Print this Article


පූජාච පූජනියනං

බෙල්ලන්විල ශී‍්‍ර සෝමරතන නා හිමි

විවිධ දක්ෂතා හා හැකියාවන් ඇති විරල ගණයේ සුවිශේෂී උතුමන් වහන්සේ නමක වශයෙන් මීට වසර 35 කට පෙර අපවත් වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නා හිමිපාණන් වහන්සේ පිළිබඳව සඳහන් කළ යුතු ය.

උන්වහන්සේ බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේත්, අත්තිඩිය මාළිගාවත්ත පුරාණ විහාරස්ථානයේත් විහාරාධිපතිවරයාණෝ වූ හ. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභායක්ත රත්මලාන විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝ නායක පදවිය ද උන්වහන්සේ විසින් හොබවන ලදහ. මෑත කාලීන ශ්‍රී ලාංකේය සංඝ ශාසනයෙහි බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නා හිමිපාණන් වහන්සේගේ ශ්‍රී නාමය තරම් අගය කිරීමකට ලක් වූ වෙනත් මහ තෙරනමක් පිළිබඳ ව මතකයට නොනැගේ. උන්වහන්සේ අපවත්වීමෙන් තෙතිස් වසරක් ම විහාරාධිකාරින් වහන්සේ ලෙස නාහිමියන්ගේ ගුණ සමරුව මතු නොව සියලු අපේක්ෂා වඩවඩාත් ප්‍රවර්ධනය කරමින් භික්ෂු පෞරුෂයෙහි වත්මන් යති සළකුණ සේ සළකනු ලබන මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන් ද අනපේක්ෂිත මොහොතක අපවත් වී වසරකුත් සමසක් සපිරී ඇත.

“බෙල්ලන්විල නායක හාමුදුරුවෝ” නමින් කීර්තිධරව වැඩ සිටි නා හිමිපාණන් වහන්සේගේ පැවිදි ජීවිතය වර්තමාන භික්ෂු පරපුරට මහත්සේ ආදර්ශයට ගත හැකි විශිෂ්ට ගති ලක්ෂණයන්ගෙන් හෙබි උදාර චරිතාපදානයක් වනවා මතු නොව විහාරාධිපතීන් වහන්සේ නමක වශයෙන් ආරාම පාලනය පිළිබඳ කුසලතාව උන්වහන්සේ විසින් ඉතා ප්‍රායෝගිකව ප්‍රකට කර ඇති අයුරු දැක ගත හැකි ය. දායක දායිකාවන් සමඟ ක්‍රියා කරන ආකාරය පමණක් නොව විහාරස්ථාන දියුණු පමුණු කරන අයුරු ද, ඒවා නියම කළමනාකාරිත්වයකින් යුතුව පවත්වාගෙන යන අයුරු ද ශ්‍රී සෝමරතන නා හිමිපාණන්ගේ චරිතය තුළින් මනාව හෙලි පෙහෙළි කර ගත හැකි වේ. එපමණක් නොව භික්ෂුවක් තුළ ඇති කරගත යුතු මනා පෞරුෂය පිළිබඳව ද මෙබඳු පරමාදර්ශී චරිතයන් දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.

බෙල්ලන්විල සෝමරතන නා හිමිපාණන් වහන්සේ බෙල්ලන්විල නම් ගම්මානය කේන්ද්‍ර කොටගෙන ජන්ම ලාභය ලැබූහ. බෙල්ලන්විල විහාරස්ථානයෙහි වත්මන් දියුණුවේ නිර්මාතෘවරයාණෝ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නා හිමිපාණන් වහන්සේ බව රහසක් නොවේ. බෙල්ලන්විල විහාරය පත් කළේ මතු නොව එම දියුණුවේ සෞභාග්‍යය දැක සතුටුවීමේ වාසනා ගුණයද නොඅඩුව හිමිකරගන තිබිණි. බෙල්ලන්විල නම් වූ මෙම කුඩා ග්‍රාමය විශ්ව කීර්තියට පත් වීමට ද මූල සාධකය වූයේ බෙල්ලන්විල විහාරස්ථානය බව කිසිවෙකුටත් රහසක් නොවේ. එම යසෝරාවය තමන් වහන්සේ උපන් ගමට හිමිකර දීම නා හිමිපාණන් වහන්සේගේ උදාරතර සමාජ මෙහෙවරක් සේ සඳහන් කිරීම නිවැරැදිය.

ශ්‍රී ලාංකිකයන් පමණක් නොව ලෝකයෙහි නා නා විධ පැවිදි ගිහි ප්‍රභූවරයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද දුරාතීතයේ සිටම බෙල්ලන්විල විහාරස්ථානයේ ආශීර්වාදය අපේක්ෂාවෙන් පැමිණීම සාමාන්‍ය කරුණක් වූයේද, මතු නොව නා හිමිපාණන් වහන්සේ තුළ ඒ සියල්ලන් කෙරෙහි පැවතියේ එකම කාරුණික හැඟීම කි. බෙල්ලන්විල සෝමරතන නා හිමිපාණන් වහන්සේට තරම් සාමාන්‍ය ජනතාවගේ දුක් දොම්නස් දැනුණ හිමිනමක් එම යුගයෙහි නොසිටිය තරම් ය. නා හිමිපාණන් වහන්සේ පුද්ගලයන් පිළිබඳව සැලකීමේදී දුප්පත් පොහොසත් හෝ කුලීන කුලහීන හෝ පළාත් බේද, නිකාය භේද හෝ වැදගත් සාධක සේ නොසැලකූහ. කිසියම් කරුණක් පිළිබඳ තීරණ ගැනීමේ දී අභීතව ඍජුව කටයුතු කළේ මතු නොව යුක්තිය හා සාධාරණත්වයට මිස පුද්ගලයා, තනතුර හෝ සමාජ තත්ත්වයන් උන්වහන්සේට වැදගත් නොවූහ.

බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත්වී දශක තුනකුත් පස් වසරක් සම්පූර්ණ වී ඇත. මෙම කාලය තුළ එදා නා හිමිපාණන් වහන්සේ තුළින් දක්නට හැකි වූ ආකර්ෂණයත්, පුණ්‍ය මහිමයත් උන්වහන්සේගේ අදෘෂ්‍යමාන වූ ආශිර්වාදයත් බෙල්ලන්විල පුණ්‍යභූමිය පුරා ඉතිරී පැතිරී ඇති බව ද දැක ගත හැකිව තිබේ. පිළිවෙලකට වැඩ කිරීමත්, ක්‍රමානුකූලව නිම කිරීමත්, එම නිමාව දක්නාතුරු නා හිමියන් තුළ තිබූ නොඉවසිලිභාවයත් ශ්‍රී සෝමරතන නා හිමි චරිතයේ සුවිශේෂී ලක්ෂණයන්ය. බෙල්ලන්විල ඇසළ මහා පෙරහර ද ශ්‍රී සෝමරතන නා හිමිපාණන් වහන්සේගේ විශිෂ්ට සංස්කෘතික හා ආගමික නිර්මාණය කි. උන්වහන්සේ එය මෙරට ජාතික තලයේ පෙරහරක් බවට පත් කළා පමණක් නොව එයට අවශ්‍ය සියලු අංගෝපාංගයන් ද මැනවින් සකසා තබන්නට යෙදිණි. ශී‍්‍ර සෝමරතන නා හිමිපාණන් වහන්සේ විහාරස්ථාන දියුණු කිරීමෙන්, ඇසළ පෙරහර නිර්මාණය කිරීමෙන් ඇති කළ මෙම නවෝදය එසේම පවත්වාගෙන යාම සඳහා උන්වහන්සේ මනා සංවිධානයකින් යුතුව අනාගතය දෙස බලා සැලසුම් කළ ක්‍රමවේයක් ද ඉතා පැහැදිලිව දක්නට ලැබේ. එහි ජීවමාන සාධක ලෙස වර්තමාන විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ්, විහාරාධිකාරි ව වැඩ විසූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි කුලපතිව වැඩසිටි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේත් දැක්විය හැකි ය. උන්වහන්සේලා විසින් ගෙවී ගිය වසර 35 පුරාම නා හිමිපාණන් වහන්සේ විසින් ගොඩනගා ආරම්භ කළ බෙල්ලන්විල විහාරස්-ථානය පිළිබඳ කීර්ති රාවය දිනෙන් දින ප්‍රවර්ධනය කොට ඇතිවා මතු නොව විහාරස්ථානය කාලානුරූපීව විධිමත් කිරීමද සිදු කොට තිබේ. තවදුරටත් සංවර්ධනය විය යුතු අංශ සංවර්ධනය කොට ඉතා මැනවින් පවත්වාගෙන යනුයේ මතු නොව ඓතිහාසික විහාරස්ථානයක් වශයෙන් එහි සම්භාවනීයත්වට මේ වන විට ඉහළ ම තලයකට පැමිණ වීමට උන්වහන්සේලා සමත් වී ඇත. බෙල්ලන්විල රජමහා විහාරය, කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ පාර්ශ්ව මුලස්ථානයක් බව මුලින් සඳහන් කළෙමු. එදා එහි ප්‍රධාන සංඝනායක ධුරය හොබවන ලද්දේ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නා හිමිපාණන් වහන්සේ ය. ශ්‍රී සෝමරතන නා හිමිපාණන් වහන්සේ කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහි ආදි ශිෂ්‍යවරයන් වහන්සේ නමක් වූයේ මතු නොව එම පිරිවෙන මුල් කොට ආරම්භ වූ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි කුලපති ධුරය ද මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමිපාණන් වහන්සේ විසින් හෙබවීම සුවිශේෂී ගුරු පූජාවකට අනුගත වීමක් ලෙස ද සැළකිය හැකිය.

සාම්ප්‍රදායික, පෞරාණික විහාරස්ථානයක ක්‍රියාවලියට යොමුව තිබූ බෙල්ලන්විල විහාරස්ථානය, බුද්ධියටත්, විමර්ශනයටත් නතු වු ජන සමාජයෙහි කාලීන ගැටලු සඳහා විසඳුම් දෙන ස්ථානයක් වශයෙන් නව මගකට යොමු කිරීම සඳහා උන්වහන්සේලා මැනවින් සමත් වූ හ.

බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නා හිමි ගුණානුස්මරණ පින්කම සඳහා අධීක්ෂණීය නායකත්වය ලබාදුන් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් අනුස්මරණය ද දෙදහස් දහ අට වර්ෂයේ සිට සහ සම්බන්ධ කිරීමට යෙදුණි. මුන්වහන්සේලාට දක්වන උපහාරයක් මතු නොව වඩාත් ගෞරවයට පත් කිරීම් වස් බෙල්ලන්විල රජමහා විහාරයට විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ අදහසක් අනුව ස්ථාපිත “යතිවර සමරු පහය’ මෙම වසරෙහි එක්වුණ සුවිශේෂි නිර්මාණය කි.

****

හේන්පිටගෙදර ඤාණසීහ නා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝ නායක ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය දර්ශන චක්‍රවර්තී රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන් අපවත් වී අගෝස්තු 01 වන දිනට වසර 38 ක් ගත විය.

දෝන, ඇලිස් ජයසිංහ හාමිනේ, දොන් බස්තියන් පෙරේරා සකලසූරිය රාලහාමිගේ තෙවන පුත්‍ර රත්නය වශයෙන් 1909 දෙසැම්බර් 18දින, ජන්මලාභ ලැබූ සමරවීර සකලසූරිය ලාබාල වියේදී ම මුඪගමුවේ මාහිමියන් හට භාර කෙරුණි. අනතුරුව සාමණේර බණ දහම් සහ වත්පිළිවෙත් ආදිය පුරුදුපුහුණු කිරීම සඳහා බලගල්ලේ සරස්වතී පරිවේණාධිපති හිස්වැල්ලේ ශ්‍රී ඥානෝදය මාහිමියන් භාරයට පත් කරන ලදී.

එවකට තම නිවසට යාබදව පිහිටි හේන්පිටගෙදර බෞද්ධ මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලබමින් සිටි සකලසූරිය කුමරා අධ්‍යාපන විෂයෙහි මහත් කුසලතා දැක්වූවෙකි. මේ කාලයේ දක්ෂතම ශිෂ්‍යයන්ගේ උසස් අධ්‍යාපනයට අතහිත දීමට පිහිටුවා තිබූ ‘බෙන්හැම්’ ශිෂ්‍යත්වයට කොළඹ දිස්ත්‍රික්කයේ තේරුණු එකම ශිෂ්‍යයා වූයේ මොහු ය. තමාට ලැබුණු එංගලන්තයේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනයේ අවසන් වන එම ශිෂ්‍යත්වයට කැමැත්තක් නොදැක්වූ සමරවීර සකලසූරිය ශිෂ්‍යයා 1919 ජනවාරි 16 වනදින හේන්පිටගෙදර ඤාණසීහ නමින් පැවිදිව බලගල්ලේ සරස්වතී පිරිවෙනෙහි අධ්‍යාපනය ලැබුහ.උන්වහන්සේ තුළ සහජයෙන් පිහිටා තිබූ දක්ෂතා ඔප මට්ටම් කරමින් ප්‍රාචීන ප්‍රාරම්භක හා මධ්‍යම පරික්ෂණවල දී විශිෂ්ටතමයා බව පළ කරමින් 1939 අවසාන විභාගයේ දී උභයසේකර ස්වර්ණ මුද්‍රිකාව සහිතව රාජකීය පණ්ඩිත උපාධිය දිනා ගැනීමට සමත් විය. අනතුරුව බලගල්ල සරස්වතී පිරිවෙනෙහි ආචාර්යවරයෙකු වශයෙන් සිටිය දී තම මව්බිමේ උන්නතිය වෙනුවෙන් හා ශාසනයේ දියුණුව වෙනුවෙන් ක්‍රියාකළ ආකාරය බලගල්ලට පැමිණි භික්ෂූන් වහන්සේලාගේ දෙනෙත් වලට ලක්විය. උන්වහන්සේගේ සේවය තම ප්‍රදේශවලට ලබා ගැනීමට භික්ෂූන් වහන්සේලා අතර මහත් තරගයක් පැවතිණ. මේ අතරතුර සරස්වතී පිරිවෙනෙහි ආදි ශිෂ්‍යයෙකු වූ රත්නපුර තිරිවානාකැටියේ මුල මහා විහාරාධිපති එළමල්දෙනියේ සුමේධාලංකාර හිමියන්ගේ ඉල්ලීමට පමණක් ලැබූ ප්‍රතිචාර නිසා 1984 දී හේන්පිටගෙදර නාහිමියෝ රත්නපුරයට වැඩම කළහ.

එදා මූද්දුවේ තිබූ අම්බලම හා කුඩා බිම් තීරුව 1934. අගෝස්තු 26 දී රත්නපුර ශී‍්‍ර සුමන පිරිවෙන බවට පත් විය. ශ්‍රී සුමන විද්‍යාලය, ශ්‍රී සුමන

බාලිකා විද්‍යාලය, ඇහැලියගොඩ බුළුගහපිටිය ශ්‍රී සුමන විද්‍යාලය, තෙප්පනාව ශ්‍රී සුමන විද්‍යාලය , තුම්මෝදර ශ්‍රී සුමන විද්‍යාලය, ඉඟිනියාගල විද්‍යාර්ථ පිරිවෙන, වතුපිටිවල සාරිපුත්ත පිරිවෙන, මුවගම්කන්ද විද්‍යාලය, පාතකඩ බෞද්ධ විද්‍යාලය සර්වෝදය ප්‍රජා නායකත්ව භික්ෂු පුහුණු ආයතනය ආදී ගිහි පැවිදි අධ්‍යාපන ආයතන තවත් එවැනි ආයතන ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළහ. ඒ සුමන බාලිකා විද්‍යාලය දැනට ජාතික පාසලකි.

1956 දේශපාලන පෙරළියේ අදෘෂ්‍යමාන බලවේගය වූයේ නාහිමියන් බව ඉතිහාසයට එක්වී ඇත .ජාතික ප්‍රශ්නවල දී අභීතව තම අදහස් ජනතාව ඉදිරියේ ප්‍රකාශ කිරීම නිසා රටේම අවධානය නාහිමියන් වෙත යොමු විය. එබැවින් අභූත චෝදනා එල්ල කරමින් එවකට 1960 වර්ෂවල සිරගත කර සිටියත් කිසිම චෝදනාවක් නොමැතිව අධිකරණය වෙතින් නිදහස ලැබීමත් සමඟ හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියෝ ලංකාවාසි මහජනතාව අතර මෙන්ම විදේශයන්හි පවා ඉමහත් ගෞරවාදරයට පත් විය.

ග්‍රන්ථකරණයට පිවිසි උන්වහන්සේගේ මුල්ම කෘතිය වූයේ 1946 දී, එළිදැක්වූ, “දෙවියෝ” නම් කෘතිය යි. පිළිවෙලින් සිංහල, මේඝදූතය අභිධර්ම පරීක්ෂණය, සද්ධර්ම ශතකම්, සිංහල රඝු වංශය, මහ රහතන් වහන්සේ , සියබස්ලකර විස්තර වර්ණනා, විඥප්තිමාත්‍රය, සිද්ධිවාදය,බෞද්ධ දර්ශනය සාහිත්‍ය ග්‍රන්ථ ප්‍රකාශයට පත්කරන ලදී. බන්ධනාගාරගතව සිටි කාලය තුළ දී ගාමිනී ගීත නාම, ජෙට්ඨගාමිනී චරිත “මහා පැරකුම්බා සිරිත” මිනිසා සහ ජීවිත පරමාර්ථය, ලෝකය, සසර බන්ධක විනය, කලාව කුමක් පිණිසද, ශූන්‍යතා දර්ශනය, සත්වයා පිරිසුදු වන්නේ කෙසේද? හැඩගැසෙන චරිතය, ගැටලු තැන්, බුද්ධ ධර්මය හා බෞද්ධ සභ්‍යත්වය ,දර්ශනය විද්‍යාව සහ බුද්ධාගම (ඥානප්‍රස්ථානය) උපාධියෙන් පසු, බුද්ධ ධර්මය, සත්වයා, අභිධර්මය ප්‍රශ්න හා පිළිතුරු බෞද්ධ සමාජවාදය සිරකූඩුවක් තුළදී ඇතුලු විශාල පොත් සංඛ්‍යාවක් ලියා අප රටට පමණක් නොව මානව වර්ගයා වෙනුවෙන් දායාද කළ සේක.

සබරගමු පළාතේ ප්‍රධාන සංඝ නායක මහාචාර්ය කොන්ගස්තැන්නේ ආනන්ද නාහිමියන් ගේ අනුශාසනා පරිදි කෘත්‍යාධිකාරි බුළුගහපිටියේ සුමංගල හිමියන්ගේ හා තරුණ බෞද්ධ සංගමය විහාරස්ථ දායක සභාව තවත් සංවිධාන රාශියක් එක්ව රත්නපුර ශ්‍රී සුමන පිරිවෙන් විහාරස්ථානයේ දී ගුණසමරු පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අපවත් වී වදාළ හේන්පිටගෙදර ඤාණසීහ නා හිමිපාණන් වහන්සේට නිවන්සුව පතමු .