අප කීකරු විය යුතු යි. ඇහුම්කන්දිය යුතු යි. වරද පෙන්වා දෙන තැනැත්තාට අප ප්‍රශංසා කළ යුතු යි. ඒ වරද නිවැරැදි කර ගැනීම අපගේ වගකීමකි. වරදක් , අඩුපාඩුවක් පෙන්වා දුන් විට එය පිළිගැනීමට සමහරු සූදානම් නැත.එම වරද මා කළ බව දැක්කේ කවුද?

වරද කළා යැයි කීවේ කවුද? මගේ අඩුපාඩු කියන්නට එයා කවුද? එකිනෙකා කියන දේ මං මොකටද පිළිගන්නෙ. මගේ අඩුපාඩු කියන්න කලින් ඒ මිනිහ හැදෙන්න එපායැ. ඔය කියන දේ පිළිගන්න මා සූදානම් නැහැ. සමහරු මූණ ඉදිරිපිට වරද පිළිගනිති. පසුව විවේචනය කරති. එය පිළිගැනීමට සූදානම් නැති බව පිටකරන වචන තුළින් පෙන්නුම් කරයි. මෙබදු අකීකරු අය මේ සමාජය තුළ බොහෝ අවස්ථාවල දැකගන්නට පුළුවන්. සමහර ළමයි මව්පියන් දෙන අවවාද පිළිගැනීමට සූදානම් නැත. සමහර දරුවන් කියන්නේ අම්මා තාත්තා දෙන උපදෙස් බොහෝවිට යල්පැන ගිය ඒවා බව යි. අද නූතන තාක්ෂණික ලෝකයේ දී සාම්ප්‍රදායික අදහස් පිළිගැනීමට සූදානම් නැති බව කියති.

සමහර අය වරදක් පෙන්වා දුන් විට එය ඉතා ගෞරවයෙන් පිළිගනිති. නැවතත් එබඳු වරදක්, අඩුවක් දුටුවොත් එය පෙන්වා දෙන ලෙස ද ඉල්ලති. සත් හැවිරිදි සාමණේර නමක් විසින් සැරියුත් හිමිගේ සිවුරෙහි කොණක් බිම ගැටෙනු දැක එය පෙන්වා දුන් විට සැරියුත් හිමි එය ගෞරවයෙන් පිළිගත් බව ප්‍රකට කරුණ කි. රාහුල හිමි වැලි අහුරක් ගෙන උඩට වීසි කර හැමදාම ප්‍රාර්ථනා කළේ මේ තරම් ම මට උපදෙස් ලැබේවා කියා ය.

දරුවන් නොමඟ යනවිට මව්පියෝ මානසික වශයෙන් මොනතරම් පීඩාවට පත්වෙත් ද? ප්‍රේම සම්බන්ධතා, මත් පැන්, මත්කුඩු, ජංගම දුරකථන, ෆේස් බුක් හරහා මොනතරම් ළමා ජීවිත අගාධයට පත්ව ඇත්ද? මෙබඳු අවස්ථාවල දී ජීවිත අත්දැකීම් ලද, පරිණත භාවයට පත් වූ අය අවවාද උපදෙස් දුන්න ද ඒවා පිළිගැනීමට අද සමාජයේ බොහෝදෙනා සූදානම් නැත. අවවාද දෙන අය ද ආදර්ශ සම්පන්න විය යුතු ය. එමෙන්ම අවවාද දීමේ දී උපදෙස් පිළිපදින මට්ටමට යොමුවන මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයන් යොදා ගැනීම ඉතා වැදගත් වනු ඇත. විශේෂයෙන් ළමා ලෝකය දෙස බලනවිට දෙමාපිය ආදර්ශය ඉතා වැදගත් ය. සමගිය, සතුට, සමාදානය ඇති නිවස දරුවාගේ ජීවන ගමනට මහත් ආලෝකයකි. තමන් වින්ද දුෂ්කරතා, මුහුණදුන් අභියෝග, නොසැලී ආ ගමන තම දරුවන්ට පෙන්වා දීම දූ පුතුන්ට මහත් ශක්තියක් විය හැකි ය.

පෙන්වා දෙන අඩුපාඩු පිළිගෙන ජීවිතය ලස්සන කර ගන්නා, ‘සුවච’ තැනැත්තෙකි. කැඩපතෙහි ඇති ප්‍රයෝජනය කුමක්දැයි ප්‍රශ්න කරමින් රාහුල හිමියන්ට බුදුරදුන් පෙන්වා දුන් උපදේශනය අප හැමදෙනාගේ ම ජීවිතවලට ඉතා වැදගත් වනු ඇත. අප සමාජයේ වැරැදි පෙන්වා දෙන, බුද්ධිමත් සත් පුරුෂ අය ඕනෑ තරම් සිටිති. ප්‍රශ්නය වරදක් පෙන්වා දුන් විට එය පිළිගැනීමට බොහෝ දෙනා සූදානම් නොවීම යි. සමහරු තමන් වැරැදි කරන බව දැන දැනත් අන්‍යයන් ඒවා නොදුටු සේ සිතා කටයුතු කරති. අන්‍යයන්ට නොපෙනෙන සේ වැරැදි කරන්නට පුළුවන. නමුත් කවදා හෝ ඒවා එළිවෙනු ඇත. බුදුරදුන්ට ‘අරහං’ යැයි කියන්නේ රහසින් වත් පව් නො කළ නිසයි. අපිත් හොර රහසේ වත් වැරදි වැඩක් නොකිරීමට අධිෂ්ඨාන කරගත යුතු වෙමු. මව්පියෝ සිය දරුවන් වැරැදි ක්‍රියාවල යෙදෙනවා දකින්නට අකැමැති වෙති. සැබෑ ගුරුවරුන් එසේම ය.

සමහර දරුවෝ අවවාද වධයක් කොට සලකති. එබඳු අය නොදැනුවත්වම පරිහානියට පත් වෙති. සමහරු ජීවිත විනාශ කරගනිති. සමහරු බොහෝ ප්‍රමාද වී වැරැද්ද තේරුම් ගනිති. පසුව පසුතැවෙති. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ පසුව කඳුළු සලන්නට වන, පසුතැවෙන්න වන දේ නොකළ යුතු බවයි. 'පනින්න පෙර සිතා බලනු ' යන ජනවහර මෙහිදී අපට වැදගත් ය. පෙන්වා දෙන වරද අනතිමානීව පිළිගැනීම අපගේ වගකීමකි.